ලිපි එකතුව


Monday, October 4, 2010

9. බෑන්ෆ් ජාතික උද්‍යානය


9. බෑන්ෆ් ජාතික උ
ද්‍යානය/ Banff National Park
කැනඩාවේ ඇල්බර්ටාවෙහි, රොකී කඳු වැටිය ආශ්‍රිතව පිහිටා ඇති බෑන්ෆ් ජාතික උද්‍යානය කැනඩාවේ පැරණිතම හා විශාලතම ජාතික උද්‍යානය වේ. එය ඇල්බර්ටාවෙහි රොකී කඳු වැටියේ නැගෙනහිර අන්තය දක්වා පැතිරී ඇත. මනස්කාන්ත විල්ද, කඳු සහ ග්ලැසියරයෙන්ද ද්‍යානය සමන්විත වේ. එතරම් පැරණි නොවන මෙහි කඳු වැටි වසර මිලියන 45ත්- 120ත් අතර නිර්මාණය වූ ඒවා බව පැවසේ. මේ කඳු අතර මහානුභාවසම්පන්නව වැජඹෙන කඳු ශිඛර වේ (ද්‍යානයේ උතුරට වන්නට ඇති එමරි කඳු ශිඛරය). කඳු වැටි සමන්විත වන්නේ ශල්ක, වැලිගල්, හුණු ගල් ක්වාර්ට්ස් යන අවසාදිත පාෂාණයන්ගෙනි. මෙම කඳු වැටි ප්‍රාග් කේම්බ්‍රියානු සහ ජුරාසික් යුගයේ නිර්මාණය වූ බව පැවසේ.
ද්‍යානයේ උතුරින් ඔබ්බට වන්නට, කොලොම්බියා අයිස් යාය (ග්ලැසියර එකතුවක්) පිහිටා ඇත. එය උතුරු ඇමෙරිකානු මහද්වීපයේ විශාලතම අයිස් යායයි. එහි ඇති ග්ලැසියරයන් සාගර තුනකට (ආක්ටික්, අත්ලන්තික් සහ පැසිෆික්) ගලා බසිනා ගංගා පෝෂණය කරයි. සමහර ග්ලැසියරයන්, විල් තුලට තල්ලුවී ගොස් එහි ජලය හා එක්වේ (නි.ද. ලුවිස් විල). අපධාවයත් (විලට ග්ලැසියරයෙන් ජලය එක්වන ක්‍රියාවලිය) සමඟ විල් තුල රොන්මඩ තැන්පත් වේ.  හිරු එළිය මෙම රොන් මඩ මතින් වර්තනය වී, විලෙහි ජලය කොළ පැහැයට හුරු දීප්තිමත් නිල් පැහැයකින් දිස්වේ.
බෑන්ෆ්  ජාතික උද්‍යානය ප්‍රථමයෙන් ප්‍රචලිත වූයේ උණුදිය උල්පත් රක්‍ෂිතයක් ලෙසය. කඳු වැටි මතින් ගලා යන අයිස් දියවූ ජලය, හිරු එළියට ගිනියම්ව පීඩනයට ලක්වී ගුවනට විසිවී නැවතත් පොළොවට පතිත වේ. වසර සිය ගණනක් පුරා සංචාරකයින් මෙම දසුනින් වශීකෘතව සිටියි.
ද්‍යානය භූ කලාප තුනකින් සමන්විත වේ, 1. කඳුකර, 2. උප ඇල්පයින් සහ 3. ඇල්පයින් (ඉතා උස් බිම්). කඳුකර සහ උප ඇල්පයින් කඳු බෑවුම් කේතුධර වෘක්ෂයන්ගෙන් සමන්විත ඝණ වනයකින් වසා සිටියි (ස්පෲස්, ඇස්පන්, මේපල්, විලෝ වෘක්‍ෂ). වඩාත් උස් බෑවුම් (ඇල්පයින් ප්‍රදේශ) ගැට සහිත මහා වෘක්‍ෂයෙන් සමන්විතවේ.  
වසරකට මිලිමීටර 472ක පමණ වර්ෂපතනයක්ද සෙන්ටිමීටර 234ත්- 290ත් අතර හිම පතනයක්ද ද්‍යානයට ලැබේ. ශිශිරයේදී (ජනවාරි) උෂ්ණත්වය සෙල්සියස් අංශක -15ත් -5ත් අතර අගයක් ගනී. ගිම්හානයේදී (ජුලි) උෂ්ණත්වය සෙල්සියස් අංශක 7ත්- 22ත් අතරවේ.
ද්‍යානයේ ක්‍ෂීරපායි වර්ග 56ක් වාර්තා වේ: ප්‍රධාන වශයෙන් අළු වලසා, උතුරු ඇමෙරිකානු අඳුන් දිවියා, වල් බළලා, වුල්වරීන්, මුගටි, දියබල්ලන් සහ වෘකයින්. ගෝනුන් දක්නට ලැබෙන්නේ පහත් වගුරු බිම් මතය. ඉතා උස්බිම් කඳුකර එළුවන්, විශාල අං සහිත බැටළුවන් (බිග් හෝන් ශීප්, උතුරු ඇමෙරිකාවේ වෙසෙන බැටළුවන් වර්ගයක්) සහ මාමොත් (බිම වසන විශාල ලේනුන් වර්ගයක්) ලේනුන්ගේ වාසස්ථානවේ. අනෙකුත් ක්‍ෂීරපායින් දඬු ලේනුන්, ඉත්තෑවන්, කරිබු පිණි මුවන් සහ බීවර් සතුන්ගෙන් සමන්විත් වේ.
ඉතා කටුක ශිශිරයක් සහිත බෑන්ෆ් ද්‍යානයේ සර්පයින් සහ උභය ජීවි වර්ග දක්නට ලැබෙන්නේ අතේ ඇඟිලි ගණනකටත් අඩු ප්‍රමාණයකි. එහෙත් වර්ග 280ක් පමණ වූ පක්‍ෂීන් වර්ග දැකගත හැකිය: හිස මුඩු රාජාලියා, රන්වන් රාජාලියා, රතු පෙඳැති උකුස්සා, මුහුදු රාජාලියා, කුරුළු ගොයින්, කුඩා උකුසු වර්ගද ඒ හැර ග්‍රේ ජේ, මවුන්ටන් බ්ලූ බර්ඩ්, ක්ලාක්’ස් නට් ක්‍රැකර් යන පක්‍ෂීන්ද වැඩි වශයෙන් දක්නට ලැබේ. විල් ආශ්‍රිතව අනේක වර්ගයේ කොකුන්ද, වල් තාරාවන්ද දක්නට ලැබේ.
ට්‍රාන්ස් කැන්ඩා මහාමාර්ගය ඔස්සේ සංචාරකයින්ට බෑන්ෆ් ද්‍යානයට ලඟාවිය හැක. 


No comments:

Post a Comment