ලිපි එකතුව


Tuesday, January 18, 2011

52. සැන් අන්ද්‍රයාස් භූ පැල්ම

52. සැන් අන්ද්‍රයාස් භූ පැල්ම/ San Andreas Fault  (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය)
   පෘතුවිය නිර්මාණය වී ඇත්තේ භූ ගෝලය, ජල ගෝලය, වායු ගෝලය සහ ජෛව ගෝල යන ප්‍රධාන පද්ධති  හතරේ එකතුවෙනි. පෘතුවි ජල ගෝලයට සාගර, විල්, ගංගා, භූ ගත ජලය, ග්ලැසියර, ධ්‍රැවීය අයිස්, වර්ෂාව සහ හිම අයත් වේ. පෘතුවි වායුගෝලය ඔක්සිජන්, නයිට්‍රජන් ජල වාෂ්ප, ඕසෝන් ස්ථරය සහ සුළඟින් සමන්විත වේ.  ගස් වැල්, මිනිසුන්, සතුන්, කෘමීන් සහ ක්‍ෂුද්‍ර ජීවීන් ජෛව ගෝලයට අයත් වේ. පෘතුවි භූ ගෝලය ස්ථර කිහිපයකින් සමන්විත වේ. 
  ඉහත රූපයේ සඳහන් පරිදි පෘතුවි අභ්‍යන්තරයේම ඇත්තේ අධික පීඩනයකින් සහ උෂ්ණතවයකින් සමන්විත ඇතුලත මදයයි. එය ඝණ යකඩ සහ නිකල් ලෝහ සංයුතියෙන් සමන්විතය. අරය කිලෝමීටර 1216ක් වූ ඇතුලත මදයෙහි ප්‍රමාණය චන්ද්‍රයාගෙන් 70% ක් පමණ වන අතර එහි උෂ්ණත්වය සූර්යයාගේ මතු පිට උෂ්ණත්වයට සමාන වේ. ඝණකම  කිලෝමීටර 2266ක් වූ පිටත මදයෙහි සංයුතියද යකඩ සහ නිකල් මිශ්‍ර ලෝහයෙන් සමන්විත වන අතර එය දියරමය ස්වභාවයක් උසුලයි. පෘතුවි වැස්ම දැඩි උකු ගතියකින් සමන්විත වන අතර ඇතුලත සහ පිටත වැස්ම යනුවෙන් කොටස් දෙකකින් සමන්විතය.  කිලෝමීටර 2890ක් ඝණකමැති පෘතුවි වැස්ම පෘතුවියේ මුළු ස්කන්ධයෙන් 84%කි. පෘතුවි කබොල්ල කඳු සහ විවිධ පාෂාණවලින් සමන්විත ඝණ ස්ථරයක් වන අතර එහි සාගරයෙන් යට වූ ප්‍රදේශ සාගර කබොල්ල ලෙසද ගොඩබිම් ප්‍රදේශ මහද්වීපික කබොල්ල ලෙසද හඳුන්වයි.  මෙම ස්ථර අතුරින් සැන් අන්ද්‍රයාස් භූ පැල්මට අදාල වන්නේ පෘතුවි කබොල්ල සහ පිටත වැස්මෙහි එකතුවෙන් සැදුම්ලත් ශිලා ගෝලයයි. පෘතුවි ශිලා ගෝලය කිලෝමීටර 700ක් ඝණකම්ය. ශිලා ගෝලයේ විශේෂත්වය නම් එය සෑදී ඇත්තේ කැබලි/ තල ගණනාවක එඅකතුවකිනි. මෙම කැබලි මහද්වීපික තල ලෙස හඳුන්වනු ලැබේ. මෙම එක් තලයක ඝණකම කිලෝමීටර සියයක් වන අතර ප්‍රධාන මහද්වීපික තල හතක් දක්නට ඇත. ඒවා නම්
  • අප්‍රිකානු තලය
  • ඇන්ටාක්ටික් තලය
  • යුරේසියානු තලය
  • ඉන්දු ඕස්ට්‍රේලියානු තලය
  • උතුරු ඇමෙරිකානු තලය
  • පැසිෆික් තලය
  • දකුණු ඇමෙරිකානු තලය
මේ හැර ද්විතීයික සහ තෘතීක වශයෙන්ද තව දුරටත් තල වර්ග කර ඇති අතර, ඒවායේද උප තලද දක්නට ඇත. මෙම මහද්වීපික තල ඝණත්වයෙන් අඩු ඇතුළත වැස්ම මත සෙමෙන් පාවෙමින් පවතී. මෙලෙස පාවෙමින් පවතින මහද්වීපික තල අතර නොයෙකුත් විපර්යාසයන් සහ හැල හැප්පීම් සිදුවිය හැකියි.
  1. මහද්වීපික තල දෙකක් එකිනෙකින් ඈත් වීම
  2. මහද්වීපික තල දෙකක් එකිනෙක මුහුණලා තල්ලු වීම (එවිට එක් තලයක මායිම අනෙක් තලයේ මායිම යටින් තල්ලු වේ)
  3. තල දෙකක මායිම් එකිනෙක හා ලිස්සා යා හැකියි. 
ඉහත සඳහන් පරිදි මහද්වීපික තල එකිනෙක හා විවිධාකාරයෙන් ඝට්ටනය වීමේ ප්‍රතිඵලයක් වන්නේ භූමිකම්පා ඇති වීමයි. මෙනිසා පෘතුවි කබොල්ල තද බල පැලීමකට ලක්විය හැක. මෙසේ තුන්වන ක්‍රමයෙන් ඇති වූ මහද්වීපික ඝට්ටනයකට හොඳම උදාහරණයක් වන්නේ සැන් අන්ද්‍රයාස් භූ පැල්මයි. මෙසේ තුන්වන ආකාරයෙන් භූ පැල්මක් නිර්මාණය වන ආකාර හතරක් දැකිය හැක.
1. සාමාන්‍ය විභේදය/ පැල්ම (Normal Fault)- ලිස්සා යන මහද්වීපික තල දෙකේ මායිම්වල ආනතිය අංශක 45ට වඩා වැඩි අතර  මායිම් ලිස්සා යන්නේ සිරස් අතටය (උඩ සිට පහලට). මෙහිදී ලඹ බිත්තිය (උඩින් ඇති තලයේ මායිම) පා බිත්තිය (ලඹ බිත්තිය දරා සිටිනා තලයේ මායිම) මතින් පහලට ලිස්සා යයි. 
2. ප්‍රතිවර්තිත විභේදය (Reverse Fault) - මෙයද සිරස් ලිස්සා යමකි. මෙහිදී ලඹ බිත්තිය ඉහලට ලිස්සා යයි.
3. උලැඟි විභේදය (Thrust Fault)- මෙම පැල්මෙන්ද ලඹ බිත්තිය ඉහලට ලිස්සා යන අතර මහද්වීපික තල මායිම්වල ආනතිය අංශක 45ට වඩා අඩු බැවින් තිරස් ලිස්සා යාමක් ලෙස සැලකේ
4. තිරස් විභේදය (Strike slip Fault)- මෙහිදී තල මායිම් තිරස් අතට ලිස්සා යයි (එකක් වමට අනෙක දකුණට). වාමාවර්ත සහ දක්‍ෂිණාවර්ත තිරස් විභේදය ලෙස ප්‍රභේද දෙකකි. 

