My Flickr Photostream

ලිපි එකතුව


Saturday, April 28, 2012


86. ඩෙලවෙයාර් බොක්ක/ Delaware Bay (ඩෙලවෙයාර් ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
Sourcehttp://www.uploadimages4free.com/browse_images/delaware_horseshoe_crabs_delaware_bay_1999-3937.html (National Geographic Image)
මේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙලවෙයර් ප්‍රාන්තයයි. බොහෝ දුර ගමනක් ගෙවා පැමිණෙන ඩෙලවෙයර් ගංගාව අත්ලන්තික් සාගරය හා එක් වන්නේ වර්ග කිලෝමීටර 2030ක් වූ පුනීල හැඩැති ඩෙලවෙයර් බොක්කෙනි. බටහිර අත්ලන්තික් පක්‍ෂි පර්යටන මාර්ගයේ පිහිටා ඇති ඩෙලවෙයර් බොක්ක   ඇලැස්කාවේ "කොපර්" ගංගාවට පසුව පෘතුවි බටහිර අර්ධගෝලයේ  වැඩිම පක්ෂී සංඛ්‍යාවක් එක් රැස්වන ස්ථානය ලෙසද වාර්තා වේ.  

මේ සියල්ලටම වඩා ඩෙලවෙයර් බොක්ක ආශ්‍රිත වෙරළෙහි සුවිශේෂී ක්‍රියාවලියක් සිදු වේ. එනම් ඉතා උස් වඩදිය රළ නැඟ එන නව සඳ සහ පුර හඳ අතර කාලය (මැයි-ජුනි) අතර තුර  "හෝස්ෂූ" (අශ්ව ලාඩම් හැඩැති) කකුළුවන් ලක්‍ෂ ගණනක් අභිජනන ක්‍රියාවලිය සඳහා ඩෙලවෙයර් වෙරළට පැමිණීමයි. හෝස්ෂූ කකුළුවන්, කකුළුවන් විශේෂයක් වුවත් වඩා සමාන කමක් දක්වන්නේ ගෝනුස්සන්ට සහ මකුළුවන්ට වන අතර මේ කකුළු විශේෂය සජීවී පොසිල ලෙස හඳුන්වයි. වසර දහස්/ මිලියන ගණනකට පෙර පොසිල බවට පත්වූ ජීවියෙක් වර්තමානයේත් ඒ පොසිලයේ රූපකාය දරාගෙන ජීවත්වනවා නම්, එවන් ජීවීන් සජීවී පොසිල ලෙස සලකනු ලැබේ. මන්ද වසර මිලියන හෝ දහස් ගණනක පෙර විසූ බව පොසිල මඟින් සොයාගත් ජීව විශේෂ බොහෝමයක් වර්තමානය වන විට වඳව ගොස් ඇති බැවිනි. මෙතෙක් සොයාගත් හෝස්ෂූ කකුළුවෙක්ගේ පැරණිම පොසිලය මීට වසර මිලියන 450කට පෙර වූ ඔඩෝවිසියන් යුගයට අයත් යැයි සැලකේ. ඒ පොසිලයත් අද ජීවත් වන හෝස්ෂූ කකුළුවන්ගෙත් වැඩි වෙනසක් නොමැත. මෙවන් ජීවීන් පෘතුවියේ ඒ ඒ යුගවල සිදු වූ සමූහ වඳවයෑම්වලට සාර්ථකව මුහුණ දී අදත් පැවතෙයි. සමූහ වඳව යෑමකට උදාහරණයක් නම්  ක්‍රිටේසීය යුගයේ අග භාගයේදී පෘතුවිය උල්කාවක ගැටීම නිසා සිදු වූ ඩයිනසෝර් වඳව යෑමයි. (මෙවන් සුවිසල් සමූහ වඳව යෑම් 5ක් පෘතුවියේ විවිධ යුග කිහිපයක සිදු වී ඇත).

එක් හෝස්ෂූ ගැහැණු කකුළුවෙක් බිත්තර 65000- 120,000ත් අතර ප්‍රමාණයක් වැල්ලේ දමන අතර ඒවා එකවර දැමීමක් නොකර කාණ්ඩ වශයෙන් දමයි. සාමාන්‍යයෙන් එක් කාණ්ඩයකට 3000-4000ත් අතර බිත්තර ප්‍රමාණයක් අයත්වන අතර පිරිමි සතා එම බිත්තර සංසේචනය කරයි. කකුළු ගහණය කෙතරම්ද කිවහොත තවත් කකුළුවෙක් බිත්තර දැමීම සඳහා වැල්ලේ වළක් හාරන විට එම ස්ථානයේම් වෙනත් කකුළුවකු විසින් ඊට පෙර වළ දැමූ බිත්තර මතු පිටට පැමිණේ. මෙවන් අවස්ථාවකින් ප්‍රයෝජන ගැනීමට පෙර මග බලා සිටිනුයේ බටහිර අත්ලන්තික් පර්යටනයෙන් හෙම්බත්ව තම ශක්තිය වියැකී විඩාවට පත්වී සිටින ලක්‍ෂ සංඛ්‍යාත කුරුල්ලන්ය. මොවුන් දකුණු ඇමෙරිකාවේ සිට ගමන් ගන්නේ උතුරු ඇමෙරිකාවේ ඇලැස්කාව, ග්‍රීන්ලන්තය සහ ආක්ටික් වෘත්තය කරායි. එවන් දිගු ගමනක නියැලී සිටින ඔවුන් ඩෙලවෙයාර් බොක්කට ලඟාවන විට ඉතා වෙහෙසට පත්වී සිටියි. මෙම හෝෂූ කකුළුවන්ගේ බිත්තර, පක්‍ෂීන්ගේ ගෙවී ගිය ශක්තිය නැවත ලබා ගැනීමට ඉතා අනර්ඝ ආහාරයකි.
Source- http://www.nj.gov/dep/fgw/ensp/images/shorebirds.jpg 
86.2 - ඩෙලවෙයාර් වෙරළට රැස්ව සිටින ලක්‍ෂ සංඛ්‍යාත පක්‍ෂීන්

