ලිපි එකතුව


Saturday, January 1, 2011

46. ග්‍රෑන්ඩ් ටිටෝන් ජාතික උද්‍යානය

46. ග්‍රෑන්ඩ් ටිටෝන් ජාතික උද්‍යානය/ Grand Teton National Park (වයෝමින්ග්, ඇමරිකා එක්සත් ජනපදය)
  ග්‍රෑන්ඩ් ටිටෝන් ජාතික උද්‍යානය වයෝමින්ග් ප්‍රාන්තයේ වයඹ දිගින් සහ යෙලෝ ස්ටෝන් ජාතික උද්‍යානයට දකුණින් පිහිටා ඇත. මහේශාක්‍ය කඳු වළල්ලකින් වට වූ උද්‍යානයේ උසම කඳු මුදුන වන්නේ මීටර 4197ක් උසැති ග්‍රෑන්ඩ් ටිටෝන් කඳු මුදුනයි. උද්‍යානය නම් කර ඇත්තේද මේ කඳු මුදුන නමිනි. ජැක්සන් හෝල් නිම්නයෙන් අහසට නැඟි ග්‍රෑන්ඩ් ටිටෝන් කන්දේ ප්‍රතිබිම්බය නිම්නයේ විල් තුලින් මනාවට පරාවර්තනය වේ. නිම්නයේ ඇති විශාලම විල වන ජැක්සන් විල අක්කර 25,540 පුරා පැතිර පවතින අතර අඩි 438ක් ගැඹුරු වේ. ග්‍රෑන්ඩ් ටිටෝන් කඳු මුදුනට අමතරව මුහුදු මට්ටමේ සිට අඩි 12,000 (මීටර 3658)ට වඩා උසැති කඳු මුදුන් අටක් උද්‍යානයේ දක්නට ඇත.  රොකී කඳු පද්ධතියට අයත් උද්‍යානයේ ග්‍රෑන්ඩ් ටිටෝන් කඳු වැටිය, රොකී කඳු පද්ධතියේ  ඇති ලාබාළතම කඳු වැටියයි. එනම් මීට වසර මිලියන නවයකට පෙර උද්‍යානයේ කිසිම කඳු වැටියක් නොවීය. කඳු  වැටිය ඉන් පසු නිර්මාණය වූ බව පැවසේ.කඳු වැටියේ පාෂාණ සංයුතිය ප්‍රධාන වශයෙන්ම විපරීත පාෂාණ, වැලිගල්, හුණු ගල් හා ශල්කවලින් සමන්විත වේ. 


උද්‍යානයේ සනාල ශාක විශේෂ දහසක් පමණ දක්නට ඇත. මීටර තුන්දහසට වඩා උස් කඳු මුදුන් මත (ඇල්පයින් ප්‍රදේශ) සිවිය සුදු පයිනස් ශාක, ෆ(ර්) සහ උප ඇල්පයින් නම් දේවදාර ගස්, "Engelmann Spruce", "Limber Pine" ශාක බහුල වශයෙන් දක්නට ඇත. නිම්නය ආශ්‍රිතව පයිනස් සහ දේවදාර විශේෂ වන "Lodgepole Pine", "Douglas Fir" සහ " Blue Spruce" යන ශාක දක්නට ඇත. ගංගා සහ විල් ඉවුරු ආශ්‍රිතව විලෝ, ඇස්පන් සහ කොට්න්වුඩ් ශාකද දක්නට ඇත. 


වන සතුන්ගෙන් ගහණ උද්‍යානයේ උතුරු කොටසෙහි බයිසන් ගවයින්, ගෝනුන්, ප්‍රොන්ග්හෝන් (මුව විශේෂයක්), බීවරයින්, කළු වළසුන් සහ අළු  වළසුන් දක්නට ඇත. උස් බෑවුම්වල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ "බිග් හෝන්" බැටළුවන්ය. ශිශිරයේදී යෙලෝස්ටෝන්හි සිට පැමිණි වෘකයන් දැක ගත හැකිය. පක්‍ෂීන්ගෙන්ද බහුල උද්‍යානයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ හිස මුඩු රාජාලින්, ඔස්ප්‍රී (උකුස්සන් විශේෂයක්), සුදු පෙලිකන් සහ ට්‍රම්පීට(ර්) නම් හංසයින්ය. ජැක්සන් හෝල් නිම්නය හරහා ගලනා "ස්නේක්" ගංගාවෙහි පමණක් දක්නට ලැබෙන "ස්නේක් රිවර්" නම් ට්‍රවුට් මසුන් විශේෂය නිම්නය ආශ්‍රිතව දැක ගත හැක. 


1929 දී උද්‍යානයක් ලෙස ස්ථාපිත කරනු ලැබූ ග්‍රෑන්ඩ් ටිටෝන් උද්‍යානය 1950 දී තවත් පුළුල් කරනු ලැබීය. වර්තමානයේ එහි වපසරිය වර්ග කිලෝමීටර 1250කි. උද්‍යානය නැරඹීම සඳහා හොඳම කාලය වන්නේ සැප්තැම්බර් සිට ජුනි දක්වා කාලයයි. ශිශිරයේදී අධික හිම පතනය බැවින් එම සෘතුව පවතින කාලය උද්‍යානය නැරඹීමට සුදුසු නැත. අර්ධ වියලි කාලගුණයක් පවතින උද්‍යානයේ ගිම්හානයේදී සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් වන අතර ශිශිරයේයේදී එය සෙල්සියස් සෘණ -43 දක්වා පහල බසී. වාර්ෂික හිම පතනය සෙන්ටි මීටර 490ක් වන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 250කි.

      විකීපිඩියා

      යූ ටියුබ්

      ගූග්ල් අර්ත්
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment