ලිපි එකතුව


Wednesday, October 20, 2010

19. බෙය(ර්) ග්ලැසියරය

බෙය(ර්) ග්ලැසියරය/ Bear Glacier

Photograph/ ඡායාරූපය: (IKONOS satellite image courtesy GeoEye, ‘The Bear Glacier on the Kenai Peninsula’, in Boston.com, viewed on 20 October 2010,
 < http://cache.boston.com/universal/site_graphics/blogs/bigpicture/eobs_01_14/e02_bear_iko.jpg>

බෙය(ර්) ග්ලැසියරය, අලැස්කාවේ “හාර්ඩිං” අයිස් යායෙන් ගලනා මහානුභාවසම්පන්න ග්ලැසියර් 30න් එකකි. හාර්ඩිං අයිස් යායේ ඇති ග්ලැසියර එකතුවෙන් මුහුදට ගලා නොබසින එකම ග්ලැසියරය වන්නේද බෙය(ර්) ග්ලැසියරයයි. ග්ලැසියරයක් යනු පොළව මතු පිට ගලා යන අයිස් ගොඩකි. ඒවායෙහි බරට අයිස් උස් ප්‍රදේශවල සිට පහත් බිම් කරා සංක්‍රමණය වේ. සාමාන්‍යයෙන් ගංගාවක් කඳු මුදුනතකින් පටන් ගෙන පහත්බිම් තුලට ගලාවිත් අවසන සාගරය හා එක් වන්නා සේ, බොහෝ ග්ලැසියර අඩි දහස් ගණන් උස කඳු මුදුන් වල සිට කිලෝ මීටර දහස් ගණනක් දුර ගෙවා මහා සාගරයට ගලා යයි (තල්ලු වී යයි). එසේ සාගරය දක්වා ගලා යන ග්ලැසියර “ටයිඩ්වෝටර්” ග්ලැසියර ලෙස හඳුන්වනු ලැබේ. සෑම ග්ලැසියරයක්ම සාගරයට ගලා යන්නේ නැත. ග්ලැසියරයේ අයිස් තව දුරටත් ඉදිරියට තල්ලු වීමට ශක්තියක් නොවූ තැන, ග්ලැසියර අග දියවී ජලාශයක් නිර්මාණය වේ.

බෙය(ර්) ග්ලැසියරයේ අගද එසේ විශාල ජලාශයක් නිර්මාණය වී ඇත. දින පතා ග්ලැසියරයෙන් ජලාශයට කඩා හැලෙන අයිස් නිසා ජලාශයේ අති විශාල අයිස් කුට්ටි දැක ගත හැක. මේවා අලැස්කාවේ ඇති විශාලතම අයිස් කුට්ටි බව කියැවේ.

ග්ලැසියරයට ලඟාවිය හැකි හොඳම ආකාරය බෝට්ටු හා ඔරු මඟිනි.  ඔරු මඟින් ජලාශයේ පාවෙන අයිස් කුට්ටි අසලට වඩාත් ලඟාවිය හැකි අතර, විශාල අයිස් කුට්ටි මුදුනත දියවී ඉන් වෑස්සෙන ජලය ජලාශයට වැටෙනා චමත්කාරජනක හඬට පවා ඇහුම්කන් දිය හැක. ජලාශයේ ජලය “Resurrection” බොක්ක ඔස්සේ සාගරයට එක්වේ. බොක්ක ඔස්සේ ජලාශයේ ජලය සාගර ජලයට එක්වන තෙක් මුහුදු ජලයෙන් ජලාශයේ ජලය පැහැදිලිව වෙන්කර හඳුනාගත හැක. ඒ අයිස් දියවී ගලනා ජලාශයේ ජලය කිරි පැහැයෙන් දිස්වීම නිසයි. බොක්ක අවට තල්මසුන්, මුහුදු පක්‍ෂීන්, මුහුදු සිංහයන් සහ  දිය බල්ලන් බහුල වේ.

