ලිපි එකතුව


Tuesday, December 28, 2010

44. යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය

44. යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය/ Yellowstone National Park (වයෝමින්ග්, ඇමරිකා එක්සත් ජනපදය)
එක්දහස් අටසිය හැත්තෑ එකේදී එවකට ඇමෙරිකානු ජනාධිපති වූ ග්‍රාන්ට් විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව "යෙලෝස්ටෝන්" ආශ්‍රිත ප්‍රදේශය ඇමෙරිකාවේ මෙන්ම ලෝකයේද ප්‍රථම ජාතික වනෝද්‍යානය විය.  අක්කර 2,219,789 ක් පුරා පැතිර පවත්නා මෙහි 96%ක් වයෝමින්ග් ප්‍රාන්තයටද, 3%ක් මොන්ටැනා සහ 1%ක් අයිඩහෝ ප්‍රාන්තයටද අයත් වේ. කැණියම, විල්, උණු දිය උල්පත්, අධික වේගයෙන් උණු ජලය හා ජල වාෂ්ප ඉහලට විදිනා "ගීසර්" නැමැති උණු දිය උල්පත්, කැකෑරෙන මඩ වලවල්වලින්ද සමන්විත යෙලෝස්ටෝන් උද්‍යානය, සැබවින්ම අසාමාන්‍යය වේ. උද්‍යානයේ ඇති ස්වාභාවික සම්පත් මෙතෙක් යැයි කියා කිව නොහැක. පහත දැක්වෙන්නේ යෙලෝස්ටෝන්හි ඇති ප්‍රසිද්ධ ස්වාභාවික ආශ්චර්යයන් කිහිපයකි.
1. "බ්ලැක් ග්ලාස්" කන්ද- ඔබ්සිඩියන් පාෂාණයෙන් නිර්මාණය වූ "බ්ලැක් ග්ලාස්" කන්ද ආශ්‍රිතව ඇමරිකාවේ ස්වදේශී ෂොශෝනි සෙබළුන් තම ඊ තලවල ඊ හිස් නිර්මාණය කල බව පැවසේ. ඔබ්සිඩියන් පාෂාණ නිර්මාණය වන්නේ ගිනි කන්දකින් නිකුත්වන තද පැහැති ලාවා ඝණීභවනය වීමෙනි.
2. "ෆවුන්ටන් පේන්ට් පොට්" හි ඇති උතුරන මඩ තටාක
3. "මිනෙර්වා" හි ඇති සීනි තට්ටු මෙන් තැන්පත් වූ කැල්සයිට් (ස්ඵටික කැල්සියම් කාබනේට්) ඛණිජ තට්ටු
4. යෙලෝස්ටෝන් විලෙන් ආරම්භ වී යෙලෝස්ටොන් ගංගාව ගලා යන සුවිසල් කැණියම
5. "ස්පෙසිමන්" හෙල් ආශ්‍රිතව යමහල් අළුවලින් ආවරණය වී පාෂාණීභූත වූ වෘක්‍ෂ
6. ග්‍රෑන්ඩ් ප්‍රිස්මැටික් උණු දිය උල්පත- යෙලෝස්ටෝන්හි ඇති විශාලම උ ණු දිය උල්පත වේ. මෙහි ජලය දේදුනු වර්ණවලින් බැබළෙන්නේ එහි උෂ්ණත්ව ප්‍රතිරෝධක ඇල්ගී සහ බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය හේතුවෙනි. 
7. වඩාත් ආශ්චර්යමත් ස්වාභාවික සම්පත වන්නේ "ඕල්ඩ් ෆේත්ෆුල්" නැමැති ජලය හා ජල වාෂ්ප අධික වේගයෙන් ඉහලට විදිනා උණු දිය උල්පතය (ගීසර් නම් උණුදිය උල්පත් විශේෂය). මිනිත්තු අනූවකට වරක් අඩි දෙසීයක් උසට උණු ජලය විදිනා මෙය ලොව උසම ගීසර් උල්පත වේ. 
8. "රිවර්සයිඩ්" ගීසර් උල්පත "ෆය(ර්) හෝල්" නදියේ පිහිටා ඇත (නදියේ අයිනකට වන්නට). සෑම පැය 5-7 කට වරක්ම මින් අඩි හැත්තෑ පහක් උසැති ජලය හා වාෂ්ප සමූහයක් නිකුත් වේ. හිරු එළිය වැටී ජල වාෂ්ප දේදුනු වර්ණයෙන් බැබළෙන අයුරු අතිශය චමත්කාරජනකය. 
මේ සියළුම උණු දිය උල්පත්වල ක්‍රියාකාරිත්වය සඳහා බලපාන්නේ පොළොව මත සිට කිලෝමීටර පහක් ගැඹුරේ ඇති  උණු වූ පාෂාණ ගුලියකි. ඉන් පොළෝ ගර්භයේ තැන්පත්වූ ජලය උණු වීමට හා ජලය ඉහලට විදීමට අවශ්‍ය කරනා තාපය හා බලය ලැබේ.  මීට වසර හය ලක්‍ෂයකට පෙර මේ කාල බෝම්බය බිහිසුණු ලෙස පුපුරා ගොස් උතුරු ඇමරිකාවේ විශාල ප්‍රදේශයක් ඉන් නිකුත් වූ අළුවලින් වැසී ගිය බව පැවසේ. මින් සෑදුනු යෙලෝස්ටෝන් ගිනි කඳු විවරය උතුරු ඇමෙරිකාවේ විශාලතම ගිනි කඳු පද්ධතිය වේ.පිපිරුමේ ප්‍රබලත්වය නිසාම එය සුපිරි යමහලක් ලෙස හැඳින්වේ. පෙර ලිපියක සඳහන් කල ශාන්ත හෙලන්ස් ගිනි කන්දේ 1980 දී සිදුවූ පිපිරුම මෙන්දහස් ගුණයක් වසර ලක්‍ෂ ගණනාවකට පෙර වූ මේ පිපිරීම  ප්‍රබල යැයි පැවසේ.

උද්‍යානයේ විශාලතම ජල සම්පත වන්නේ අක්කර 87040ක් පැතිර පවත්නා යෙලෝස්ටෝන් විලයි. අඩි 400ක් ගැඹුරු මෙහි වෙරළ කිලෝමීටර 180ක් දිග් වේ. මුහුදු මට්ටමේ සිට මීටර 2357ක් ඉහලින් පිහිටි යෙලෝස්ටෝන් විල උතුරු ඇමරිකාවේ මුහුදු මට්ටමේ සිට ඉහලින්ම පිහිටි විලද වේ. 80%ක් වනාන්තරවලින් සමන්විත් උද්‍යානයේ ඉතිරි 20% සමන්විත් වන්නේ බොහෝ දුරට තණ බිම්වලිනි. උතුරු ඇමෙරිකානු මහද්වීපයේ මහද්වීපික බෙදීම උද්‍යානයේ නිරිතදිග කොටසේ විකර්ණාකාරීව දිව යයි. උද්‍යානයේ තුනෙන් එකක් මහද්වීපික බෙදීමෙන් බටහිර පැත්තේ පිහිටයි. මෙනිසා මහද්වීපික බෙදීමෙන්  දෙපස තිබෙනා එකිනෙකට ආසන්නව ගලනා සර්ප නදියේ ජලය පැසිෆික් සාගරයටත්, යෙලෝස්ටෝන් නදියේ ජලය අත්ලන්තික් සාගරයටත් ගලා බසී. යෙලෝස්ටෝන් උද්‍යානය මුහුදු මට්ටමේ සිට මීටර 2400ක් උසින් පීහිටි යෙලෝස්ටෝන් සානුව මත පිහිටා ඇත. උද්‍යානයේ අවම වශයෙන් මීටර 5ක්වත් උස දිය ඇළි 290ක් දක්නට ඇත. 

වන ජීවීන්ගෙන් බහුල යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ ක්‍ෂීරපායින් වර්ග 60ක් පමණ වෙසේ. උන්ගෙන් සමහරක් නම්: අළු වෘකයා, වල් බළලා, අළු වළසා, කලූ වළසා, "මූල්" නම් දිගැති කන් ඇති මුවා, සුදු වල්ගැති මුවා, ගෝනා, කඳුකර එළුවා, විශාල අඟැති බැටළුවා සහ බයිසන් ගවයින්

යෙලෝස්ටෝන්හි කාලගුණය උන්නතාංශයේ දැඩි බලපෑමට යටත්ව ඇත. පහල උන්නතාංශවලදී තරමක් උණුසුම් උෂ්ණත්වයක් දක්නට ඇත. ගිම්හානයෙදී දිවා කල සෙල්සියස් අංශක 21-27ත් අතර උෂ්ණත්වයකුත්, රාත්‍රියේදී සෙල්සියස් අංශක බින්දුවට ආසන්න උෂ්ණත්වයක්ද දක්නට ඇත. ඉහල උන්නතාංශවල රාත්‍රියේදී උෂ්ණත්වය ඇතැම් විට සෙල්සියස් අංශක බින්දුවටත් වඩා අඩුවේ. ශිශිරයේදී දහවල සෙල්සියස් අංශක සෘණ 5ක් වන අතර රාත්‍රියේදී සෘණ 20 දක්වා පහල බසී.  

      විකීපිඩියා
      යූ ටියුබ්
      ගූග්ල් අර්ත්
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment