ලිපි එකතුව


Monday, January 10, 2011

50. මොන්ටිරේ කැණියම



50. මොන්ටිරේ කැණියම/ Monterey Canyon (කැලිෆෝනියා, ඇමරිකා එක්සත් ජනපදය)
Source- http://deepwaterdesal.com/wp-content/gallery/dwd_monterey_canyon/monterey3.jpg

අද ඔබව රැගෙන යනු ලබන්නේ මුහුදු පත්ලෙහි ඇති ආශ්චර්යයක් නැරඹීම සඳහායි. මෙය මුහුදින් යට ඇති කැණියමකි. මොන්ටිරේ කැණියම ලෙස හඳුන්වන මෙය උතුරු ඇමරිකාවේ පැසිෆික් වෙරළ තීරයෙහි ගැඹුරුම සහ විශාලම කැණියම වේ. ශාන්ත ෆ්‍රැන්සිස්කෝ නගරයට දකුණින් පිහිටා ඇති මොන්ටිරේ කැණියම ආරම්භ වන්නේ මොන්ටිරේ බොක්ක මධ්‍යයයේ ඇති "මොස් ලෑන්ඩින්ග්ස්" ප්‍රදේශයේ සිටයි. කැණියම එම ස්ථානයෙන් ආරම්භ වී කිලෝමීටර 153ක් පැසිෆික් සාගරය දෙසට විහිදී යයි. කැණියමේ ගැඹුර මීටර 3600ක් (අඩි 12,000ක්) පමණ වේ.
මොන්ටිරේ කැණියම, අයිස් යුගයේ තිබූ ගංගාවක් අදාල ප්‍රදේශයේ ගලා ගොස් ඉන් ඇති වූ ඛාදනය මඟින්  නිර්මාණය වූ බව සැලකෙන අතර එකල මෙම ස්ථානය ගොඩබිමක්ව පැවති බව විශ්වාස කෙරේ. තවත් මතයක් වන්නේ වසර මිලියන නවයකට පෙර කොළරාඩෝ ගංගාව, වත්මන් කැලිෆෝනියා මෝය කට නොතිබූ අවදියක මොන්ටිරේ කැණියම ඔස්සේ ගොස් මුහුදට වැටුණු බවයි. වර්තමානයේ කොළරාඩෝ ඇතුළු ගංගාවන් හයක් කැලිෆෝනියා මෝය කටින් සාගරයට එක්වේ.

කැණියම ආශ්‍රිතව එකිනෙකට වෙනස් පරිසර පද්ධති තුනක් දැකගත හැක.  අතිශයින් ලම්භාකාර කැණියම බිත්ති අනේක කොරල් පරවල නිවහන වේ. මෙම කොරල් පර මධ්‍යම ගැඹුරැති ජලයෙහි වාසය කරනා අනෙකුත් ජීවීන්ට සෙවණ සපයයි. විශේෂයෙන්ම කොමඩු ගෙඩියක් තරම් ජෙලි මසුන්, මුහුදු පැලෑටි ආහාරයට ගන්නා "අවුල් ෆිෂ්" (Owl fish), මාංශ භක්‍ෂක "ෆෑන්ග් ටූත්", "Gulpureels" මේ කොරල් පර ආශ්‍රිතව වාසය කරයි. කැණියම ආශ්‍රිත තුන්වන පරිසර පද්ධතිය නම්, කැණියම පතුල මත ජීවත්වන අපද්‍රව්‍ය ආහාරයට ගන්නා මත්ස්‍යයින්ය.

මුහුදු පත්ලෙහි ඇති ජලය නිරන්තරයෙන්ම කැණියමේ බලපෑමෙන් මුහුද මතු පිටට පැමිණේ. "Upwelling process". කැණියම මෙම ක්‍රියාවලිය සඳහා නලයක් සේ ක්‍රියා කරයි. ම්හුදු පත්ලෙහි සීතල ජලය තල්මසුන්ට සහ අනෙකුත් මුහුදු ජීවීන්ට අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍යවවලින් අධික වේ.

මෙම ස්වාභාවික ආශ්චර්යය මුහුද යට ඇති බැවින්, විශේෂ උපකරණ සහ කිමිදුම් හැකියාව නොමැතිව මේ ප්‍රදේශය රිසි සේ දැක ගත නොහැක. එසේ නැත්නම් මොන්ටිරේ මින් මැදුරෙහි මේ සියළුම ස්වාභාවික සංසිද්ධීන් ප්‍රති නිර්මාණය කර ඇති බැවින් එය නරඹන ඔබට මුහුද යට කැණියම සිතින් මවා ගත හැක.


  Wikipedia, Youtube
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment