ලිපි එකතුව


Tuesday, November 9, 2010

30. ස්කැජිට් ගං ඉහත්තාව

ස්කැජිට් ගං ඉහත්තාව/ Upper Skagit River
වොෂිංටන්, ඇමරිකා එක්සත් ජනපදය
Photograph/ ඡායාරූපය Neil Retting, ‘American Eagle’, in http://www.pbs.org, viewed on 09 November 2010, < http://www-tc.pbs.org/wnet/nature/files/2008/10/610_ameagle_mississippi.jpg>

කිලෝමීටර 240ක් දිගැති ස්කැජිට් ගංගාවේ නිරිතදිග කොටස කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවටද, වයඹදිග කොටස ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ප්‍රාන්තයටද අයත් වේ. ගං ඉවුරේ මිදුනු අයිස් කැබලි සුලභ දසුනකි. අහස අළු පැහැතිය. ගංගාව ඔස්සේ පාවී ආ විශාල හිම රොදවල් ගං ඉවුරු මත ගොඩ ගැසී ඇත. 

ස්කැජිට් ගං ඉහත්තාව, සැමන් මසුන්ගේ අභිජනන භූමියකි. සැමන් මසුන්ගේ මළ කුණු ආහාර පිණිස ගිම්හානයේදී මේ ප්‍රදේශයට රැස්වන හිස මුඩු රාජාලියන්ගේ ගහණය 400-600 අතර වේ. මෙය උතුරු ඇමරිකානු මහද්වීපයේ වරකට රැස්වන විශාලතම හිස මුඩු රාජාලි ගහණයයි. උන් ගං ඉවුරේ "කොට්න්වුඩ්" ගසක අතු මත හිඳ සැමන් මලකුණක් ගඟෙන් මතුවන තෙක් බලා හිඳී. 

මේ ලිපිය කියවන ඔබ සැමන් මසුන් සම්බන්ධයෙන් යම්කිසි වැටහීමක් තිබීම අවශ්‍යය වේ. සැමන් මසුන් ජීවත් වන්නේ උතුරු අත්ලන්තික් සහ පැසිෆික් සාගරවලයි. උන් සාගරවල ජීවත් වූවත් බෝ වන්නේ මිරිදිය ආශ්‍රිත නැවුම් ජලයෙයි. උන් මිරිදියෙහි උපත ලබා සාගර කරා සංක්‍රමණය වේ. නැවත වසර පහකින්, උන් වැඩිහිටි වූ පසු බිජු ලෑම සඳහා උන්ගේ මිරිදිය ආශ්‍රිත අභිජනන භූමි කරා උඩු ගං බලා පිහිනා එයි. එය අතිශය කටුක දීර්ඝ ගමනක්. ඔබට මතක ඇති මින් පෙර ලිපියක සඳහන් කලා සැමන් මසුන් උඩු ගං බලා පිහිනන විට ඇලස්කාවේ මැක්නීල් ගංගාවේදී ඔවුන්ව අළු වළසුන් විසින් තොග පිටින් ආහාරයට ගන්නා ආකාරය. මෙසේ විවිධ බාධක මධ්‍යයයේ සිය අභිජනන භූමි කරා පැමිණෙන උන්, බිජු දමා අවාසනාවන්ත ලෙස දවස් කිහිපයකින් හෝ සතියකින් දෙකකින් ස්වාභාවිකව මිය යයි. 

මෙසේ මිය යන සැමන් මසුන්ගේ මළ කුණු ආහාර පිණිස මාන බලන්නේ හිස මුඩු රාජාලින්ය. උන් සැමන් මසුන් බිජු දමා හරියටම සති දෙකක් ගෙවුණු තැන ස්කැජිට් ගං ඉහත්තාවට රැස් වේ. උන් එසේ පැමිණෙන්නේ යූකොන්, ඇලස්කාව වන් දුර බැහැර ප්‍රදේශවල සිටයි. මේ රාජාලි ගහණය ශිශිරය බල පවත්නා ඔක්තෝබර් අග සිට පෙබරවාරි දක්වා ගං ඉහත්තාවේ දැකගත හැක. උන් සැමන් මසුන්ගේ මළකුණු ආහාර පිණිස එකිනෙකා හා දරුණු ලෙස සටන් වදියි. 

No comments:

Post a Comment