ලිපි එකතුව


Tuesday, May 3, 2011

68. ලසන් ගිනි කන්ද

68. ලසන් ගිනි කන්ද/ Mount Lassen (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය)
   ලසන් ගිනි කන්ද අදින් වසර 350,000කට පෙර විදාරණය වූ "Tehama" නම් සුවිසල් යමහලෙන් ඉතිරි වූවකි. ලසන් යමහල අවසන් වරට භූ ගර්භ පීඩනය මුදා හෑරියේ (විදාරණය වූයේ) 1915දීය. උතුරු කැලිෆෝනියාවේ සිට කැනඩාවේ නිරිතදිග බ්‍රිටිෂ් කොළොම්බියාව දක්වා දිවෙන ෂැස්ටා ගිනි කඳු වළල්ලේ වඩාත් සක්‍රීයතම ගිනි කන්ද ලෙස ලසන් ගිනි කන්ද පිළිගැනේ. වොෂිංටන්හි රේනියර් ගිනි කන්ද සහ ඔරිගොන්හි හුඩ් ගිනි කන්ද ෂැස්ටා ගිනි කඳු වළල්ලේ පිහිටා ඇති අනෙක් ගිනි කඳු වේ. ලාසන් ගිනි කන්දේ උස මුහුදු මට්ටමේ සිට මීටර 3189ක් වන අතර ගිනි කන්ද "ඔබ්සිඩියන්" නම් වීදුරු හා සමාන පාෂාණ වර්ගයකින් ආවරණය වී ඇත. එම පාෂාණ වර්ගය ගිනි  කන්ද විදාරණයේදී පිටවූ ලාවා ඝණීභවනයෙන් සෑදී ඇතැයි සොයාගෙන ඇත. 


ඇමෙරිකානු ස්වදේශික ගෝත්‍රයක් වන "Yahi" මිනිසුන් ගිනි කන්ද පූජනීයත්වයෙහි ලා සලකා ඇති අතර ගිම්හානයේ දැඩි උෂ්ණත්වයෙන් මිදීම සඳහා ඔවුන් වාර්ෂිකව ගිනි කන්දේ ඉහල බෑවුම් මතට සංක්‍රමණය වී ඇත. 1915දී ගිනි කන්ද පුපුරා එහි අළු වර්ෂාව සමඟ කිලෝමීටර 320ක් එපිට නැගෙනහිරින් පිහිටි පෙදෙස්වලට ඇද හැලී ඇත. මෙම ගිනි කන්ද ලසන් ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.  වනෝද්‍යානයේ ගිනි කන්ද හැර වෛවර්ණ වැලි කඳු, මඩ ගොහොරු, ගෑස් පිටවන විවර සහ  විවිධාකාරයේ ඝණීභවනය වූ ලාවා ගැලීම් දැක බලා ගත හැක. වනෝද්‍යානයෙහි 700කට ආසන්න ශාක විශේෂ සහ 250කට ආසන්න පෘෂ්ඨවංශී විශේෂ ජීවත්වේ. කැලිෆෝනියාවේ අධිකම හිම පතනය සිදුවන්නේ ලසන් ගිනි කඳු මුදුන මතට වන අතර සාමාන්‍ය වාර්ෂික හිම පතනය අඟල් 660කි. සමහර වසරවල එය අඟල් දහස ඉක්මවා යයි. ලසන් ගිනි කන්ද ග්ලැසියර ගලා යාමෙන් තොරවන අතර ගිම්හානයේ කුණාටු මඟින් ඇතිවන අකුණු සැරවලට කඳු මුදුන නිතර නිරාවරණය වේ.


Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment