ලිපි එකතුව


Tuesday, January 11, 2011

51. මොන්ටිරේ බොක්ක ආශ්‍රිත සාගර අභයභූමිය

51. මොන්ටිරේ බොක්ක ආශ්‍රිත සාගර අභයභූමිය/ Monterey Bay Marine Sanctuary (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය)

    ඇමරිකා එක්සත ජනපදයේ සාගර අභය භූමි 14 අතුරින් විශාලම සාගර අභය භූමිය මොන්ටිරේ බොක්ක ආශ්‍රිත සාගර අභය භූමිය වේ. මෙය මධ්‍යම කැලිෆෝනියාවේ පැසිෆික් වෙරළේ සිට කිලෝමීටර පනහක් පමණ සාගරය දෙසට විහිදී යයි. ජෛව විවිධත්වය අතින් ලොව අංක එකේ සාගර පරිසර පද්ධතියක් ලෙස හැඳින්විය හැක. මොන්ටිරේ සාගර පරිසර පද්ධතිය නොයෙකුත් ක්‍ෂීරපායින්ට, මුහුදු පක්‍ෂීන්ට, ම්ත්ස්‍යයින්ට, අපෘෂ්ඨවංශී මුහුදු ජීවින්ට සහ මුහුදු පැලෑටිවල නිවහන වේ. 1992 දී අභය භූමියක් ලෙස මොන්ටිරේ සාගර පරිසර පද්ධතිය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු කිහිපයක් ඇත. 
  1. පරිසර පද්ධතිය ආශ්‍රිත ස්වාභාවික සම්පත් ආරක්‍ෂා කිරීම
  2. පර්යේෂණ පැවැත්වීමට පහසුකම් ලබා දීම
  3. අධ්‍යාපන කටයුතු සඳහා
  4. කෙල්ප් නම් මුහුදු ශාක විශේෂයක් ආශ්‍රයෙන් ගොඩ නැඟුනු පරිසර පද්ධතිය රැක ගැනීම.
අභය භූමියේ 
  • ප්‍රමාණය- නාවික වර්ග සැතපුම් 4024කි.
  • ගැඹුරුම ස්ථානය- මීටර 3250කි.
  • සාමාන්‍ය සාගර උෂ්ණත්වය- සෙල්සියස් අංශක 13කි.
  • මුහුදු ක්‍ෂීරපායින් විශේෂ- 26කි.
  • මුහුදු පක්‍ෂි විශේෂ- 94කි.
  • මත්ස්‍ය විශේෂ- 345කි.
  • කැස්බෑවුන් විශේෂ- 4කි.
  • මුහුදු ඇල්ගී විශේෂ- 450කි.
  • අපෘෂ්ඨවංශී මුහුදු ජීවී වංශ- 31කි. 
මොන්ටිරේහි කෙල්ප් මුහුදු ශාක ආශ්‍රිත පරිසර පද්ධතිය
      අභයභූමිය ආශ්‍රිත සාගරයේ කෙල්ප් නැමැති මුහුදු ශාක විශේෂයක් දැක ගත හැක. මෙම ශාකයට වසර දහයක පමණ ආයු කාලයක් ඇත. ප්‍රදේශය ආශ්‍රිත ශීතල, නිසල හිරු එළියෙන් පෝෂණයවන සාගර ජලයෙහි කෙල්ප් පැලෑටිය දිනකට අඩි දෙකක් පමණ උසකින් වර්ධනය වේ. හොඳින් වැඩුනු ශාකයක් මීටර 65ක් පමණ උසය. සූර්යාලෝකය ලෙහෙසියෙන් සාගරයේ ගැඹුරට ගමන් නොකරයි. එයට හේතුවී ඇත්තේ අතිශයින් ඝණව වැඩුණු කෙල්ප් වනාන්තරයි.සූර්යාලෝකය හොඳින් වැටෙනා සාගර ජලයේ ඉහල මීටර කිහිපය ප්‍රකාශ කලාපය ලෙස හඳුන්වයි (Photic Zone). සාගරයේ ගැඹුරට යත්ම සූර්යාලෝකය අඩුවී යයි. කෙල්ප් ගහණය අඩු සමහර ස්ථානවල සූර්යාලෝකය අඩි තුන්දහසක් පමණ ගැඹුරට ගමන් කරයි. කෙල්ප් වනාන්තරවල වැඩීම සඳහා හිරු එළිය අත්‍යවශ්‍ය වේ. මේවා මුහුද මතු පිට සිට  අඩි 6-100ත් අතර ගැඹුරකින් පිහිටයි. කෙල්ප් වනාන්තර ස්ථර තුනකින් සමන් විත වේ. එම ස්ථරවන උප ස්ථරය, මධ්‍යම ස්ථරය සහ උඩු වියන නිවෙස් කරගත් නොයෙකුත් අපෘෂ්ඨවංශී ජීවීන් සහ මත්ස්‍යයින් ඇත. වඩාත් ගැඹුරින් ඇති උප ස්ථරයේ (කෙල්ප් මූල පද්ධතිය ආශ්‍රිතව) Apalones (කැස්බෑ විශේෂයක්), Brittle Stars (පසැඟිල්ලන් විශේෂයක්) සහ  Sea Urchins යන ජීවීන් දැක ගත හැකිය. තවද පොකිරිස්සන් සහ කකුළුවන්ද ඒ අතර වේ.