  Wikipedia
UNESCO NATURAL WONDERS

Friday, April 27, 2012


85. "කේව් ඔෆ් ද වින්ඩ්ස්" ගුහා පද්ධතිය/ Cave of the winds (කොළරාඩෝ ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
Sourcehttp://farm5.staticflickr.com/4045/4230308018_d63cc4e7dc_b.jpg
"කේව් ඔෆ් ද වින්ඩ්ස්" යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ කොළරාඩෝ ප්‍රාන්තයෙහි පිහිටා ඇති හුණු ගල් සංයුතියෙන් සමන්විත ලොව සුවිශේෂී ගුහා පද්ධතියක් වන අතර හුණු ගල් ගුහාවලටම ආවේණික වූ සුවිශේෂ ස්වාභාවික නිර්මාණ රැසකින් මෙම ගුහා පද්ධතිය සමන්විත වේ. ඔබටත් මෙවන් ගුහා පද්ධතියක් නිරීක්‍ෂණය කිරීමට කැමති නම් ඔබ යා යුත්තේ මෙයට නොදෙවෙනි ලොව විශිෂ්ඨතම හුණුගල් ගුහා පද්ධති කිහිපයෙන් එකක් වන රත්නපුර දිස්ත්‍රික්කයේ වවුල්පනේ හුණුගල් ගුහා පද්ධතියටයි. ගුහා වහලයේ සිට පහලට දික්වූ "ස්ටලක්ටයිට්" නම් හුණුගල් (කැල්සියම් කාබනේට්) කූරුද, ගුහා පෘෂ්ඨයේ සිට ඉහලට එසැවුණු "ස්ටලග්මයිට්" නම් හුණුගල් ස්ථම්භද, මෙවන් හුණුගල් ගුහාවල සුලභ මෙන්ම දර්ශනීය දසුනකි. කේව් ඔෆ් ද වින්ඩ්ස් ගුහා පද්ධතියේ මෙන් නොව ශ්‍රී ලංකාවෙහි වවුල්පනේ ගුහා පද්ධතියේ හුණුගල් කූරු/ ස්ථම්භ නොයෙකුත් වර්ණයන්ගෙන් සමන්විත වේ. "ස්ටලක්ටයිට්" නිර්මාණය වන්නේ කැල්සියම් කාබනේට්වලින් සමන්විත ජලය, ගුහා වහලයෙන් කාන්දු වීම නිසා වන අතර, වහලයේ බිත්තිය මත එකතු වන සෑම ජල බිංදුවක් වටාම කැල්සයිට් වළල්ලක් (කොන් 6ක් සහිත ස්පටික කැල්සියම් කාබනේට්) නිර්මාණය වේ. මෙම ක්‍රියාවලිය වසර දහස් ගණනක් සිදුවීම හේතුවෙන් මුල මහත අග සිහින් (කේතාකාර) කූරක් ගුහා වහලයේ සිට පහලට නිර්මාණය වන අතර ඉහත සඳහන් පරිදි ඒවා "ස්ටලක්ටයිට්" ලෙස හඳුන්වනු ලැබේ. "ස්ටලග්මයිට්" යනු ගුහාවේ පෘෂ්ඨයේ එක් රැස් වුණ කැල්සියම් කාබනේට් මිශ්‍රිත ජලය හේතුවෙන් පහල සිට ඉහලට කැල්සයිට් වළලු නිර්මාණය වීමයි. මේවා පොළවෙන් ඉහලට එසැවුණු සිහින් ස්ථම්භ ලෙස දැක ගත හැකිවේ. ඉහත ඡායාරූපයේ මෙම ලක්‍ෂණ දෙක පිළිබිඹු වේ.


ඒ හැරුණු කොට හුණුගල් ගුහා තුල දක්නට ඇති තවත් සුවිශේෂී දසුනක වන්නේ "ෆ්ලෝ-ස්ටෝන්" (Flow-stone) නම් නිර්මාණයයි. හුණුගල් බිත්ති මතින් ජලය ගැලීමේදීද ඒ ගලන ජලයේ රිද්මයට/ හැඩයට අනුව කැල්සයිට් තට්ටු නිර්මාණය වේ. එසේ හුණු ගල් බිත්ති මතින් එකල ගැලූ ජල පහරවල හැඩය සහ ස්වාභාවය ෆ්ලෝ-ස්ටෝන් මඟින් මනාව නිරූපණය වේ. 
Source- http://www.caves.org/committee/salons/images/Slides%202008/Flow%20Flowstone-Bosted.jpg
85.1: හුණුගල් ගුහාවක ඇති ෆ්ලෝ-ස්ටෝන් දසුනක්. මෙහිදී පෙර කලෙක ඒ ඒ ස්ථානයන් මතින් ගැලූ ජල පහරේ රිද්මයට කැල්සයිට් තට්ටු තැන්පත්ව ඇති අයුරු.


ගුහාව ආශ්‍රිත ජීවීන්
හුණුගල් ගුහාවක් යනු ඔක්සිජන් සහ ආලෝකය හිඟ අතිශය ආම්ලික පරිසරයකින් යුක්ත වූවකි. එවන් කටුක ලෙන් ආශ්‍රිත පරිසරයක් තම වාසස්ථාන කර ගනිමින්  ජීවත්වන ජීවීන් "එක්ස්ට්‍රොමොෆයිල්ස්" (Extremophiles) ලෙස හැඳින්වේ. මෙම ජීවීන් භූ විද්‍යාවට වැදගත් වන්නේ පෘතුවියෙහි මුල් ජීවය පිළිබඳ හෝඩුවාවන් සපයන බැවිනි. ලෙන් ආශ්‍රිත ජීවීන් ප්‍රධාන වශයෙන් කොටස් 3කි 1. Troglobite, 2. Troglophile, 3. Trogloxene. ට්‍රොග්ලොබයිට් යනු පොළව යට සදාකාලික අන්ධකාරයෙහි ජීවත්වන ජීවීන්ටය, මොවුන් සමහරකට චර්මයේ වර්ණක නොමැති අතර ඇස් පවා පිහිටා නැත. මොවුන් අතර මත්ස්‍යයින්, පොකිරිස්සන්, සැලමැන්දරාවන්, පළඟැටියන් සහ මකුළු විශේෂ දක්නට ඇත. ගුහාවෙහි අතිශය ඝණ අන්ධකාරයේ වසනා මොවුන්ට ඉන් පිටත පරිසරයක ජීවත්වීමට නොහැක. ට්‍රොග්ලොෆයිල් යනු මද ආලෝකයක් සහිත අඳුරු ස්ථාන තම වාසස්ථානය කරගත් ජීවීන්ටයි. මොවුන් අතර වවුලන්, මීයන්, ලෙන් පළඟැටියන්, සැලමැන්දරාවන් සහ ගැඩවිලුන් වර්ග ප්‍රධාන වේ. Trogloxene යනු ගුහා දොරකඩ වාසස්ථාන කරගත්, වළසුන්, හිවළුන්, උරුලෑවන්, සර්පයන් සහ නරියන් වැනි සතුන්ටයි.


ගුහා සිතියම
Source: http://caveofthewinds.com/wp-content/uploads/2011/03/cave-map.jpg
85.2 ගුහා පද්ධතියේ මුළු දුර හැතැප්ම දෙකකි
ගුහාව නිර්මාණය වූ අයුරු
මීට වසර මිලියන 500කට පෙර "ඔඩෝවීසියන්"- "පේලියොසොවික්" යුගයෙහි, කේව් ඔෆ් ද වින්ඩ්ස් ගුහා පද්ධතිය නිර්මාණය වීම ආරම්භ වූවා යැයි සැලකේ. එකල කොළරඩෝ ප්‍රාන්තය උණුසුම් සහ නොගැඹුරු මුහුදකින් වැසී පැවතින. එහි සිටි බෙල්ලන් මිය ගිය පසු උන්ගේ කටු මුහුදු පත්ලට කිඳා බැස ඇත. මෙලෙස වසර මිලියන ගණනක් පුරා මිය ගිය බෙල්ලන්ගේ කටු, තට්ටු වශයෙන් තැන්පත්ව සංක්‍ෂිප්ත වී තදැති හුණුගල් පාෂාණ බවට පරිවර්තනය විය.  මෙම ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් වන්නේ හිම තට්ටු එක මත එක තැන්පත්ව එකට තදවී අයිස් නිර්මාණය වීමයි. මීට වසර මිලියන 70කට පෙර එකී මුහුද සිඳී ගොස් මුහුදු පත්ලෙහි වූ මෙම හුණුගල් පද්ධතිය පිටතට නිරාවරණය වූ අතර පසුව ඒවා වර්ෂා ජලයෙන් යට වූ බව සැලකේ. මෙකී හුණුගල්, ගුහා ලෙසට පරිවර්තනය වූයේ වසර මිලියන 4-7කට පෙර වර්ෂා ජලයෙන් යටව තිබූ කාලයෙහිය. ගුහාවක් නිර්මාණය වීමට නම් මෙම පාෂාණ පද්ධතියෙහි විශාල කුහර නිර්මාණය විය යුතු වේ. වර්ෂා ජලය සමඟ කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර වී දුර්වල කාබනික අම්ලයන් සෑදිනි, මේවා හුණුගල් (කැල්සියම් කාබනේට්) සමඟ ප්‍රතික්‍රියා කර එනම් හුණුගල් දියවී වසර මිලියන ගණනක ඇවෑමෙන් හුණුගල් පද්ධතිය තුල විශාල කුහර සහ පටු මාර්ග නිර්මාණය වී කේව් ඔෆ් ද වින්ඩ්ස් නම් හුණු ගල් ගුහා පද්ධතිය නිර්මාණය විය. කාලයක් ගතවූ පසු වර්ෂා ජලයද සිඳී ගිය අතර ගුහා පද්ධතිය වර්තමානයේ දිස්වන පරිදි පිටතට නිරාවරණය විය.

 Cave of the wind
UNESCO NATURAL WONDERS

Thursday, February 16, 2012

84. ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුව


84. ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුව/ Florissant Fossil Beds (කොළරාඩෝ ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
Sourcehttp://www.ucmp.berkeley.edu/science/parks/florissant.php
කොළරාඩෝ හි උස් කඳු මිටියාවතක පිහිටා ඇති ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුව වසර මිලියන 34කට එපිට ඈත අතීතයේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව විසූ විවිධ ශාක සහ කෘමි සත්වාදීන්ගේ සංරක්‍ෂණය වූ මෘත දේහවලින් සමන්විත වූවකි. මෙහි ශාක සහ සත්ත්වන්පොසිලවල ජෛව විවිධත්වය නිසාත් ඒවායෙහි සියුම් හැඩරුව කදිමට සංරක්‍ෂණය වී ඇති බැවිනුත් ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුව ලෝකයේ ඇති සුවිශේෂී පොසිල තැන්පතු කිහිපයෙන් එකක් ලෙස පිළිගැනේ. 

වසර මිලියන 34කට පෙර යුගය වූ කලි  පෘතුවිය ඉයෝසීන යුගයෙන් ඔලොගොසීන යුගයට සංක්‍රමණය වන සංක්‍රාන්ති සමයයි. එනම් උණුසුම් උප නිවර්තන උෂ්ණත්වයේ සිට මද ශීතල යුගයකට පරිවර්තනය වූ කාලය වන අතර මෙම පොසිල තැන්පතුව මඟින් එකල පෘතුවියේ ස්වාභාවය සම්බන්ධ තොරතුරු රැසක් හෙලි කර ගැන්මට හැකිව ඇත. ෆ්ලොරිසන්ට්හි පාෂාණීභූත වූ සුවිසල් රෙඩ් වුඩ් වෘක්‍ෂයන්ගේ සිට පොසිල බවට පත්වී කදිමට සංරක්‍ෂණය වූ සමනල් ඇතුළු කෘමි විශේෂ ගණනාවක් දක්නට ලැබේ. යෝධ රෙඩ්වුඩ් ශාක පාෂාණීභූත වී ඇත්තේ එවකට එනම් වසර මිලියන 34කට පෙර ඇති වූ සුවිසල් ලාවා ගැල්මකට හසුවීමෙන් වන අතර එම වෘක්‍ෂ, ලාවා ඝණීභවනයත් සමඟ ලාවා මධ්‍යයේම පාෂාණීභූත විය. මෙසේ පාෂාණීභූත වූ එක් රෙඩ් වුඩ් කඳක වටප්‍රමාණය හෙවත් පරිධිය මීටර 23ක් (අඩි 74ක්) වන අතර එය "Rex arborae" (වනයේ රජු) නම් අනවර්ථ නාමයෙන් හඳුවන්යි.


පසු කලෙක මිටියාවත් ආශ්‍රිත ප්‍රදේශයේ (වර්තමාන පොසිල තැපතුව සහිත) විලක් නිර්මාණය විය. විල මධ්‍යයෙහි වූ අනේක පැහැ සුවඳවත් ජලාශ්‍රිත වන මලින් රොන් බීමට පැමිණ අකරතැබ්බයන්ට පත්වූ දහස් සංඛ්‍යාත කෘමි සතුන් විල් පතුලෙහි සුසිනිඳු රොන්මඩ තුල සැඟව ගියහ. පසු කලෙක ඉහත සඳහන් විල් තලය වියලී රොන් මඩ සහිත පතුල ඝණ වී "ශල්ක" නම් අවසාදිත පාෂාණ බවට පරිවර්තනය විය (ශල්ක නම් අවසාදිත පාෂාණ වර්ගය  පිළිබඳව මෙම ලිපි මාලාව ආරම්භයේදී පටන් නිතර සඳහන් වන බැවින් එය ඔබට ආගන්තුක වචනයක් නොවේ යැයි සලකමි. ඔබට එය ආගන්තුක නම් "ඩයිනසෝර් ස්මාරක උද්‍යානය" නම් ලිපිය කියවන්න). ඉන් ඔබට සත්ත්ව හෝ ශාක ශරීරයක් පොසිල බවට පත්වන්නේ කෙසේදැයි මනා අවබෝධයක් ලබා ගත හැක. පොළව මතුපිට පොසිල නිර්මාණය වීමේදී සත්ත්ව ශරීරයේ ස්වාභාවය සංරක්‍ෂණය වනවාටත් වඩා හොඳින් ජල පතුලෙහි ඇති රොන්මඩ තුල සත්ත්ව ශරීර සංරක්‍ෂණය වේ. ඉතින් ඉතා සියුම් කැඩෙන බිඳෙන සුළු ශරීර ඇති කෘමි සතුන්ගේ පවා මෘදු සැකිල්ල ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුවේ මනාවට සංරක්‍ෂණය වී ඇති අයුරු ඔබට ඉහත ඡායාරූපයෙන් දැක ගත හැක. 


පාෂාණීය ධාතු විද්‍යාඥයින් විසින් මේ වන විට ශාක විශේෂ සිය ගණනක්ද කෘමි විශේෂ එක්දහස් එකසියයකට ආසන්න ප්‍රමාණයක්ද ඇතුළුව මුළු ගණන හැට දහසකට ආසන්න පොසිල සංඛ්‍යාවක් ෆ්ලොරිසන්ට් පොසිල තැන්පතුවෙන් සොයාගෙන ඇති අතර සමහර කෘමි සතුන්ගේ පාද, ස්පර්ෂක (antenna), සමනලයින්ගේ තටු වැනි අංගයන්ගේ ඉතාමත් සූක්‍ෂම ලක්‍ෂණ පවා පැහැදිව සංරක්‍ෂණය වී ඇත. ශාක සහ කෘමි සතුන් හැරුනු කොට මෙහි පොසිල බවට පත් වූ පක්‍ෂීන් සහ ක්‍ෂීරපායීන් විශේෂ ගණනාවක්ද සොයාගෙන ඇත.

    
  Wikipedia
UNESCO NATURAL WONDERS

Friday, January 20, 2012

83. මහා වාලුකා වැටි ජාතික උද්‍යානය


83. මහා වාලුකා වැටි ජාතික උද්‍යානය/ Great Sand Dunes National Park (කොළරාඩෝ ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)

"සන්ග්‍රේ ද ක්‍රිස්ටෝ" කඳු වැටියෙහි බටහිර පාමුලින් පිහිටා ඇති ශාන්ත ලුයිස් නිම්න භූමියෙහි අඩි 750ක් වූ, උතුරු ඇමෙරිකාවේ උසම වාලුකා වැටිය (වැලි පරය) දැක ගත හැකි අතර වර්ග කිලෝමීටර 90ක ප්‍රදේශයක් පුරා විසිර පවතී. වාලුකා වැටි නැරඹීම සඳහා දිනයෙහි උචිතම කාල පරාසය වන්නේ ඉර නැඟ එන සහ ඉර බැස යන විනාඩි කිහිපයයි, ස්වාභාවිකවම රන්වන් පැහයට හුරු වාලුකා වැටි, ඉහත සඳහන් වේලාවන්හීදී වඩාත් රන්වන් පැහැයෙන් බබළන අතර ඒ ඒ වැටිවල මායිම් ඉතා අලංකාර අයුරින් දිස්වේ. මෙම වැලි කඳු තරණය කිරීම ආශ්වාදජනක කටයුත්තක් වන අතර තරණය කිරීම සඳහා විශේෂ මාවතක් නැත. ඕනෑම ස්ථානයකින් තමන් කැමති දිශාවකින් වැලි කඳු මුදුනට ලඟා විය හැක. උසම වැලි පරය තරණය කිරීමට එහි පාමුල සිට ඔබ නැඟිය යුත්තේ හැතැප්ම භාගයක දුරක් පමණි. එහෙත් වැලි කඳු නැගීම සඳහා උචිත අළුයම සහ සන්ධ්‍යා භාගයයි, මන්ද ගිනි ගහන දහවලෙහි වැලි මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහල යන බැවිනි (විශේෂයෙන් ගිම්හාන කාලයේදී). මෙහි ඇති තවත් ආකර්ෂණීය නිර්මාණයක් නම් "මෙඩානෝ" නම් කුඩා ගංගාවයි. වසන්ත සෘතුවේදී සක්‍රීය වී, වැලි පරවල නැගෙනහිර මායිමෙන් ගලා යන මෙඩානෝ ගංගාව පෝෂණය වන්නේ හිම පතනයෙන් වන අතර එය සන්ග්‍රේ ද ක්‍රිස්ටෝ කඳු මුදුනින් තම ගමන ආරම්භ කරයි. අඩි දෙක තුනක් ගැඹුරු මෙම කුඩා ගංගාවේ විශේෂත්වය වන්නේ ව්ටෙක ඉතා හොඳින් ගලා යන ජල පහර සමහර තැන්හි දී සැණෙකින් වැලි තුල නොපෙනී ගොස් අඩි කිහිපයක් දුරින් නැවතත් හොඳින් ගලා යන ජල පහර දිස් වීමයි.


භූ විද්‍යාඥයින්ගේ මතයට අනුව මෙම වාලුකා වැටි වසර 440,000කට පෙර නිර්මාණය වීම ආරම්භ වී ඇත. එකල අවට කඳු මුදුන් මත ග්ලැසියර නිර්මාණය වී වසර දහස් ගණනක් පුරා ඒවා වත්මන් ශාන්ත ලූයිස් නිම්නයට ගල් කැබලිත් සමඟ ගලා විත් ඇත. වසර 12,000 කට පෙර පෘතුවියේ ඇති වූ උණුසුම් දේශගුණයත් සමඟ කඳු මුදුන්හි තිබූ ග්ලැසියර දිය වී ගංගා සහ ඇල මාර්ග බවට පරිවර්තනය වී තිබේ. එමඟින් පෙරටත් වඩා වැඩි ප්‍රමාණයකින් රොන් මඩ, බොරළු සහ වැලි, කඳු මුදුන්හි සිට ශාන්ත ලූයිස් නිම්නයට ගසා විත් තිබේ. තවද නිරිත දිගින් වැලි සමඟ හමා එන සුළං ශාන්ත ලුයිස් නිම්නයේ නැගෙනහිර අන්තයෙහි වැලි තැන්පත් කරන්නේ ස්න්ග්‍රේ ද ක්‍රිස්ටෝ කඳු වැටිය එම වැලි රැගත් සුළඟට තවත් දුර යාමට ඉඩ නොදී බාධකයක් ලෙස ක්‍රියා කරන බැවිනි. සුළං මඟින් වැලි තැන්පත් කිරීමේ ක්‍රියාවලිය නොකඩවා සිදුවන අතර වාලුකා වැටිවල ප්‍රමාණය කෙමෙන් කෙමෙන් විශාල වෙමින් පවතී.


කොළරාඩෝ හි වාලුකා වැටිවල විශේෂත්වය වන්නේ ඒවා ලොව අනෙකුත් වාලුකා වැටි මෙන් නිතර තම හැඩය වෙනස් නොකිරීමයි. එයට හේතුව නම් මෙම වාලුකා වැටි තුල ඇති තෙතමනය නිසා වැලි අංශු ඉතා තදින් එකිනෙක බැඳී පැවතීමයි. මෙම වාලුකා වැටිවල තෙතමනයට හේතු වී ඇත්තේ ඒවා අවට ගලා යන ජල පහරවලින් ජලය අවශෝෂණය කර ගන්නා ස්පොන්ජ් එකක් ලෙස ක්‍රියා කරන බැවිනි.

      Wikipedia
UNESCO NATURAL WONDERS

Wednesday, November 16, 2011

82. ගනිසන් නදියෙහි කාලවර්ණ කැණියම

82. ගනිසන් නදියෙහි කාලවර්ණ කැණියම/ Black Canyon of the Gunnison (යූටා/ කොළරාඩෝ,  ඇමරිකා එක්සත් ජනපදය)
Source- http://www.flickr.com/photos/jmwnaturesimages/6347398509/sizes/o/in/photostream/

අඩි දෙදහස් හාරසියයක් ගැඹුරු ලම්භාකාර ප්‍රපාත දෙකකට මැදිව ගනිසන් නදිය ගලා බස්නා අඳුරු කැණියම පතුලේ දසුන බියකරුය. ගැඹුරු ප්‍රපාතයන්ගේ ලම්භාකාර බව නිසාම අඳුරු සෙවණැලිවලින් වැසී ගිය කැණියම පතුල හිරු එළිය දකින්නේ මද වශයෙනි. එනිසාම කාලවර්ණයෙන් දිස්වන මෙම බියකරු කැණියම බ්ලැක් කැණියන් හෙවත් කාලවර්ණ කැණීයම ලෙස හඳුන්වයි. 


දකුණු අන්තයෙන් කැණියම ගැටිය ඔස්සේ දිවෙන මාර්ගයේ ගමන් කරන්නන්ට පහසුවෙන් දර්ශනීය මෙන්ම ලොමු දැහැ ගන්වන කැණියම පතුල නැරඹීමට හැකි සේම ඉතා කටුක දුර්ග මාර්ගයක් ඔස්සේ පැය දෙකක ගමනකින් කැණියම පතුලෙහි ඇති ගනිසන් ගංගාවට ලඟා විය හැක. එහෙත් ආපසු කැණියම ගැට්ටට ලඟා වීමට පැය හතරක් ගතවේ. ඒ හැර අදාල මෙවලම් සහිතව ලම්භාකාර ප්‍රපාත බැසීම සහ නැඟීම කල හැකි අතර පලපුරුදු ගිරිදුර්ග තරණය කරන්නන් විසින් පමණක් එම ක්‍රියාවලීන්හි යෙදේ. හිරු එළීය මඳ අඳුරු කැණියම පතුලේ බිහිසුණු ලෙස ගලා යන ගනිසන් නදියෙහි ඔරු පැදීමක නිරත වීමට අවස්ථාව හිමි වන්නේ අවදානම් සහගත ඔරු පැදීමෙහි සමත් ප්‍රවීණයන්ට පමණි.


කොළරාඩෝ ගංගාවේ අතු ගංගාවක් වන ගනිසන් නදිය ගලා යන කාලවර්ණ කැණියමේ දිග කිලෝමීටර 77ක් වන අතර කැණියම ඔස්සේ ගංගාව සාමාන්‍යයෙන් කිලෝමීටරයට මීටර 5ක් වූ බැස්මකින් ගලා යයි. එය උතුරු ඇමෙරිකා මහද්වීපයෙහි ගංගාවක පස්වන ශීඝ්‍රතම බැස්ම වේ. කැණීයමේ පටුම ස්ථානය අඩි 40කි. කැණියමේ ගැඹුර සහ දළ බෑවුම නිර්මාණය සඳහා කෙලින්ම ගනිසන් නදියෙන් සිදු වූ ඛාදනය වගකිව යුතු අතරම ඒ හැර විවිධ භූ ගෝලීය ක්‍රියාවලි කිහිපයක්ද බලපා ඇත. මීට වසර බිලියන 1.7 කට පෙර විපරීත (Metamorphic) යුගයේ නිර්මාණය වී ඇතැයි සැලකෙන කැණියමෙහි බිත්ති ප්‍රාග් කේම්බ්‍රීය නයිස් (කළු ගල් විශේෂයක්) සහ ශිස්ට් (පතුරු ගල්) පාෂාණයෙන් නිර්මාණය වී ඇති අතර අතරින් පතර  විශාල වයිරම් ආකාරයෙන් පැතිර ගිය ලා කහ පැහැ පෙග්මටයිට් (ස්ඵටික ආග්නේය පාෂාණ විශේෂයක්) නම් පාෂාණ විශේෂය දැකිය හැක. මීට වසර මිලියන 15කට පෙර තම ගමන ආරම්භ කල ගනිසන් නදිය විසින් වසර සියයකට අඟල බැගින් සිදු කල ඛාදනයෙන් කැණියමේ වත්මන් ප්‍රපාතාකාර බෑවුම් නිර්මාණය වී ඇතැයි සැලකේ.

    
  Wikipedia
UNESCO NATURAL WONDERS

Tuesday, November 15, 2011

81. ඩයිනසෝ(ර්) ස්මාරක ජාතික උද්‍යානය

81. ඩයිනසෝ(ර්) ස්මාරක ජාතික උද්‍යානය/ Dinosaur Monument National Park (යූටා/ කොළරාඩෝ,  ඇමරිකා එක්සත් ජනපදය)

ඔබ දන්නවාද, ඇතැම් පාෂාණ තුල වර්ෂ මිලියන ගණනක් ඈත ඉතිහාසය සටහන් වී ඇති බව? ලෝකයේ බොහෝ ස්ථානවලින්  වසර මිලියන ගණනාවකට පෙර මිය ගිය ශාක සහ සතුන්ගේ කොටස් පාෂාණ තුල සුරැකිව තිබී සොයාගෙන ඇති අතර මේවා පොසිල යනුවෙන් හඳුන්වයි. මේවායෙහි ඇති වැදගත්කම නම් පොසිල අධ්‍යයනය මඟින්, කලින් කලට පෘතූවිය මත ජීවය වෙනස් වූ ආකාරය සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් ලබා ගත හැකිවීමයි. තවද පොසිල අධ්‍යයනය මඟින් පුරාතන යුගවල පෘතුවියේ පැවති පාරිසරික තත්ත්වයන් හා කාලගුණ විපර්යාස ගැන අවබෝධයක් ලබා ගත හැකි වේ. ප්‍රධාන වශයෙන්ම පොසිල, ශාක සහ සත්ත්ව යනුවෙන් කොටස් දෙකකට බෙදේ. ඒ අතර ඩයිනසෝර් වැනි සුවිසල් සත්ත්ව පොසිලද අන්වීක්‍ෂයක් මඟින් නැරඹිය යුතු ඉතා කුඩා පොසිලද වේ.


මියගිය සත්වයෙක් හෝ ශාකයක් පොසිලයක් බවට පත් වීමට වසර මිලියන ගණනක් ගතවේ. සාමාන්‍යයෙන් සත්වයෙක් හෝ ශාකයක් මිය ගිය වහා ඒවා කුණු වීමට පටන් ගනී, එහෙත් ඒවා පොසිලයක් බවට පත්වීමට නම් සම්පූර්ණයෙන්ම කුණු වීමට පෙර   පෙර ඒවා ස්වාභාවික ක්‍රමයකට මිහිදන් විය යුතුය. උදාහරණයක් ලෙස අවසාදිත පාෂාණ තුල ඇති පොසිල දැක්විය හැක. අවසාදිත පාෂාණ නිර්මාණය වන්නේ රොන්මඩ වන් අවසාදිත ද්‍රව්‍ය කාලයක් පුරා තට්ටු ලෙස තැන්පත් වීම මඟින් පසු කලෙක එම මඩ තට්ටු ඝනැති පාෂාණයක් බවට පරිවර්තනය වීම මඟිනි. සමහර සත්ත්ව සහ ශාක කොටස් මිය ගිය වහා මෙම අවසාදිත රොන් මඩ සමඟ ගසා ගෙන විත් රොන් මඩ තට්ටු අතර තැන්පත් වේ. කාලයත් සමඟ සතුන්ගේ මෘදු සැකිල්ල දිරා පත්ව යන අතර ඝණ සැකිල්ල පමණක් මඩ තට්ටු අතර තැන්පත් වේ. එහෙත් ගොඩබිම මෙන් නොව සාගර පත්ලෙහි මඩ තට්ටු අතර පොසිලව ගිය ඇතැම් ජීවීන්ගේ මෘදු සැකිල්ල පවා සංරක්‍ෂිතව තිබූ ලොව ස්ථාන කිහිපයක් වාර්තා වී ඇත.  ඔබට මතක ඇති කැනඩාවේ බර්ජිස්හි අවසාදිත පාෂාණ තුලින් හමු වූ පොසිල. මෙසේ මඩ තට්ටු අතර තැන්පත් වන සත්ත්ව ශරීර තුලට අවසාදිත පාෂාණවල අඩංගු ඛණිජ ද්‍රව්‍ය අවසෝෂණය වී කාලයත් සමඟ ඒවාද පෙනුමෙහි වෙනසක් නොවී පාෂාණ බවට පත්වෙයි.


ලෝකයේ ප්‍රධාන පොසිල තැන්පතු අතර උතුරු ඇමෙරිකාවේ පොසිල නිධි වලට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. උතුරු ඇමෙරිකාවේ වාර්තාවන ප්‍රධාන පොසිල නිධි කිහිපයක් පහත දැක්වේ.
1. කොල්විල් ගංගාව, අලැස්කාව
2. ඩ්‍රම් හෙලර්හි නිසරු බිම්, කැනඩාව (10 වෙනි ලිපිය)
3. බර්ජීස්හි ශල්ක, කැනඩාව (7 වෙනි ලිපිය)
4. හේගර්මන් පොසිල තැන්පතුව, ඇමරිකා එක්සත් ජනපදය/ අයිඩහෝ ප්‍රාන්තය
5. ඩයිනසෝ(ර්) ස්මාරක ජාතික පොසිල තැන්පතුවඇමරිකා එක්සත් ජනපදය/ යූටා, කොළරාඩෝ ප්‍රාන්ත
6. කෝ(ර්)නෝ ගං දඹය, ඇමරිකා එක්සත් ජනපදය/ වයෝමිං ප්‍රාන්තය
7. කැන්සස්හි අභ්‍යන්තර මුහුදු, ඇමරිකා එක්සත් ජනපදය
8. ජොගින්ස් නෝවා ස්කෝෂා, කැනඩාව
9. රැන්චෝ ලා බ්‍රියා තාර ගොහොරුව (55 ලිපිය),  ඇමරිකා එක්සත් ජනපදය/ කැලොෆෝනියා ප්‍රාන්තය
10. ටෙක්සාස්හි රක්ත තැන්පතුව,  ඇමරිකා එක්සත් ජනපදය


මෙම ලිපියට පාදක වන ඩයිනසෝර් ස්මාරක ජාතික පොසිල තැන්පතුව ඇත්තේ යූටා සහ කොළරාඩෝ ප්‍රාන්ත වෙන් කරමින් දිවෙනා  "යුනිටා" කඳු පංතියෙහි ගිණිකොණ දිග බෑවුමෙහි ග්‍රීන් ගංගාවෙන් යැම්පු නම් අතු ගංගාව හට ගන්නා ස්ථානයේදීය. මෙම පොසිල, වැලි ගල් සහ *සම්පිණ්ඩිත අවසාදිත පාෂාණ තුල තිබී සොයාගෙන ඇති අතර මේවා වසර මිලියන 150කට පෙර වූ ජුරාසික් යුගයට අයත් බව පැවසේ. පොසිල විද්‍යාඥයින්ගේ අනුමානවලට අනුව එකල මෙහි ගංගාශ්‍රිතව ජීවත්වූ ඩයිනසෝරයන් මිය ගිය පසු මෙම ස්ථානයට ගසාගෙන විත් මඩ වැනි අවසාදිත ද්‍රව්‍ය අතර වැලලී ගොස් ඇත. පසු කලෙක කඳු නිර්මාණය වන ක්‍රියා වලියෙන් මෙම ප්‍රදේශය ඉහලට එසැවී සහ අවසාදිත පාෂාණ ඛාදනය වී වැලලී ගොස් පොසිල බවට පත් වූ ඩයිනසෝරයන් මතු වීමට පටන් ගැනුනි. 1909 දී පාෂාණීය ධාතු පිළිබඳ විද්‍යාඥ අර්ල් ඩග්ලස් විසින් මුල් වරට මෙහි කැණීම් කල අතර ඔහු සිදු කල කැණීම් මඟින් ඩයිනසෝර් පොසිල දහස් ගණනක් සොයා ගැනිණ. මෙම පොසිල තැන්පතුවේ විශේෂත්වය වන්නේ උතුරු ඇමෙරිකා මහද්වීපයෙහි වාර්තා වූ ඩයිනසෝර් විශේෂ වලින්, භාගයකටත් වඩා ඩයිනසෝර් විශේෂ මින් වාර්තා වීමයි. 
Source=http://en.wikipedia.org/wiki/Dinosaur
මිනිසෙකුගේ ප්‍රමාණය විවිධ ඩයිනසෝර් කාණ්ඩ හා සංසන්දනය.


පොසිල වර්ගීකරණය කිරීමේදී ප්‍රධාන කාණ්ඩ තුනකි: පෘෂ්ඨවංශීන්, අපෘෂ්ඨවංශීන් සහ ශාක. පෘෂ්ඨවංශීන්: ක්‍ෂීරපායින්, උරග, පක්‍ෂීන්, ටෙට්‍රාපොඩ්ස් සහ මත්ස්‍ය යන කාණ්ඩ වලට බෙදෙන අතර ඩයිනසෝරයන් අයත් වන්නේ උරග කාණ්ඩයටයි. ප්‍රධාන ඩයිනසෝර් වර්ග කිහිපයක් දැකිය හැකි අතර ඒ ඒ ඩයිනසෝර කාණ්ඩ අතරින් ඩයිනසෝර් ස්මාරක උද්‍යානයෙන් හමු වූ ඩයිනසෝර විශේෂ පමණක් මෙහි දක්වා ඇත.
Source=http://en.wikipedia.org/wiki/Theropod
මිනිසෙකුගේ ප්‍රමාණය තෙරපොඩ් ඩයින්සෝර් විශේෂ සමඟ සංසන්දනය

1. සොරිස්කීයන් (උකුල ප්‍රදේශය වර්තමාන කටුස්සෙකුට සමාන ඩයින්සෝරයන්)
    1.1. තෙරපොඩ් (සොරිස්කීයන් කාණ්ඩයට අයත් සුවිසල් මාංශ භක්‍ෂක ඩයිනසෝරයන්)
          - සෙරටසෝරස්
          - ටර්වොසෝරස්
          - ඇලොසෝරස්
      1.2. පොසොරොපොඩ්ස්(සුවිසල් ශාක භක්‍ෂක ඩයිනසෝරයන්)
          * මෙම කාණ්ඩය ඩයිනසෝර් ස්මාරක උද්‍යානයෙන් හමු වී නැත.
    1.3. සෝරපොඩ් (පෘතුවිය මත එතෙක් මෙතෙක් විසූ සුවිසල්ම සත්ත්ව කාණ්ඩය වේ. උස මීටර 30කි, බර ටොන් 50කි, ශාක භක්‍ෂකය)
            - අපැටොසෝරස්
            - බැරොසෝරස්
            - කැමරසෝරස්
            - ඩයිප්ලොඩකස්
            - හැප්ලොකන්තොසෝරස්
2. ඔනීතිස්කියන් (උකුල ප්‍රදේශය පක්‍ෂියෙකුට සමාන ශාක භක්‍ෂක ඩයිනසෝරයන්)
    2.1. ස්ටෙගසෝර්
           - ස්ටෙගසෝරස්
    2.2 ඕර්නිතොපොඩ්
          - ඉග්වානාඩොන්ට්
          - යූටියොඩොන්
          - ඩ්‍රයෝසෝරස්
   * පහත ඔනීතිස්කියන්  කාණ්ඩ ඩයිනසෝර් ස්මාරක උද්‍යානයෙන් හමු වී නැත.
    2.3 ඇංකිලෝසෝරස්
    2.4 පැකිසෙෆ්ල්සෝරස්
    2.5 සෙරටොප්සියන්ස්
ඉහත සඳහන් කල ඩයිනසෝර් විශේෂවලට අමතරව ආදී කාලීන කැස්බෑ, කටුසු සහ කිඹුලන් විශේෂවල පොසිලද හමුවී ඇත.
    
  Wikipedia
UNESCO NATURAL WONDERS

Thursday, November 3, 2011

80. අත් වැසුම්

80. අත් වැසුම්/ The Mittens (යූටා/ ඇරිසෝනා,  ඇමරිකා එක්සත් ජනපදය)


කොළරාඩෝ සානුවට අයත් ස්මාරක නිම්නය නැතහොත් පර්වත නිමනය අවසාදිත පාෂාණ විශේෂයක් වන වැලි ගල්වලින් සැදුම් ලත් බියුට සහ සානු රාශියක එකතුවකි. බියුට යනු අංශක 90ක් පමණ බෑවුමැති, මූදුනත චතුරශ්‍රාකාර හුදකලා පර්වත පිහිටීමකි. උතුරු ඇරිසෝනා ප්‍රාන්තයටත්, දකුණු යූටා ප්‍රාන්තයටත් අයත් මෙම නිම්න භූමියෙහි සමහර බියුට අඩි දහස ඉක්මවා අහස උසට නැඟී සිටියි. නිම්නය සහිත භූමිය "Navajo" ගෝත්‍රික වනෝද්‍යානය යටතේ පාලනය වෙයි.

මීට වසර මිලියන 50කට පමණ පෙර මෙම භූමිය මුළුමනින්ම සානුවක් ලෙස පැවති බව සැලකෙන අතර එය තදැති වැලිගල්වලින් සමන්විතව තිබිණි. සානුවේ තැනින් තැන කුඩා යමහල් විසිර පැවති අතර කාලායගේ ඇවෑමෙන් සුළඟ සහ ජලයෙන් සිදුවූ ඛාදනය හේතුකොටගෙන සානුවේ මතු පිට ඛාදනය වී ඇත. මෙහිදී සානුවේ මෘදු  මතුපිට ඛාදනය වී, තදැති අවසාදිත පාෂාණයෙන් ආවරණය වූ යමහල්හි ආග්නේය පාෂාණ මධ්‍යය නිරාවරණය වී ඇති අතර ඒවා වර්තමානයේ චතුරශ්‍රාකාර ගල් ටැඹ රාශියක් ලෙස දිස් වේ.

 නීම්න භූමියට පිවිසෙන ප්‍රධානම මාර්ගය උතුරු දෙසින් වැටී ඇත. එම සෘජු හුදකලා මාවත ඔස්සේ ගමන් කරන ඔබට ඈත ක්‍ෂිතිජයෙන් අහසට පැන නඟිනා රත් පැහැති ශෛලමය ටැඹ රාශියක් දැක ගත හැක. එසේ දිස්වන ගල් ටැඹ අතරින් වඩාත් කැපී පෙනෙන ගල් ටැඹ ද්විත්වයක් වේද ඒවා "අත් වැසුම්"යන අනවර්ථ නාමයෙන් හැඳින්වේ. එසේ විශේෂ නමක් ලැබීමට හේතු වී ඇත්තේ බැලූ බැල්මට ඒවා යෝධ අත් වැසුම් දෙකක් ලෙස දිස්වන බැවින් හා ඒ ගල් ටැඹ ද්විත්වයේම මහපට ඇඟිල්ලක ආකාරයෙන් ප්‍රධාන ටැඹෙන් වෙන්වූ ඊට යාබදව පිහිටා ඇති උසැති සිහින් ගල් ටැඹයි. උසින් අඩි දහසද ඉක්මවන මෙම යෝධ කුළුණු දෙකින් එකක් නැගෙනහිරින්ද අනෙක ඊට ප්‍රතිවිරුද්ධ බටහිර දෙසින්ද පිහිටා ඇත.  


මෙම චතුරශ්‍රාකාර ගල් ටැඹ හෙවත් බියුටවල මධ්‍යය ඉහත සඳහන් කල පරිදි ආග්නේය පාෂාණයක් වන අතර අවසාදිත පාෂාණ වර්ග ස්ථර 3කින් එය ආවරණව පවතී. පහලම ස්ථරය හෙවත් පාදම සමන්විත වන්නේ ඓන්ද්‍රීය ශල්ක නම් අවසාදිත පාෂාණ විශේෂයකිනි. ශල්ක යනු කාලය තිස්සේ රොන් මඩ තැන්පත් වී නිර්මාණය වූ අවසාදිත පාෂාණ විශේෂයක් වන අතර ඓන්ද්‍රීය පෂාණ යනු කාලයක් තිස්සේ ශාක හා සත්ත්ව කොටස් තැන්පත් වී නිර්මාණය වූ අවසාදිත පාෂාණ විශේෂයකි. ඓන්ද්‍රීය ශල්ක යනු එම පාෂාණ වර්ග දෙකේම සංයුතියෙන් සැදුම් ලද්දකි. මධ්‍ය ස්ථරය හෙවත් පාදමට ඉහලිනුත් මුදුන් ස්ථරයට පහල ස්ථරය සමන්විත් වන්නේ "de Chelly" වැලි ගල් නම් මෘදු අවසාදිත පාෂාණ විශේෂයකිනි. මෙම පාෂාණ නිර්මාණය වන්නේ අවසාදිත ද්‍රව්‍යය( රොන් මඩ/ වැලි) පොළවට ආනතව තැන්පත් වීමෙනි. මුදුන් ස්ථරය "Shinarump" (වැලි තට්ටුවක් මත මඩ තට්ටුවක් ඒ මත නැවතත් වැලි තට්ටුවක් වශයෙන් කාලයක් තිස්සේ තැන්පත් වී නිර්මාණය වන අවසාදිත පාෂාණ විශේෂයක්)  නම් ශක්තිමත් අවසාදිත පාෂාණයෙන් නිර්මිත අතර පහල ස්ථර ඛාදනයෙන් ආරක්‍ෂා කරයි. 


 නිම්න භූමියේ වඩාත් කැපී පෙනෙන රත් පැහැයට හේතු වී ඇත්තේ "siltstone" නම් අවසාදිත පාෂාණයේ ඇති අයන් ඔක්සයිඩ් කාලයක් තිස්සේ කාලගුණ විපර්යාසයන්ට නිරාවරණය වූ බැවින් යැයි සැලකේ. සමහර පාෂාණ නිල් මිශ්‍රිත අළු පැහැයට හේතු වී ඇත්තේ මැංගනීස් ඔක්සයිඩ් මඟින් බව සොයාගෙන ඇත. මෙම ගල් ටැඹ නැරඹීමට හොඳම වේලාව වන්නේ හිරු නැඟ එන සහ බැස යන විනාඩි කිහිපයයි. එවිට හිරු කිරණවල රත් පැහැය, ගල් ටැඹ මතට වැටී ස්වාභාවයෙන්ම රත් පැහැ පාෂාණයන්ගේ ලෝහිත පැහැය තවත් තීව්‍ර වේ. "අත් වැසුම්" බියුට ද්විත්වයට යාබදව ඇති තෙවන බියුටය "Merrick" නම් බියුටයයි. එය නම් කර ඇත්තේ රිදී සොයමින් එහි ඇවිද ආ "Merrick" නම් ඉංග්‍රීසි ජාතිකයා සිහි වීම පිණිසයි. ජන වහරට අනුව ඔහු රිදී ඉල්ලමක් සොයා ගත් අතර විදේශික ආක්‍රමණවලින් කුපිත වූ ඇමෙරිකානු ස්වදේශික ගෝත්‍රයක් වූ "Navajo" ගෝත්‍රිකයන් අතින් මැරුම් කෑ බව පැවසේ.


 Wikipedia
UNESCO NATURAL WONDERS

Profile