     
සැන් අන්ද්‍රයාස් භූ පැල්ම නිර්මාණය වී තිබෙන්නේ ඉහත සඳහන් කල විභේද අතුරින් තිරස් විභේදනයෙනි. එනම් පැසිෆික් භූ තල මායිමත්, උතුරු ඇමරිකානු භූතල මායිමත් එකිනෙක තිරස් ලෙස එකක් වමට සහ අනෙක ලිස්සා යාමෙනි. කිලෝමීටර 1300ක දිගින් යුතු සැන් අන්ද්‍රයාස් භූ පැල්ම ලොව වඩාත් ක්‍රියාකාරී සහ වඩාත් දිගින් සමන්විත භූ පැලීම්වලින් එකකි.  මෙම භූ පැල්ම අදින් වසර මිලියන විස්සකට පමණ පෙර සිදුවූවක් යැයි පවසයි. වරින් වර ඇති වන සුළු කම්පන හේතුවෙන් ප්‍රධාන පැල්මට අමතරව එය කේන්ද්‍ර කොට ඇතිවූ සංකීර්ණ උප පැලීම් ජාලයක් කැලිෆෝනියානු වෙරළ තීරයේ කඳු අතරින් දිවයයි. සැන් අන්ද්‍රයාස් පැල්ම පෘතුවියේ කිලෝමීටර 16ක් ගැඹුරට ගමන් කරන අතර පැල්ම කැඩී බිඳී ගිය පාෂාණ කැබලි සහිතව අඩි සියයේ සිට සමහර තැන්හි හැතැප්මයක් දක්වා පුළුල්වේ. පැල්මේ සමහර ස්ථානයන්හි ජලය පිරී කුඩා විල් නිර්මාණය වී ඇත. වර්තමානයේදීද උතුරු ඇමරිකානු භූ තලය ගිණිකොන දෙසටත්, පැසිෆික් භූ තලය වයඹ දෙසටත් සෙමෙන් ගමන් කරමින් පවතී. වසර මිලියන 15-20ත් අතර කාල පරාසය ඇතුලත භූ තල දෙක හැතැප්ම 350ක් එකිනෙකට තිරස්ව ඇදී ගොස් ඇත. වසරකට පැසිෆික් භූ තලය සෙන්ටිමීටර විස්සකින් වයඹ දෙසට ගමන් කරයි. 1906දී ඇති වූ සැන් ෆ්‍රැන්සිස්කෝ භූමි කම්පාව මඟින් අඩි විසි එකක් තල දෙක එකිනෙකින් විස්ථාපනය වී ඇත.

      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment