ලිපි එකතුව


Wednesday, September 29, 2010

5. ශාන්ත ලෝරන්ස් සමුද්‍රවංකය

ශාන්ත ලෝරන්ස් සමුද්‍රවංකය/ Gulf of St. Lawrence


ස්ථානය- කිබෙක්, කැනඩාව
විශාලත්වය- ව. කි. 150000

 සීල් මව (අළු පැහැති) හා පැටවා (සුදු පැහැති)
ශාන්ත ලෝරන්ස් සමුද්‍රවංකය විශාල, දළ වශයෙන් ත්‍රිකෝණාකාර රට ඇතුලට වන්නට පිහිටි මුහුදකි. මෙය ලොව විශාලතම මෝය කට වේ. ඔන්ටේරියෝ විලෙන් ආරම්භ වන ශාන්ත ලෝරන්ස් ගංගාව ශාන්ත ලෝරන්ස් සමුද්‍රවංකය හරහා අත්ලන්තික් සාගරයට ගලා බසියි. සමුද්‍රවංකය, උතුරින් ලැබ්‍රඩෝ අර්ධද්වීපයෙන්ද, නැගෙනහිරින් නිව් ෆවුන්ලන්තයෙන්ද, දකුණින් නෝවා ස්කෝෂා අර්ධද්වීපයෙන් සහ කේප් බ්‍රිට්න් දිවයිනෙන්ද, නැගෙන්හිරින් නිව් බෲන්ස්වික් නගරයෙන්ද මායිම් වී ඇත. සමුද්‍රවංකය තුල Anticosti,  ප්‍රින්ස් එඩ්වර්ඩ් සහ මැග්ලන් යන දූපත් පිහිටා ඇත.


            සෑම වසරකම පෙබරවාරි මස අග හෝ මාර්තු මැද ආරම්භවන වසන්ත යේදී, ගැහැණු හාප් සීල් මත්ස්‍යයින් මුහුදේ අයිස් තට්ටු මතට පැමිණ, හිම වන් සුදු එක් පැටවකු බැගින් බිහි කරයි. මෙම පැටවුන් බිහි කරන්නේ මැග්ලන් දිවයින අසල හා ලැබ්‍රඩෝ අර්ධද්වීපය අසල ප්‍රදේශයන් තුලය. මෙම ප්‍රදේශයන් තුල වර්ග කිලෝ මීටරයකට ගැහැණු හාප් සීල් මසුන් 2000ක් පමණ දැක ගත හැක. උන්ගේ පැටවුන් “Whitecoats” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි. වැඩුණු සීල් මසුන්ට කාල වර්ණ මුහුණක්ද, රිදී සහ කාල වර්ණයන්ට හුරු ශරීරද වේ. පැටවුන් උපතේදී කහ පැහැයට හුරු සුදු පැහැති ඝණ ලෝම වැස්මකින් වැසී පවතී, උපතේ සිට දින 3කදී ලෝම වැස්ම තනිකරම සුදු පැහැයට හැරේ. උපතේ සිට දින 12දී සුදු ලෝම වැස්ම ඉවත් වේ.   පැටවුන්ව සීල් මව්වරුන් විසින් මවුකිරි දීමෙන් පෝෂණය කරනු ලබයි. සීල් මත්ස්‍යයින්ගේ මව් කිරි තුල එළදෙනුන්ගේ කිරි මෙන් 45% ක් වැඩිපුර මේදය ඇත. එනිසාම මෙම සීල් පැටවුන් දින 12ක් වැනි සුළු කාල සීමාවකදී සීඝ්‍රයෙන් වර්ධනයවේ. දින 12න් පසු මව විසින් පැටවාව අත් හැර දමනු ලබයි. මව විසින් පැටවාව රැකබලා ගැන්මේ කාලය කෙටි මන්දැයි ප්‍රශ්නාර්ථයක්ව පවතී. එහෙත් මෙම අත් හැර දැමීම පැටවුන්ට, මාර්තු මැද අයිස් දිය වීමට පෙර පිහිනීමේ ආරම්භයට රුකුලක් සපයයි.
හාප් සීල් පැටවෙක් (Whitecoats)
මෙසේ මෙම සතුන් අයිස් මත ගතකරන කෙටි කාලය ඇතුලත නොයෙකුත් අනතුරුවලට භාජනය වීමේ ඉඩකඩ වැඩිය. සීල් මසුන්, කුස ගින්නේ පෙලෙනා හිම වලසුන්ගේ ප්‍රණීත අහාරයක් වේ. තවද ලෝකයේ සීල් දඩයම ජයටම කෙරීගෙන යන්නේ කැන්ඩාවේ අත්ලන්තික් සාගරය ආශ්‍රිත මේ ප්‍රදේශයේය. සාගර ගවේෂණය පිළිබඳ අන්තර්ජාතික කවුන්සිලයෙන් International Council for the Exploration of the Sea (ICES) සීල් මසුන් දඩයම යම් දුරකට පාලනය කර ඇත. සීල් පැටවුන් දඩයම සපුරා තහනම් වේ. තවද කැනඩාවේ ධීවර දෙපාර්තමේන්තුව විසින් වසරකට දඩයම් කල හැකි හාප් සීල් මසුන්ගේ ප්‍රමාණය 270,000කට සීමා කර ඇත. සීල් දඩයම පරිසර හා සත්ත්වවේදීන්ගේ ඉමහත් පිළිකුලට හා විවේචනයට ලක්වී ඇත. සීල් දඩයම සෑම වසරකම උණුසුම් විවේදාත්මක මාතෘකාවක් වන්නේ උන් දඩයමට ලක් වන නින්දිත හා මිලේච්ඡ ස්වාභාවය නිසාය.
මැග්ලන්හි සීල් මසුන් පිළිබඳ මධ්‍යස්ථානය විසින්, සංචාරකයින්ට සීල් මසුන් පිළිබඳ කදිම දැනුමක් ලබා දේ. තවද  මධ්‍යස්ථානය විසින් සංචාරකයින්ට හාප් සීල් පැටවුන් අසලටම ගොස් නැරඹීම සඳහා හෙලිකොප්ටර් චාරිකාද සංවිධානය කරනු ලබයි. 

No comments:

Post a Comment