ලිපි එකතුව


Thursday, December 9, 2010

39. මල්ට්නොමා දිය ඇල්ල

මල්ට්නොමා දිය ඇල්ල
ඔරිගොන්, ඇමරිකා එක්සත් ජනපදය


View මල්ට්නොමා දිය ඇල්ල in a larger map

මල්ට්නොමා දිය ඇල්ල ලාච් කන්දෙහි ලොමුදැහැ ගන්වන ප්‍රපාතයක සිට එක එල්ලේ අඩි 620ක් පහලට කඩා හැලේ. කොළොම්බියා නදිය පැසිෆික් සයුර සොයා යන තම දුෂ්කර ගමන් මාර්ගයේ එක් සංධිස්ථානයක මල්ට්නොමා දිය ඇල්ල නිර්මාණය කරයි. එය ඇමරිකා එක්සත් ජනපදයේ වසර පුරා නොසිඳෙන උසම දිය ඇළි අතර දෙවන ස්ථානයේ පසු වෙයි. ඉදිරියෙන්ම සිටින්නේ යොසෙමිටී දිය ඇල්ලයි. මල්ට්නොමා දිය ඇල්ල කොටස් දෙකකින් සමන්විත වේ එනම් ඉහල ඇල්ල සහ පහල ඇල්ල ලෙසයි. ඒ ඇලි දෙක අතර තුර කුඩා තටාකයක් දැකිය හැක. ඉහල ඇල්ල වඩාත් දිගින් සහ සිහින් බවකින් යුක්ත වේ. පහල ඇල්ල පළලින් සහ ජල ධාරිතාවෙන් පොහොසත්ය. දිය ඇල්ල පළිඟු වන් සුපැහැදිලි ජලයෙන් සමන්විත දිය උල්පත්වලින් පෝෂණය වේ. ඇල්ලෙන් ගලා යන ජලයෙන් සෑදෙන දිය පහර මල්ට්නොමා ආර ලෙස හඳුන්වයි.  ආර යනු කුඩා ගඟකි. ඇල්ලෙහි ජල ධාරිතාව වැඩි වන්නේ ශීත සහ වසන්ත සෘතු තුලයි. එහෙත් ශීත සෘතුවේදී ඇල්ලේ ජලය මිදීමේ ප්‍රවණතාව අධිකය.

ලාච් කඳු ප්‍රපාතියන්හි බැසෝල්ට් සමන්විත ලාවා ගලා යෑම්වලට නිරාවරණය වීමෙන් පෙන්නුම් කරන්නේ මීට වසර මිලියන 12-16 කට පෙර මැග්මා මතු පිටට පැමිණීමෙන් අදාල ප්‍රදේශය නිර්මාණය වූ ආකාරයයි.  දිය ඇල්ලේ නිර්මාණය සම්බන්ධයෙන් රසවත් ස්වදේශික පුරාවෘත්තයක් ඇත. වරෙක තරුණ කන්‍යාවක් තම රටේ ජනතාවට වැළඳී තිබෙනා මාරාන්තික වසංගතයක් දුරු කිරීමට සිතා මහානුභාව ආත්මයකට බිල්ලක් ලෙස දැනට දිය ඇල්ල ඇද හැලෙනා ලාච් කන්දෙන් පහලට පැන්නේළු. පසු දින ඇගේ පියා සිය දියණියගේ මළ සිරුර සොයා අදාල ප්‍රදේශයට ගොස් ඇති අතර ඔහු මහානුභාව සම්පන්න ආත්මෙන් ඉල්ලා සිට ඇත්තේ තම දියණියගේ ආත්මය සිටින බවට සළකුණක් හෝ පෙන්නන ලෙසයි. එකෙණෙහිම රිදීවන් දිය දහරාවක් වනයෙන් මතු වී ලාච් කන්දේ ඉහල සිට පහලට කඩා වැටුනේළු. මල්ට්නොමා දිය ඇල්ල එසේ නිර්මාණය වූ බව පුරාවෘත්තවල සඳහන් වේ. 

නරඹන්නන්ට කුඩා අඩි පාරක් ඔස්සේ දිය ඇල්ල මධ්‍යයයේ ඇති ලී පාලම වෙතට ලඟා විය හැක. එහි සිට ඉහල බලන ඔබට මල්ට්නෝමා දිය ඇල්ල කඳු මුදුනතින් පහළට වැටෙන ආකාරය මෙන්ම ඇල්ලේ ජලය වනාන්තරය තුලින් කුඩා ගංගාවක් ලෙස ගලා යන මනස්කාන්ත දර්ශනයද දැක බලා ගත හැක. ඇල්ල මුදුනටම ඔබට යා හැකි නම් ඔබට කොලොම්බියා නදී දොරුව පැහැදිලිව දැක බලා ගැනීමට හැකි වේ. දොරුවක් යනු අතිශය ගැඹුරු පැල්මකි. කොළොම්බියා නදිය මේ දොරුව ඔස්සේ ගලා යයි.

No comments:

Post a Comment