      කෙල්ප් ගසෙහි පත්‍ර හොඳින් වැඩී ඇති මධ්‍යම ස්ථරයෙහි, Turban Snails, Purple ringed top Snails යන ගොළුබෙලි විශේෂද,  Garibaldi සහ Sheepshead යන යෝධ කෙල්ප් මසුන්ද වෙසේ.

      සාගර මතුපිටට ආසන්න උඩුවියන් ස්ථරයෙහි, Nudibranch, Bryozoa, Zooplankton සහ Phytoplankton යන ජීවින් වෙසේ. තවද දිය බල්ලන්ගේ නිවෙස් ඇත්තේද මේ කෙල්ප් උඩුවියන් ආශ්‍රිතවයි. දිය බල්ලන් අඩි හතරක් පමණ දිගැති ක්‍ෂීරපායී මාංශ භක්‍ෂක සත්ත්වයෙකි. උන්ගේ අහාර වන්නේ විවිධ මුහුදු බෙල්ලන්ය. විවිධ ආයුධ (ගල් කැබලි, කටු කැබලි) උපයෝගී කරගෙන බෙල්ලාගේ කටුව විවෘත කිරීමට මේ සත්ත්වයා දක්‍ෂය. මේ ජීවීන් හැර සුදු මෝරා, කැලිෆෝනියානු මුහුදු සිංහයා සහ යෝධ සීල් මසුන් කෙල්ප් ශාක ආශ්‍රිතව සැරිසරනු දැක ගත හැක.


      මොන්ටිරේ අභයභූමියට සිදුවන ස්වාභාවික බලපෑම්
      මොන්ටිරේ අභය භූමිය විවිධ ස්වාභාවික බලපෑම්වලට යටත් වේ. 
      1. සාගර පත්ලෙහි ඇති ජලය සාගර මතු පිටට පැමිණීමේ ක්‍රියාවලිය (Upwelling Process)- මේ සම්බන්ධයෙන් මොන්ටිරේ කැණියම සෘජුවම දායක වේ. කැණියම සාගර පත්ලෙහි ඇති ශීතල ජලය මතු පිටට ගෙන ඒමේ නලයක් ලෙස ක්‍රියා කරයි. පත්ලෙහි ඇති ජලය මතු පිට පැමිණි පසු සෙල්සියස් අංශක 13ක සාමාන්‍ය මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 දක්වා පහල බසී. එම ශීතල ජලයේ පොස්පේට් සහ සිලිකේට්වලින් බහුලය. පෝෂ්‍ය පදාර්ථ පිරි මේ ජලයේ කුඩා මසුන් බහුල ලෙස දැකිය හැකි අතර උන් ගොදුරු කර ගැනීමට පැමිණෙන තල්මසුන්ගෙන්ද අඩුවක් නැත. 

      2. දියවැල්වල බලපෑම- මොන්ටිරේ අභය භූමිය ආශ්‍රිත බොක්ක කැලිෆෝනියා දියවැල සහ කැලිෆෝනියා යටි සැඩ පහර යන  දියවැල් වර්ග දෙකක බලපෑමට හසු වේ. කැලිෆෝනියා දිය වැල ඇලැස්කාව ආශ්‍රිත උප ආක්ටික් සාගරවල ශීතල ජලය ගෙන එන අතර ඒවා ලවණ ගතියෙන් අඩුවේ. කැලිෆෝනියා යටි සැඩ පහර ජලය ගෙන එනු ලබන්නේ නිවර්තන කලාපීය සාගරවලින්ය. එම ජලය උණුසුම්ව්න අතර ලවණ ගතියෙන්ද අධිකය. ශිශිරයේදී කැලිෆෝනියා යටි සැඩ පහර වඩාත් ශක්තිමත් වන අතර ගිම්හානයේදී කැලිෆෝනියා දියවැලෙහි ශක්තිමත් බව වැඩිවේ.

      3. එල්නිනෝ බලපෑම- සෑම වර්ෂ 3-7කට වරක්ම අභය භූමිය අවට පැසිෆික් සාගර පරිසර පද්ධතිය අවුල් වී යයි. සාමාන්‍යයෙන් එල්නිනෝ බලපෑම ඇති වන්නේ ශිශිරයේදීය වන අතර එල්නිනෝ බලපෑමක් ඇතිවන්නේ සමකය ආශ්‍රිත දියවැල්වල රටාව වෙනස්වීම හේතුවෙනි. එල්නිනෝ බලපෑමෙන් ඇතිවන දුර්වල ම්හුදු සුළං සාගරය මතුපිට උෂ්ණත්වය අඩු කිරීමට රුකුලක් නොදෙන අතර උණුසුම් මුහුදු ජලයෙහි සතුන්ට අවශ්‍ය පෝෂක හිඟවේ.

            Wikipedia
            Google Earth
      UNESCO NATURAL WONDERS

      1 comment:

      1. ඉතා වැදගත් බ්ලොග් අඩවියකි. එකම අඩුපාඩුව වන්නේ එය ලෝඩ් වීමට ගතවන කාලය වැඩි වීමය.

        ReplyDelete