ලිපි එකතුව


Monday, May 2, 2011

65. ඩෙත් වැලී ජාතික වනෝද්‍යානය

65. ඩෙත් වැලී ජාතික වනෝද්‍යානය/ Death Valley National Park (කැලිෆෝනියාව,  ඇමරිකා එක්සත් ජනපදය)
   සියෙරා නෙවාඩා කඳු පංතියෙහි නැගෙනහිර දෙසින් ඩෙත් වැලී ජාතික වනෝද්‍යානය පිහිටා ඇති අතර එය පෘතුවිය මත පවතින උණුසුම්ම සහ වියලිම ස්ථාන කිහිපයෙන් එකක් ලෙස සැලකේ. එමෙන්ම උතුරු ඇමෙරිකාවේ වියලිම ස්ථානයද වන අතර එහි පිහිටා ඇති "Bad Water Basin" නම් ස්ථානය පෘතුවියේ බටහිර අර්ධගෝලයේ පහත්ම ස්ථානයයි. එය මුහුදු මට්ටමේ සිට මීටර 86ක් පහලින් පිහිටයි. වනෝද්‍යානය සහිත මිටියාවත "Amargosa" සහ "Paramint" යන කඳු අතරින් දිවෙන කිලෝමීටර 250ක් දිග ද්‍රෝණියකි. (ද්‍රෝණියක් යනු දිගැති, පටු සහ නොගැඹුරු පහත්බිම් තීරයකි). 


වනෝද්‍යානයේ ඇත්තේ කාන්තාර පරිසරයක් වුවත් එහි ඇති ස්වාභාවිකව ලුණු තැන්පත් වූ විශාල භූමි භාග, වැලි පර, කැණීයම සහ කඳු වැටි කර්කෂ සුන්දරත්වයක් ඩෙත් වැලී භූමියට ප්‍රදානය කර ඇති අතර එම කර්කශ පරිසරයට හුරු වූ ශාක සහ සතුන්ද මෙහි දැක ගත හැක. ඩෙත් වැලීහී පහත්ම ස්ථානයේ සිට (බෑඩ් වෝටර් බේසින්, මුහුදු මට්ටමෙන් මීටර 86ක් පහල) උසම ස්ථානය වන ටෙලෙස්කෝප් මුදුනට (මුහුදු මට්ටමේ සිට මීටර් 3368ක් ඉහලින්) ඇත්තේ කිලෝමීටර 24ක් වන් ඉතා කෙටි දුරකි. එනම් පහත්ම ස්ථානයේ සිට උසම ස්ථානයට ශීඝ්‍ර නැග්මකි. 


ඩෙත් වැලීහි පහත් බිම් සහ බෑවුම් වෘක්‍ෂලතාදියෙන් විරල වේ (වෘක්‍ෂලතා දුරින් දුර පිහිටයි). වෘක්‍ෂලතා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ජලය සහිත උස් උන්නතාංශයන්හිදීය. මෙහි කර්කශ පරිසරයට හුරු වූ සතුන් සමහරක් නම්: බිග් හෝන් නම් බැටළු වර්ගය, කඳුකර සිංහයන්, බොබ්කැට් නම් වල් බළල් විශේෂය, කාන්තාරවල වෙසෙන් සර්ප විශේෂ සහ උණුසුම් ජලයෙහි ජීවත් වීමට හැකි පප්ෆිෂ් නම් මත්ස්‍යයින්. වනෝද්‍යානය නැරඹීමට සුදුසුම කාලය ශිශිරය බල පවත්වන ඔක්තෝබර් සිට අප්‍රේල් කාලයයි. ගිම්හානයේදී මෙහි ලඟා වීමට අසීරු වන්නේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් වන හෙයිනි. මෙහි මෙතෙක් වාර්තාවී ඇති ඉහලම උෂ්ණතවය සෙල්සියස් අංශක 57කි.


      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment