ලිපි එකතුව


Thursday, November 11, 2010

32. සංහාරයේ පර්වත

සංහාරයේ පර්වත/ Massacre Rocks
අයිඩහො, ඇමරිකා එක්සත් ජනපදය
Photograph/ ඡායාරූපය:  Unknown, ‘Boulders in Massacre Rocks State Park, deposited during the Bonneville Event’, in http://www.legensofamerica.com, viewed on 11 November 2010, < http://www.legendsofamerica.com/photos-idaho/MassacreRocks.jpg>


View සංහාරයේ පර්වත in a larger map

සංහාරයේ පර්වත පිහිටි ප්‍රදේශය ඇමරිකාවේ රාජ්‍යය උද්‍යානයකි. ඇමෙරිකානු රජය යම්කිසි ප්‍රදේශයක් රාජ්‍ය උද්‍යානයක් ලෙස නම් කරන්නේ එහි ස්වාභාවික වටිනාකම මෙන්ම ඓතිහාසික වටිනාකමද සලකා බලාය. මෙය ඇමෙරිකානු ඇල්ලෙන් බටහිරට වන්නට "සර්ප" නදිය ඔස්සේ විහිදී ඇත.  උද්‍යානය ආදී කාලීන ගල් කුට්ටි එකතුවක නිර්මාණයකි. තැනින් තැන එසේ ස්ථානගත වූ ගල්කුට්ටි දැක ගැනීමට හැක.

භූ විද්‍යාත්මක අතින් මෙම ප්‍රදේශයේ වටිනාකම ඓතිහාසික වටිනාකම වඩා ඉදිරියෙන් සිටියි. උද්‍යානය සර්ප නදී තැන්නේ සිදුවූ යමහල් ක්‍රියාකාරිත්වය හේතුකොටගෙන නිර්මාණය වූ බව පැවසේ. පෙර ලිපියක ඇලස්කාවේ මැක්කින්ලි කන්ද ආග්නේය පාෂාණයක්වන පාතාල පාෂාණයකින් නිර්මාණයවූ ආකාරය ඔබට මතක ඇති. මෙම උද්‍යානයේ ඇති පාෂාණ ආග්නේය පාෂාණයක්වන යමහල් පාෂාණවේ. ලාවා මතු පිටට පැමිණ ඒවා වායුගෝලය හා ගැටී ඝණීභවනය වීමෙන් ආග්නේය පාෂාණ වර්ගයක්වන යමහල් පාෂාණ නිර්මාණය වේ.  එසේ නිර්මාණයවන යමහල් පාෂාණ, සංයුතිය අතින් සහ ව්‍යුහාත්මක අතින් වර්ග කිහිපයක් ඇති අතර සංහාරයේ පර්වත සංයුතිය ප්‍රධාන වශයෙන්ම බැසෝල්ට්වලින් සමන්විත වේ. ඒ ඒ ගල් කුට්ටි අදාල ස්ථානයන්හි වර්තමානයේ දැකිය හැකි පරිදි ස්ථානගතවී ඇත්තේ මීට වසර 14,500 කට පෙර අවසන් අයිස් යුගයේදී ඇති වූ "බොනවිල්" නම් විලෙන් හටගත් මහා ජල ප්‍රවාහයක් හේතුකොටගෙනය. එම ප්‍රවාහයේ වේගය වර්තමාන ඇමේසන් නදියේ වේගය මෙන් සිවු ගුණයක් විය. එය පෘතුවි ඉතිහාසයේ සිදුවූ දරුණුතම ජල ප්‍රවාහයන්ගෙන් එකක් ලෙස සැලකේ. බොනවිල් විල විසින් එකල යුටා ප්‍රාන්තයේ වැඩි හරියක් වසා සිටි බව පැවසේ. එසේ ඉන් පැන නැගි ජල ප්‍රවාහය පැමිණි මාර්ගය ඔස්සේ වර්තමානයේද ජලය ගලා යන අතර එය අද සර්ප නදිය ලෙස හඳුන්වයි.

මෙම ස්ථානය සම්බන්ධව ඓතිහාසික වෘතාන්තයක් ඇති අතර ඔබ එය දැන ගත යුත්තේ මෙම ප්‍රදේශයට අදාල අන්වර්ථ නාම ලැබුණේ කෙසේදැයි හා ඓතිහාසික වටිනාකම කුමක්දැයි දැන ගත යුතු හෙයිනි. ඇමරිකාවට ඉංග්‍රීසි ජාතිකයන් පැමිණීමට පෙර එහි විසූවේ විවිධ ගෝත්‍රවලට අයත් ස්වදේශිකයන්ය. වඩාත් ප්‍රසිද්ධ රතු ඉන්දියානුවන් ඔබ අසා ඇති. වර්තමානයේ අයිඩහෝ ප්‍රාන්තයට අයත් මෙම පර්වත/ ගල්කුට්ටි ඇති ප්‍රදේශයේ අතීතයේ විසූ ස්වදේශිකයන් "ශශෝනි" ගෝත්‍රිකයන් ලෙස හැඳින්වින.  දහ අටවන සියවස වනවිට, අමෙරිකාවට සංක්‍රමණය වූ ඉංග්‍රීසි ජාතිකයන් අමෙරිකාවේ විවිධ ප්‍රදේශවල නොයෙකුත් ක්‍රියාකාරකම්වල නිරතවූහ. එකල ඔරිගොන් සහ කැලිෆෝනියා ප්‍රාන්තවල සිට අයිඩහෝ ප්‍රාන්තය ඔස්සේ අශ්ව කරත්ත ගමන් මාර්ගයක් වැටී තිබුණි. එසේ ඔරිගොන් සහ කැලිෆෝනියා ප්‍රාන්තවල සිට අයිඩහෝ හරහා ගමන් ගන්නවුන් තාවකාලිකව නැවතී විඩා නිවාගන්නා, ආහාර පිළියෙල කරගන්නා ස්ථානයක් ලෙසට අයිඩහෝහි, මෙම සංහාරයේ පර්වත ආශ්‍රිත ප්‍රදේශය ප්‍රසිද්ධව පැවතිණී. සංක්‍රමණිකයන් විසින් ශශෝනි ගෝත්‍රිකයන් "සර්ප ඉන්දියානුවන්" යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවේ එම ගෝත්‍රිකයන්ගේ නොසණ්ඩාල ක්‍රියාවන් හේතුකොටගෙනය. මෙම ගෝත්‍රයේ "චො චො කො" නැමැති වයස අවුරුදු විස්සක තරුණයෙක් විය. දාමරික ක්‍රියාවන් නිසා ප්‍රසිද්ධියට පත්වූ ඔහු දරුණු ගරිල්ලා සටන්කරුවෙක්ද විය. 1862කේ සැප්තැම්බර් 16වන දින තෝමස් ක්ලාක් නැමැති ඉංග්‍රීසි ජාතිකයාගේ නායකත්වයෙන් ඔරිගොන්හි සිට අශ්ව කරත්තවලින් පැමිණි පිරිසක් මෙම සංහාරයේ පර්වත ආශ්‍රිත ප්‍රදේශයේ නැවතී ආහාර පිළියෙල කරමින් සිටියහ. චො චො කො ඇතුළු ඔහුගේ සහචර පිරිස මෙකල දැඩි ලෙස අශ්වයින්, තුවක්කු සහ පතරොම් හිඟයකින් පෙළුණහ. තම ප්‍රදේශය තුල නැවතී විඩා නිවා ගන්නා තෝමස් ක්ලාක් ඇතුළු පිරිස දුටු ඔහු, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතුවේය. හදිසි ගරිල්ලා ප්‍රහාරයක් දියත් කල ඔහු අතින් තෝමස් ක්ලාක්ගේ පිරිසෙන් 34ක් ජීවිතක්‍ෂයට පත් වූහ. එතැන් සිට මෙම ප්‍රදේශය සංහාරයේ පර්වත, යක්‍ෂයාගේ දොරටුව  යන අනවර්ථ නාමවලින් හඳුන්වයි.

No comments:

Post a Comment