ලිපි එකතුව


Monday, January 10, 2011

49. අගෙයිට් පොසිල තැන්පතුව

49. අගෙයිට් පොසිල තැන්පතුව/ Agate Fossil Beds (නබ්‍රාස්කා, ඇමරිකා එක්සත් ජනපදය)
  බටහිර නබ්‍රාස්කාවේ නයබ්‍රාරා ගංගාව දිගට විහිදී ගිය කඳු ගැට මත ඇති තෘණ වැස්මට යටින්වසර මිලියන දහ නවයක් ඉපැරණි අගෙයිට් පොසිල නිධිය තැන්පත් වී ඇත. වර්ෂ 1878දී කපිතාන් ජේම්ස් කුක් විසින් නිධිය සොයාගන්නා ලදී. එම සොයා ගැනීමෙන් අනතුරුව පොසිල බවට පත්වූ එකල විසූ සතුන්ගේ අස්ථි ලොව පුරා ප්‍රදර්ශනය කෙරිණි. 1965දී පොසිල ආශ්‍රිත ප්‍රදේශය සංරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී. 


1964දී කානගී කෞතුකාගාරයේ ඕ. ඒ. පීටර්සන් සහ 1905දී නබ්‍රාස්කා විශ්ව විද්‍යාලයේ ඊ. එච්. බාර්බ(ර්) යන විද්‍යාඥයින් විසින් පොසිල සහිත කඳු ගැට පුළුල් ලෙස කැණ පර්යේෂණ පවත්වන ලදී. ඔවුන් විසින් පොසිල බවට පත් වූ සත්ත්ව සැකිලි විශාල සංඛ්‍යාවක් සොයා ගැනිණි. මේ සැකිලි අතර විද්‍යාවට ආගන්තුක වූ කුඩා රයිනෝසිරස් සැකිල්ලක්ද විය.


මෙසේ පොසිල බවට පත්වූ සතුන් දැඩි නියඟයකට හසුව මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙහි සොයාගත් සැකිලි අතරින් වඩාත් ගුප්ත සැකිල්ලක් ඇත්තේ මෝපස් නම් ශාක භක්‍ෂක ක්‍ෂීරපායී සත්ත්වයාටයි. සැකිල්ල අඩි 10කි, බර රාත්තල් දහයක් පමණ වේ. මෙම සත්ත්වයාගේ හොම්බ අශ්වයකුගේ හැඩයද, බෙල්ල ජිරාෆ් සතෙකුගේ හැඩයද, ඉදිරි ගාත් රයිනෝසිරස් සතෙකුගේ සහ පසු පස ගාත් වළසකුගේ හැඩයද ගනී. ඇඟිලි තුනක් සහිත පාදයේ ඉදිරි ගාත් යුවළ පසු පස ගාත් යුවළට වඩා දිගින් වැඩි වේ. මෙම සත්ත්වයාට නෑ කමක් දක්වන වර්තමාන සතුන් නම්, අශ්වයින්, රයිනෝසිරස් සහ ටේපර් (උතුරු ඇමෙරිකානු ඌරු විශේෂයක්) වේ.අගෙයිට් පොසිල නිධියෙන් හමු වූ වඩාත් බියකරු පෙනුමක් සහිත සැකිල්ල අයත් වන්නේ "බිහිසුණු ඩයෝඩොන්" ලෙසින් නම් කරන ලද සත්ත්ව සැකිල්ලටයි. මෙම ක්‍ෂීරපායී සත්ත්වයා සුවුසල් ඌරෙකුගේ හැඩයට සමානවේ. හිස් කබල පමණක් මීටරයක් පමණ දිගැතිය. උස අඩි හතකට නොඅඩු වන අතර දිග අඩි දහයක් පමණ වේ. දිගු පසුපස ගාත් යුවළ පෙන්නුම් කරන්නේ මෙම සත්ත්වයාට වේගයෙන් දිවීමට තිබූ හැකියාවයි. මොටවූ කෘන්තක දත්ද, ශක්තිමත් රදනක දත්ද මේ සත්ත්වයා සතුය. 


මෙහි "කානගී" නම් කඳු ගැටය ඔස්සේ දිවෙන අඩි පාරෙහි ගමන් කරන ඔබට අර්ධ වශයෙන් නිරාවරණය කරන ලද පොසිල බවට පත්වූ ආදී කාලීන සත්ත්ව සැකිලි ඒ තිබූ ආකාරයෙන්ම දැක ගත හැකිය. තවත් මාර්ගයක් "ඩෙවිල්'ස් කෝක්ස්කෲ" නම් පෙදෙසට වැටී ඇති අතර මෙහි ඇති පොසිල, විද්‍යාඥයින් මහත් ව්‍යාකූලතාවට පත්කිරීමට සමත්ව ඇත. මෙහි තිබී වසර මිලියන විස්සක් පමණ ඉපැරණි ගුල් වර්ගයක් සොයාගෙන ඇති අතර ඒවා බීවරයන් තනන ගුල්වලට මහත් සමාන කමක් දක්වයි. පසුව මෙම ගුල් ඔලිගොසීන යුගයේ විසූ පේලියෝකාස්ටර්ස් නම් ආදී කාලීන බීවර විශේෂයක් විසින් තනා ඇති බව නිගමනය කෙරුණි. මොවුන් වර්තමාන බීවරයන්ට වඩා උතුරු ඇමරිකානු තණබිම්වල වසන බිම් ලේනුන්ට වඩාත් සමාන වේ.
වර්තමානයේදීද මේ ප්‍රදේශය වන ජීවීන්ගෙන් බහුලවන අතර මූල්, ප්‍රොන්හෝන් යන මුවන් වර්ගද, කොයෝට් (වෘක විශේෂයක්) සතුන්ගෙන් බහුල වේ. නයබ්‍රාරා ගඟ දෙපස කොට්න්වුඩ් සහ විලෝ ශාක බහුලව දැක ගත හැකි අතර මිටියාවත ආශ්‍රිතව විවිධ තෘණ වර්ග සහ වනමල් දැකිය හැක.

      Wikipedia   

      YouTube

      Google Earth
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment