ලිපි එකතුව


Monday, January 3, 2011

48. යක්‍ෂයාගේ කුළුණ

48. යක්‍ෂයාගේ කුළුණ (වයෝමින්ග්, ඇමරිකා එක්සත් ජනපදය)
  යක්‍ෂයාගේ කුළුණ යන අනවර්ථ  නාමයෙන් හඳුන්වන්නේ වයෝමින්ග් ප්‍රාන්තයේ ඇති ඒකශෛලමය (තනි ගලෙන් නිර්මාණය වූ) කුළුණකටයි. පොළෝ මට්ටමේ සිට මීටර 386ක් උසට තනි කෙලින් පොළවට ලම්භාකාරව විහිදී ඇත. මෙවන් ශෛලමය කුළුණු ස්වභාවිකව නිර්මාණය වන්නේ යමහල් ක්‍රියාකාරිත්වය හේතුකොටගෙනය. උණු වූ මැග්මා පොළෝ අභ්‍යන්තරයේ සිට නලයක් වන් පටු  මාර්ගයක් ඔස්සේ  පොළෝ මතු පිටට පැමිණීමට උත්සහ දරයි එහි ප්‍රතිඵලයක් ලෙස උණු වූ මැග්මා පිටතට පැමිණීමට උත්සහ දරණ  මතු පිට ප්‍රදේශය පොළෝ මට්ටමෙන් ඉහලට එසැවීමට  පටන් ගනී. එහෙත් උණු මැග්මා පිටතට පැමිණීමට පෙර වේගයෙන් ඝණීභවනය වී පාෂාණීභූත වේ. මෙවන් යමහලක් නෂ්ඨව ගිය/ මිය ගිය යමහලක් ලෙස හඳුන්වනු ලැබේ. පසු කාලීනව වසර දහස් ගණනක් පුරා  ඝණීභවනය වූ මැග්මා කුළුණ වසා සිටිනා පොළවේ මතු පිට ස්ථරය ඛාදනය වීම හේතුවෙන් මැග්මා ඝණීභවනය/ පෂාණීභූත වීමෙන් සෑදුන  තනි ශෛලමය කුළුණ පැහැදිලිව දිස් වීමට පටන් ගනී. වයෝමින්ග් ප්‍රාන්තයේ යක්‍ෂයාගේ කුළුණ එසේ නිර්මාණය වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. 
රතු පාටින් රත් වූ මැග්මා පටු සිදුරක් ඔස්සේ පොළෝ අභ්‍යන්තරයේ සිට මතු පිටට පැමිණීමේදී, පිටතට පැමිණීමට පෙර ඝණීභවනය වී ඇති අයුරු. මැග්මා පිටතට පැමිණීමට දරන උත්සාහයේදී පොළව මතු පිට උඩට නෙරා ගොස් ඇත. පසුව මැග්මා වටා ඇති පොළෝ ස්ථරය ඛාදනය වීම හේතුවෙන්, පාෂාණිභූතවූ මැග්මා, කුළුණක් ලෙසින් පිටතට නිරාවරණ වේ.
    ලංකාවේ මෙලෙස නිර්මාණය වූ ශෛලමය පාෂාණයකට හොඳම උදාහරණය නම් යුනෙස්කෝව මඟින් ශ්‍රී ලංකාවේ මිය යාමට ප්‍රථම නැරඹිය යුතු ස්වාභාවික ආශ්චර්යයක් ලෙස නම් කරන ලද සීගිරි පර්වතයයි. ලංකාවේ වර්තමානයේ යමහල් ක්‍රියාකාරිත්වයක් දක්නට නොලැබුණත්, වසර මිලියන ගණනකට පෙර  අප රටේ යමහල් ක්‍රියාකාරීව තිබූ බවට මෙය හොඳම සාක්‍ෂිය වේ. එනිසා සීගිරිය, යුනෙස්කෝව විසින් සංස්ක්‍කෘතික මෙන්ම ස්වාභාවික ආශ්චර්යයක් ලෙසටද නම් කර ඇත. 
    නැවතත් ඇමරිකාවේ වයෝමින්ග් ප්‍රාන්තයේ ශෛලමය කුළුණ ගැන සඳහන් කරනවා නම් එහි පෘෂ්ඨයේ කඩතොළු සහිත අපූරු ශෛලමය රටාවක් දැක ගත හැක.මෙම කුළුණ නිර්මාණයට පාදක වූ උණූ මැග්මා ශීග්‍රයෙන් ඝණීභවනය වීම හේතුවෙන්, කුළුණ වටා මතුපිටින් සිරස් තීරු නිර්මාණය වී ඇත. මේ එක් තීරුවකට අඩි දෙකක පමණ විෂ්කම්භයක් ඇති අතර තීරුවකට පැති 6 සිට 12 දක්වා පැති ප්‍රමාණයක් ඇත. මැග්මා ඝණීභවනය වීමේ වේගය අනුව තීරුවක විෂ්කම්භය තීරණය වේ. සෙමෙන් ඝණීභවනය වීමෙන් මහත තීරුද, වේගයෙන් ඝණීභවනය වීමෙන් සිහින් තීරුද නිර්මාණය වේ.
   යක්‍ෂයාගේ කුළුණ එහි සිට කිලෝමීටර 160 දුරකින් සිට වුවත් පැහැශිලිව දර්ශනය වේ. එහි පැහැය දිනයේ විවිධ කාලයන්ට අනුව වෙනස් වේ. හිරු නැඟ එන විට, උදෑසන, දහවල සහ හිරු බැස යන සන්ධ්‍යාවේ විවිධ පැහැයෙන් දිස් වේ.
  කුළුණ හා බැඳුනු ඇමරිකාවේ ස්වදේශිකයන්ගේ ජන කථාවක්ද ඇත. වරෙක කුඩා ගැහැණු ළමුන් කණ්ඩායමක් විශාල වළසෙක් විසින් පන්නාගෙන ආවේලු. එම ළමුන් කණ්ඩායම වළසාගෙන් බේරීම සඳහා කුඩා කඳු ගැටයක් උඩට නැග ඇති අතර, ළමුන් බේරා ගැනීමේ පරමාර්ථයෙන් කඳු ගැටය ශීඝ්‍රයෙන් කුළුණක් ලෙසින් උසට වැඩුනේලු. ඉන් පසු වළසාට ළමුන් අල්ලා ගැනීමට උස මද නිසා, කුළුණ සහිත් බිම උගේ විශාල නියවලින් පහුරු ගා ඇති අතර ඒ පහුරු ගෑ පැත්තෙන් කුළුනෙන් කොටසක් වළසාගේ ශරීරයමතට කඩා වැටී ඌ එතැනම මිය ගොස් ඇති අතර, ළමුන්  කණ්ඩායම බේරී ගොස් ඇත.

      Wikipedia

      YouTube

      Google Earth
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment