ලිපි එකතුව


Sunday, September 26, 2010

3. ග්‍රොස් මෝන් ජාතික වනෝද්‍යානය

3. ග්‍රොස් මෝන් ජාතික වනෝද්‍යානය/ Gros Morne National Park   (නිව් ෆවුන්ලන්ත දිවයින, කැනඩාව)
   ලෝක උරුමයක් වන ග්‍රොස් මෝන් ජාතික වනෝද්‍යානය කැනඩාවට අයත් නිව් ෆවුන්ලන්ත දූපතේ බටහිර ඉවුරේ පිහිටා ඇත.  නිව් ෆවුන්ලන්තයේ බටහිර උස් බිම් තුලින් ලොව  පැරණිතම පාෂාණ/ ගල් කුළු හමුවේ. මෙහි යටි පාෂාණය, වසර බිලියන 1.2 ක් ඈත අතීතයේදී උතුරු ඇමරිකා මහද්වීපය, යුරෝපා සහ, ආසියා මහද්වීප හා බැඳී තිබුණු කල සිදුවූ මහද්වීපික තල එහා මෙහා වීමේ සහ ඝට්ටනය වීමේ වෘතාන්තයක් පවසයි. එනිසාම මෙය පෘතුවි ආස්තර පරිණාමය මොනවට පැහැදිලි කරයි. විද්‍යාඥයින් පවසන්නේ මේ ආදී කාලීන කඳු වැටිය (රොකී කඳු වැටිය මෙන් විසි ගුණයක් පැරණි) ස්කොට්ලන්තයේ සහ අත්ලන්තික් සාගරයෙහි අනෙක් පසින් දිව යන කඳු වැටියේම කොටසක් බවයි. උද්‍යානයේ ගල් කුළු නිර්මාණය වී ඇත්තේ සාගර පෘෂ්ඨය හා ර්ණාවරණය (පෘතුවි පෘෂ්ඨයත්, පෘතුවියේ පිටත මදයත් අතර ප්‍රදේශය) දීර්ඝ කාලීන භූ ඝට්ටනවලට නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් ලෙසය. මෙහි අවසාදිත පාෂාණ නිර්මාණය වී ඇත්තේ කේම්බ්‍රීය යුගයට පසුව ඇති වූ ඕඩෝවිසීය යුගයේදීය. කළු ගල් ස්ථරය ප්‍රාග් කේම්බ්‍රීයානු යුගයේත්ආග්නේය පාෂාණ ස්ථරය පේලියෝසොයික යුගයේත් නිර්මාණය වී ඇත.

ග්‍රොස් ග්මෝන්හි ආදී කාලීන ගල් කුළු මතට වසර මිලියන දෙකක් පුරාවට අනුක්‍රමයෙන් ඇද හැළුනු අයිස් හේතුකොට ගෙන කඳු ශිඛර වටකුරු වී ආකර්ෂණීය පෙනුමක් ගෙන තිබේ. වසර මිලියන ගණනක පරිවර්තනය හේතුකොට ගෙන ආදී කාලීන කඳු වැටි, නිම්න, ගැඹුරු ග්ලැසියර විල්, වෙරළාශ්‍රිත මඩ වගුරු සහ ජල තරංගයෙන් ගෙවී ගිය දඹ සහිත විශිෂ්ඨ භූ දර්ශනයක් නිර්මාණය වී ඇත.  
වෙරළාශ්‍රිත පහත්බිම්වල සිට, නිසරු උස්බිම් තුලට කඳු වැටි ඔස්සේ ගමන් කරද්දී ඔබට එකිනෙකට වෙනස් සෞම්‍ය දේශගුණයන් විඳීමට ලැබෙනු ඇත, තවද එකිනෙකට වෙනස් ආක්ටික් සත්ත්ව විශේෂද, ශාකද දක්නට ලැබෙනු ඇත. පහත් උන්නතාංශයන් ඇති පෙදෙස් කළු වලසුන්ට සහ ගෝනුන්ට නිවාස වී තිබේ. උස් බිම් ශීතල දේශ ගුණයට අනුවර්තනය වූ ආක්ටික් සාවුන්ගේ සහ  පිණි මුවන්ගේ නිජ බිමකි. ග්‍රොස් මෝන් ජාතික වන උද්‍යානය පිහිටා තිබෙන්නෙ කැනඩාවට අයත් නිව් ෆවුන්ලන්ත දිවයිනේයි. මෙහි සිටින සත්ත්ව විශේෂ මහ භූමියේ (උතුරු ඇමෙරිකා මහද්වීපයේ) සිටින සමාන සත්ත්ව විශේෂයන්ගෙන් වෙනස් වේ (උප විශේෂ වේ). මෙයට හේතු වී ඇත්තේ වසර 150,000 පෙර අවසන් හිම යුගයේ අයිස් තල හුදකලා වී නිව් ෆවුන්ලන්තය ම්හා භූමියෙන් වෙන් වීම්යි.

ග්‍රොස් මෝන්හි, සොබා දහමේ තවත් විශිෂ්ඨ නිර්මාණයක් වන්නේ වෙස්ටර්න් බ්‍රූක් විලයි, එය අතිශයින් ගැඹුරු නැවුම් ජලය පිරි ආවාටයක් බඳු පටු නිම්නයකි. ආවාටය විශිෂ්ඨ අයිස් තලාවකින් ආවරණය වී ඇත (වරෙක හිම යුගයේදී මුළු නිව් ෆවුන්ලන්තයම අයිස් තලාවකින් ආවරණය වූ පරිදි). අයිස් තලාවෙන් දියවෙන ජලය නිම්නය ඔස්සේ මුහුදට ගලා බසියි. පෙර කලෙක මුළු දිවයිනම වසා පැවති අයිස් තලය ඉවත් වීම හේතුවෙන් දිවයින අයිස් තලයේ බරින් නිදහස් වී එසැවී තිබේ. එහි ප්‍රතිඵලය නිම්නයේ වෙරළත ඉම මුහුදු මට්ටමට වඩා උස්වීමයි. විල, සානු මතින් ගලන ආකර්ෂණීය දිය ඇළිවලින් පෝෂණයවේ. උද්‍යානයේ වනගත මනුෂ්‍ය වාසයෙන් තොර කඳු හරහා අඩි මාර්ග ඇත්තේ පයින් ගමන් කරන්නවුන්ගේ විනෝදය පිණිසය. තවද මුහුද අසල කඳවුරු බැඳ ගැනීමටද සුදුසු ස්ථාන ගණනාවක් පවතී.


Wikipedia Article
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment