ලිපි එකතුව


Friday, April 1, 2011

55. "රැන්චෝ ලා බ්‍රියා" තාර ගොහොරුව

55. "රැන්චෝ ලා බ්‍රියා" තාර ගොහොරුව/ Rancho La Brea Tar Pits  (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය)
  ස්පාඤ්ඤ භාෂාවෙන් "තාර" හඳුන්වන්නේ "ලා බ්‍රියා" යනුවෙනි. තාර යනු කළු පැහැති ඇලෙන සුළු සහ දැඩි උකු ගතියෙන් සමන්විත ද්‍රවයකි. විද්‍යාත්මකව තාර, "ඇස්ෆල්ට්" ලෙස හඳුන්වන අතර වැඩිපුරම ඇස්ෆල්ට් දක්නට ඇත්තේ බොර තෙල් තුලය (Crude Oil). ඒ හැර ස්වාභාවික ඇස්ෆල්ට් (තාර) නිධි/ ගොහොරු වශයෙන්ද දක්නට ඇත. මේවා පෘතුවි අභ්‍යන්තරයේ සිට පාෂාණ පැළුම් ඔස්සේ උල්පතකින් ජලය මතුවන සේ පෘතුවි මතු පිටට වෑස්සේ. ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා ඇති "රැන්චෝ ලා බ්‍රියා" තාර ගොහොරුවද එසේ පෘතුවි අභ්‍යන්තරයේ සිට පිටතට තාර පිට කරන උල්පත් සියයක් පමණ එකතුවකි. 
"රැන්චෝ ලා බ්‍රියා" තාර ගොහොරුව මීට වසර 40,000කට පෙර සාගර පත්ලෙහි නිර්මාණය වූ බව පැවසේ (එකල කැලිෆෝනියාවේ  තාර ගොහොරුව අවට ප්‍රදේශය සාගරයෙන් යටව පැවත ඇතැයි විශ්වාස කෙරේ). දැඩි භූ චලන මඟින් කැලිෆෝනියා සාගර පත්ල ඉහලට එසැවී තාර ගොහොරුව අවට ප්‍රදේශය වර්තමානයේ දක්නට ඇති පරිදි නිරාවරණව ඇත. .

බැලූ බැල්මට කිසිවෙකුටත් මෙහි, කළු ඇලෙන සුළු තාර පිරුණු ගොහොරුවක් ලෙස අවබෝධ නොවේ, මන්ද ගොහොරුවේ මතු පිට දක්නට ඇත්තේ තාර මත පාවෙන ජලය සහ තැන තැන එක් වූ කොල රොඩුය. එනිසා සතුන්ට මෙය පෙනෙන්නේ ජලය පිරි විලක් හෝ ජලාශයක් ලෙසයි. එසේ තාර ගොහොරුවට ජලය බීමට සිතා එතුලට පය තබනා සියළුම සත්ත්වයින්ට සිදුවන්නේ කළු පැහැති ඇලෙන සුළු තාර තුල ගිලී භූමදාන වන්නටය. සුවිසල් උගුලක් ලෙස ක්‍රියා කරනා ගොහොරුවේ වසර දහස් ගණනක් පුරාවට භූමදානය වූ ශාක භක්‍ෂක, මාංශ භක්‍ෂක සහ සර්ව භක්‍ෂක සතුන්ගේ පොසිල ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් හමුව ඇත. එසේ වසර දහස් ගණනකට පෙර භූමදානය වූ සත්ත්වයින්ගෙන් සමහරක් පහත දැක්වේ:


  • ජයන්ට් ග්‍රවුන්ඩ් ස්ලොත්- ස්ලොත් නම් සත්වයා බොහෝ දුරට ලංකාවේ උණ හපුළුවාට සමානකමක් දක්වයි. උණහපුළුවා මෙන් ගස් මත වාසය කරයි. එහෙත් අතීතයේ විසූ ග්‍රවුන්ඩ් ස්ලොත් නම් සතා වාසය කර ඇත්තේ භූමිය ආශ්‍රිතවය)
  • Yesterday's Camel- වසර 10,000කට පෙර හිම යුගයේ විසූ ලොම්වලින් වැසී ගිය ඔටු විශේෂයකි. එසේ නම් අතීතයේදී ඔටුවන් වාසය කර ඇත්තේ මැදපෙරදිග රටවල්වල පමණක් නොවේ, ඇමෙරිකාවේ පවා ඔටුවන් වාසය කර ඇත.
  • ටාපීර්- ඇමරිකාවේ දැනටත් දක්නට ලැබෙන කුඩා ඌරන් විශේෂයකි.
  • මැමත්- මැමත් නම් සතා ඇතෙකුට සමාන වේ. එහෙත් අතිශය දිගු දල යුගල ඉහලට කරකැවී ගොස් ඇත. එසේම දිගු ලෝමයෙන් පිරි ශරීරයක්ද තිබී ඇත. වසර මිලියන 4.5 කට පෙර ප්ලයෝසීන සහ වසර 4500කට පෙර ප්ලිස්ටොසීන යුගයේ වාසය කර ඇත. 
  • Saber- Toothed Cat- අතිශයින් දිගු රදනක දත් යුවලක් හිමි ඉයෝසීන- ප්ලිස්ටොසීන යුගවල විසූ වල් බළලෙකි.
  • Mastodons- ඔලිගොසීන සහ ප්ලිස්ටොසීන යුග අතර විසූ ඇතෙකුට බොහෝ සමාන සත්ව විශේෂයකි.
  • ඇමෙරිකානු සිංහයා- ඇමරිකාවේ විසූ නෂ්ඨව ගිය සිංහ විශේෂයකි, වසර 11,000කට පෙර වාසය කර ඇත.
  • Dire Wolf- ඇමෙරිකාවේ වසර 10,000කට පෙර විසූ වෘක විශේෂයකි.
රැන්චෝ ලා බ්‍රියා තාර ගොහොරුවේ සුවිශේෂී ලෙස සංරක්‍ෂණය වූ පොසිල අතර පක්‍ෂි පොසිල 100,000කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇත. ඒ අතර යෝධ රාජාලින්, මයෝසීන යුගයේ විසූ  Teratorns නම් මාංශ භක්‍ෂක පක්‍ෂීන් ප්‍රධාන වේ. ඒ හැර ඉපැරණි ශාක විශේෂවල පොසිලද, මීයන්, ගොළුබෙල්ලන් සහ ගෙඹි විශේෂවල පොසිලද කෘමි පොසිලද හමුව ඇත. 

සත්ත්ව හා ශාක විශේෂ මිලියන ගණනක පොසිල සොයාගන්නා රැන්චෝ ලා බ්‍රියා තාර ගොහොරුව ලොව මෙතෙක් හමුව ඇති සුවිශේෂී පොසිල නිධි කිහිපයෙන් එකකි.



      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment