ලිපි එකතුව


Saturday, April 30, 2011

60. ටාහෝ විල

60. ටාහෝ විල/ Lake Tahoe   (කැලිෆෝනියාව/ නෙවාඩා, ඇමරිකා එක්සත් ජනපදය)
    සුදෝ සුදු හිමෙන් වැසී ගිය කඳු ශිඛරයෙන් වටවූ, නොඉඳුල් සහ නීල වර්ණයෙන් බබළන ටාහෝ විල, ලොව විචිත්‍රවත් විල් අතරින් එකක් බව අවිවාදයෙන් පිළිගැනේ. ටාහෝ විල කැලිෆෝනියාවේ සියෙරා නෙවාඩා කඳු පංතියේ පිහිටි නැවුම් ජලයෙන් සුසැදි විශාලම විල වන අතර රොන් මඩින් තොර ජල තලය තුලින් අඩි 75ක් පමණ ගැඹුරට යන තෙක් නිරීක්‍ෂණය කල හැක. විලට ජලය සැපයෙන්නේ විල වටා ඇති කඳු මුදුන් වසාගත් හිම, දියවී ගලන ජලයෙන් සහ වර්ෂාව මඟින් පෝෂණයවන ඇල මාර්ග 63ක් මඟින් විල තුලට ගලන ජලයෙනි. මුහුදු මට්ටමේ සිට අඩි 6220ක උසින් පිහිටා ඇති විලේ, නොඉඳුල් ජල තලයට රොන් මඩ පිරුණු ගංගාවන්ගේ ජලය එක් නොවේ. විල වටා ඇති ගොහොරු බිම් සහ මිටියාවත් විලට ගලන ජලයෙහි ඇති අපවිත්‍ර දෑ අවශෝෂණය කර පිරිසිදු ජලය පමණක් විල තුලට ගැලීමට සලස්වන ස්වාභාවික ජල පෙරණ පද්ධතියක් ලෙස ක්‍රියා කරයි. 


අඩි 1640ක් ගැඹුරැති ටාහෝ විල, ඇමෙරිකා එක්සත් ජනපදයේගැඹුරුම විල් අතරින් දෙවෙනි වන්නේ ඔරිගොන් ජනපදයේ යමහල් විලට පමණි. උපකල්පනයක් ලෙස විලෙහි ජලය සිඳුනහොත් විල නැවතත් ස්වාභාවිකව පිරීම සඳහා වසර 700ක් ගතවන බව ගණන් බලා ඇත. "ටාහෝ" යනු ඇමෙරිකාවේ ස්වදේශික භාෂාවෙන් "සුවිසල් ජල තලය" ලෙස හැඳින්වේ. විල අදින් වසර මිලියන 5-10ත් අතර භූ චලන මඟින් ඇති වූ විපර්යාසයන් නිසා නිර්මාණය වී ඇත. එකල සිදුවූ භූ චලනයක් මඟින් විල සහිත භූමිය අඩි දහස් ගණනක් පහලට කිඳා බැස ඇත. එසේ කිඳා බැස ගිය භූමිය ඔස්සේ උතුරු දෙසට ගංගාවක් ගලා ගොස් ඇති අතර උතුරු අන්තයේ සිදුවූ ලාවා ගැලීමකින් ගංගාව ගලා ගිය අන්තය අවහිර වුණි. ගංගාවට පිටවීම සඳහා මාර්ගයක් නැති කල ඉහත සඳහන් කල අඩි දහස් ගණනක් යටට කිඳා බැසගිය භූමිය කෙමෙන් කෙමෙන් ජලයෙන් පිරුණි. විල වටා ඇති පර්වතයන්හි ඇති සළකුණු පෙන්නුම් කරන්නේ වර්තමානයේ විලෙහි ඇති ජල පරිමාවට වඩා අඩි 800ක්, විලෙහි ජලය උසින් පිහිටි බවයි. "Truckee" නම් කුඩා ගංගාව, විලෙහි ජලය පිටතට ගෙනයන එකම මාර්ගය වේ.


විල වටා ඇති කඳුවැටි වසාගත් කේතුධර සහ දැඩි දැවයෙන් යුතු වෘක්‍ෂ සහිත වනාන්තර විචිත්‍රවත් දසුනක් මවාපාන සේම දහස් ගණනක් වූ සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇත. ටාහෝ විලෙහි හරි මැදින් වෙන් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා සහ නෙවාඩා ප්‍රාන්ත යුගලයයි.

      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment