ලිපි එකතුව


Tuesday, October 12, 2010

10. ඩ්ර්ම්හෙලර්’හි නිසරු බිම්

ඩ්‍රම්හෙලර්හි නිසරු බිම්/ Drumheller Badlands
කැනඩාවේ දකුණු ඇල්බර්ටාවෙහි, ඩ්‍රම්හෙලර්හි පිහිටා ඇති මේ නිසරු බිම් රෙඩ් ඩියර් රිවර්මිටියාවතේ කොටසකි. මෙය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ඩයිනසෝර මිටියාවත ලෙසයි. කිලෝ මීටර 2ක් පළලැති සහ 28ක් දිගැති ගැඹුරු පටු ගල් කුළු නිම්නයක් වන ඩයිනසෝර් මිටියාවත, පැළුණු සහ ඇඹරුණු භූ නිර්මාණයකින් සමන්විත වේ.
මෙම ගල් කුළුවල විශේෂත්වය නම්, ඒවා තැනින් තැන පැහැදිලි හුදකලා ස්වාභාවයකින් පිහිටා තිබීමයි. මේවායේ බෑවුම කෙතරම්ද යත්, අංශක 90කට ආසන්න වේ.  නිසරු බිම්හි තවත් භූ නිර්මාණයක් වන්නේ ජල පහරවල් ගලා යාමෙන් ජලය ගිය මඟ ස්වාභාවිකව සෑදී ඇති ගැඹුරු කාණු පද්ධතියි. එසේ ගලා ගිය ජල පහරවල් වර්තමානයේ දැකිය නොහැක. තවද ආවාට සහිත භූ ලක්‍ෂණද මෙහි සුලභ වේ. ඉහත සඳහන් කරන ලද සියළුම භූ ලක්‍ෂණයන් නිර්මාණය වී ඇත්තේ මීට වසර මිලියන 70කට පෙර, වැලිගල්, ශල්ක, මඩගල් සහ ගල් අඟුරු ඛාදනය වීමෙනි.
ඔබ ඩ්‍රම්හෙලර්හි ගියහොත් අනිවාර්යයෙන්ම හැඟී යන්නේ තමන් වෙනත් ග්‍රහලෝකයකට හෝ පෘතුවියේ ඈත යුගයකට පා තැබූ ආකාරයෙනි. මෙම ප්‍රදේශය නිසරු බිම් ලෙස හඳුන්වන්නේ එහි කිසිම කෘෂිකාර්මික කටයුත්තක් හෝ කළ නොහැකි පරිදි නිසරු බැවිනි. එහෙත් මෙය ඩයිනසෝරයන්ට ලොල් බඳින්නන්ට නම් මිල කළ නොහැකි සම්පත් ඇති භූමියකි.
ඩයිනසෝරයන් පිළිබඳ පරීක්‍ෂණ කරන්නවුන් විසින් මෙහි පොළෝ අභ්‍යන්තරයේ සැඟව ගිය ඩයිනසෝර පොසිල සොයාගනු ලැබිණි. ඒ ඩයින්සෝර රජුන් වන ටී- රෙක්ස් සතුන්ගේ සම්පූර්ණ ඇටසැකිලිය. එවන් පූර්ණ ඩයිනසෝර ඇටසැකිලි ලොව අන් කිසි තැනකවත් හමුවී නොමැත. එසේ සොයා ගන්නා ලද පූර්ණ ඇට සැකිලි දොළසක්, පාෂාණ ධාතු විද්‍යාව සඳහා ලොව අංක එකේ කෞතුකාගාරයක් වන ඩ්‍රම්හෙලර්හි රාජකීය ටිරල් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
ඩ්‍රම්හෙලර් වර්තමානයේ කටුක නිසරු ප්‍රදේශයක් වුවත් මීට වසර මිලියන 70කට පෙර උණුසුම් නිවර්තන කලාපීය දේශගුණයක් සහිත පරිසරයක්ව පැවතිණි. තවද එකල එහි ඩයිනසෝරයන් ඇතුළුව විවිධාකාරයේ ජීවීන් විසූහ. ක්‍රිටේසීය  යුගයේ අග භාගයෙදී පෘතුවිය උල්කාෂ්මයක ගැටී ඩයිනසෝරයන් ඇතුළු ජීවීන් සමූලඝාතනය විණි. දුහුවිලි වලාවන්ගෙන් ආවරණය වූ වායුගෝලය මඟින් හිරු එළිය අවහිර කරනු ලැබිණ. අඳුරේ නැහැවුණු පෘතුවියේ උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් පහල බැස ශීතලේ ගල් ගැසුණි. පසුව උදාවූ හිම යුගයේදී මෙම භූමිය වසර මිලියන 2ක් පුරා, සුළඟ, ජලය හා අයිස් වලට නිරාවරණය වීම මඟින් දැඩි ඛාදනයකට ලක්වුණි. මෙම ක්‍රියාවලිය මඟින් භූමිය අවසාදනය වී පොසිල නිරාවරණය විණ.
නිසරු බිම්හි, විවිධ අවස්ථා ග්‍රහණය කරගැනීමට නම් මෙහි කීප වරක් දවසේ විවිධ වේලාවන්හි සංචාරය කළ යුතුය. හිරු නැඟ එන කල හාත්පස රෝස පැහැයෙන් බබළයි. මධ්‍යහ්නයේ අව සුදු පැහැයෙන්ද, අපරභාගයේ රන්වන් පැහැයෙන්ද, හිරු බැස යන සැඳෑ කල සැර තැඹිලි සහ ගැඹුරු දම් පැහැයකින් හාත්පස දිදුලයි.



No comments:

Post a Comment