ලිපි එකතුව


Monday, May 2, 2011

66. වසන්ත පොකුණු

66. වසන්ත පොකුණු/ Vernal Pools (කැලිෆෝනියාව,  ඇමරිකා එක්සත් ජනපදය)
   වසන්ත පොකුණු යනු වසරේ වසන්ත සෘතුවට පමණක් නිර්මාණයවන තාවකාලික පොකුණු විශේෂයකි. මෙම පොකුණු මත්ස්‍යයින්ගෙන් තොර බැවින් උභය ජීවී සහ කෘමි වර්ග රැසකගේ වර්ධනයට මහත් පිටිවහලක් ලැබී ඇත. වසන්ත පොකුණු බොහෝදුරට අවුරුද්දේ කාලයක් ජලයෙන් තොර වියලි ස්වාභාවයක් උසුලන අතර ශිශිරයේ ඇද හැලෙන වර්ෂාව මඟින් හා ශිශිරය අවසන හිම දියවීමෙන් පිරෙනා ජලයෙන් නිර්මාණය වේ. සමහර පොකුණු වසර මුළුල්ලේ යන්තම් ජලයෙන් පිරී තිබෙනු දැකිය හැක. මෙවන් වසන්ත පොකුණු ලොව දක්නට ලැබෙන්නේ බටහිර ඇමෙරිකාව, චිලී, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ දකුණු යුරෝපයේයි. කැලිෆෝනියාවේ පිහිටා ඇති වසන්ත පොකුණු ලොව දුර්ලභම සහ වඩාත් තර්ජනයට ලක්වී ඇති පරිසර පද්ධතියක් වේ. 


මෙම පොකුණු වසර ලක්‍ෂයකට පෙර නිර්මාණය වී ඇතැයි සැලකෙන අතර වසර මිලියන ගණනකට පෙර යමහල් විදාරණය වී නිර්මාණය වූ කඨෝර (දැඩි) ස්ථරයක් මත පිහිටා ඇත. මෙහි විශේෂත්වය වනුයේ ඒ ඒ පොකුණට අදාල සත්ත්ව සහ ශාක විශේෂ දැක ගත හැකි වීමයි. මෙම පොකුණු සියල්ලේම ශාක විශේෂ 200ක් පමණ දැක ගත හැකි අතර, ඒ ඒ ශාකවලටම ආවේණික වූ කෘමි විශේෂ මඟින් අදාල ශාක පරාගණය සිදුවේ. කැලිෆෝනියාවේ වසන්ත පොකුණුවලට ආවේණික ශාක සමහරක් නම්: Frayed downingias, Fremont goldfields, Meadowfoam සහ Delta wooly marbles. ඒ ඒ පොකුණේ ඇති ශාක විශේෂ අදාල පොකුණේ තෙතමන ස්වාභාවයන්ට හැඩගැසී ඇත. 


වසන්ත පොකුණු නැරඹීමට උචිතම කාලය පෙබරවාරි සිට මැයි දක්වා වෙයි. වන මලින් පිරී පවතින ජලජ ශාක ස්ථානගත වී ඇත්තේ වක්‍රාකාරවය. එනම් උදාහරණයක් ලෙස දම් පැහැති මල් පිපෙන ශාක වක්‍රයක්, ඉන් ඇතුලත වක්‍රයේ කහ පැහැති මල් පිපෙන ශාක, ඊටත් ඇතුලත වක්‍රයේ සුදු පැහැති මල් හට ගන්නා ශාක ලෙස ස්වාභාව ධර්මයෙන් දායාද වූ අලංකාර රටාවකින් පිහිටා ඇත. 


මෙම පොකුණු අතරින් වඩාත් විසිතුරු පොකුණු වන්නේ Sacremento හි Mather නම් පොකුණ සහ Jepson රක්‍ෂිතයයි. වසන්ත පොකුණු තුල කූණිස්සන් වර්ගද ගෙම්බන් සහ සලමන්දරාවන් ඇතුළු තවත් උභය ජීවීන් බහුලව දැක ගත හැක. ඔවුන් අභිජනනය සඳහා මෙම පොකුණු භාවිතා කරයි. පොකුණු අවට උස් බිම් මත වෙසෙන මෙම උභය ජීවීන් බිත්තර දැමීම සඳහා පොකුණු කරා ලඟා වේ. බිත්තරවලින් පිටවන පැටවුන් මාස දෙකක් හෝ තුනක් පොකුණු තුල ගත කර ඉන් පිටවී යයි. එසේ මෙම පොකුණු ආශ්‍රිතව ජීවත්වන ජීවීන් නම්: Tiger salamander, Marbled salamander, Jefforson's salamander, Blue-spotted salamander, Spotted salamander යන සලමන්දරාවන්, Wood frog, Spadefoot toad යන ගෙම්බන් විශේෂ සහ Daphnia shrimp, Fairy shrimp යන කූණිස්සන් විශේෂ.


Wikipedia
UNESCO NATURAL WONDERS

1 comment:

  1. නියම ලිපියක්....

    ReplyDelete