18. කැට්මයි කඳු ශිඛරය


කැට්මයි කඳු ශිඛරය./ Mount Katmai 
Photograph/ ඡායාරූපය: Wikipedia Contributors, ‘Great Mount Katmai and its crater lake in September ’, in Wikipedia The Free Encyclopedia, viewed on 20 October 2010, <http://en.wikipedia.org/wiki/File:Katmai_Crater_1980.jpg>

වර්ෂ 1912, ජුනි 7 වන දින, අලැස්කාවේ කොඩියැක් දිවයිනට උතුරින් වන ප්‍රදේශයේ මහා ගිනි කඳු පිපිරීමක් සිදුවිය.  පිපිරුම සිදුවන අවස්ථාවේ හාත්පස දවාලක් මෙන් ආලෝකමත් විය. ඇස්තමේන්තුගත පරිදි ටොන් මිලියන 33කට ආසන්න සුන්බුන් ප්‍රමාණයක් අහසට විදි බව පැවසේ. පිපුරුමෙන් අළු සහිත ධූලි අංශු පෘතුවි ස්ථරගෝලය දක්වා විහිදී පෘතුවිය වටා පැතිර ගියේය (ස්ථරගෝලය යනු පෘතුවි වායුගෝලයේ ස්ථරයකි. එය පෘතුවි පෘෂ්ඨයේ සිට කිලෝ මීටර 30ක උසකින් පිහිටයි). එහෙත් 1916 වන තෙක් අදාල සිදුවීම හෝ ප්‍රදේශය පිළිබඳ ගවේෂණයක් සිදු නොකෙරිණ. 1916 දී කල ගවේෂණයෙන් මඩ සහ අළුවලට අමතර යමක් සොයා ගැනීමට නොහැකි වුණි. පිපිරුමේ ප්‍රතිඵලය ලෙස කැට්මයි කන්දේ මුදුනත අතුරුදන්ව විශාල ආවාටයක් (ගිනි කඳු විවරයක්) නිර්මාණය වී තිබිණ. විවරයේ පරිධිය කිලෝමීටර 13කි. ගැඹුර අඩි 3700කි. විවරය වර්තමානයේ නිල් පැහැති ජලතලාවකින් වැසී විලක් නිර්මාණය වී තිබේ. ගිනි කඳු විවරය අවට ග්ලැසියරයන් බහුල වීම ආවාටය ජලයෙන් පිරී යාමට හේතුවී තිබේ.

            කැට්මයි කන්ද අවට මිටියාවත හඳුන්වනු ලබන්නේ “දස දහසක් දුමාරයන්ගේ මිටියාවත” ලෙසය. එසේ හඳුන්වන්නේ පසුගිය සියවස පුරාවට මිටියාවතේ පෘෂ්ඨයෙන් නැඟුනු හුමාලය සහ දුම හේතුවෙනි. ගැඹුරු විවර සහිත මිටියාවතේ එම විවර තුලින් සල්ෆරස් (සල්ෆර් අඩංගු) හුමාලය පිටවේ. වර්තමානයේද ස්වල්ප වශයෙන් දුමාරය පිටවීමක් දක්නට ඇත. වෘක්‍ෂලතාදියෙන් තොර මෙම ප්‍රදේශය හිම කාන්තාරයක් ලෙස පවතී.


Friday, October 15, 2010

17. බෲක්ස් කඳු වැටිය

බෲක්ස් කඳු වැටිය/ Brooks Range
Photograph/ ඡායාරූපය: Northstar, 'Caribou Treking through the Brooks Range, Alaska, USA', in Pixdaus Nature photography Bookmarked, viewed on 15 October 2010, <http://pixdaus.com/pics/1278422937lJL88MW.jpg>
උතුරු ඇමරිකා මහද්වීපයේ උතුරු කොණේම පිහිටි, එක්සත් ඇමෙරිකා ජනපදයේ වපසරියෙන් විශාලතම ජනපදය වන අලැස්කාවේ බෲක්ස් කඳු වැටිය පිහිටා ඇත. කඳු වැටියේ දිග කිලෝමීටර 1100ක් වන අතර, උසම ස්ථානය මීටර 2700කි. කඳු වැටිය වසර මිලියන 126 පැරණි බව කියැවේ.  
Photograph/ ඡායාරූපය: No Name, ' BrooksRange', in www.xiongdudu.com, viewed on 15 October 2010, <https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiC1e_qu3ppCt20Wr1VedtvzeudPDeVrANvSkWN9RtBzUAJTXVmNtHevu4xREw_Tbg5tk1hFNhI_DQz3CeRfmJdVDNR-Gzarjaxm6lpHl1sUC4EAcW82vBkBRrcftcX7giPY1-yeQMLmZk/s400/BrooksRange.jpg >
මනුෂ්‍ය ගහනයෙන් තොර හිමෙන් වැසුණු ප්‍රදේශයක් වන මෙහි ආක්ටික් වනජීවින් බහුල වේ. කළු සහ අළු වළසුන්, ගෝනුන්, කරිබු පිණි මුවන්, වෘකයන් සහ ඩල් බැටළුවන්ගේ නිවහනක් වන මෙම ප්‍රදේශය රක්‍ෂිතයකි. පිණි මුවන් 160,000 ක් වාසය කරනා බව කියැවේ. අවුරුදු පතා බටහිර ආක්ටික් කරිබු පිණි මුවන් රංචු ලෙස බෲක් කඳු වැටියට සංක්‍රමණය වේ. 2004 දී එසේ සංක්‍රමණය වූ පිණි මුවන් ගණන 490,000ක් ලෙස ගණන් බලා ඇත. තවද කරිබු පිණි මුවන්ගේ උප විශේෂයක් වන පොක්‍යුපයින් කරිබු පිණි මුවන් (විශාල අං තට්ටුවක් සහ ශරීරයක් ඇති ශක්තිමත් පිණි මුවන් වර්ගයක්) 120,000ක් පමණද වසරකට මෙම ප්‍රදේශයට වෙරළාශ්‍රිත තැන්න ඔස්සේ සංක්‍රමණය වේ.  මෙසේ සංක්‍රමණය වන අතරතුර උන් තමන්ගේ පැටවුන් අත හැර දමන අතර තැනිතලාවේ වැඩී ඇති, “Reindeer Moss” නැමැති පාසි උලා කයි.

කඳු වැටියේ දකුණු දිග බෑවුම කේතුධර වනාන්තරයෙන් වැසී පවතී. උතුරු බෑවුම හිමෙන් වැසුණු තුන්ද්‍රාවකි. තුන්ද්‍රාවක් යනු පොළොවට සමීප මිටි පඳුරුවලින් ගහන විශාල තැන්නකි. ඊට හේතුව අධික ශීතලත් දැඩි වියලි සුළඟත් උස ගස් වැඩීමට බාධා කිරීමයි. ශිශිරයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 45 දක්වා පහල බසී.  

ද්‍යානයේ බටහිර කොටසේ ආරක්‍ෂාව භාරව ඇත්තේ, ආක්ටික් ජාතික උද්‍යානයටයි. මනුෂ්‍ය ගහණයෙන් තොර මේ ප්‍රදේශයට ලඟාවිය හැක්කේ ගුවනින් හෝ සැහැල්ලු හිම මත ධාවනය කල හැකි රථවලින් පමණි.




16. පංච මහා විල්


91.පංච මහා විල්/ The Great Lakes
Image Credits: NASA (National Aeronautics and Space Administration). Image Source- http://eoimages.gsfc.nasa.gov/images/imagerecords/78000/78617/ISS031-E-123071_lrg.jpg 

ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩා මායිමේ පිහිටා ඇති, සුපීරියර්, මිචිගන්හ්‍යුරන්, ඔන්ටේරියෝ සහ ඊරි යන පංච මහා විල් එකතුවෙන් ලොව විශාලතම නැවුම් ජලතලාව ආවරණය වේ. එය පෘතුවි පෘෂ්ඨයේ නැවුම් ජල පරිමාවෙන් 21% කි. ජල තලය, වර්ග කිලෝමීටර 208,610 ප්‍රදේශයක් පුරා විසිර පවතින අතර, මුළු ජල පරිමාව ඝණ කිලෝමීටර 22,560කි (6 Quadrillion Gallons). මෙම ජල පරිමාව ඇමරිකා එක්සත් ජනපද ප්‍රාන්ත 48 පුරාවට විසිරුවවහොත්, ජල මට්ටමේ උස මීටර 3ක් (අඩි 9.5ක්) වනු ඇත. ඉන් ඔබට ජල කඳේ පරිමාව පිළිබඳ යම් වැටහීමක් ලැබේ.

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ නාසා ආයතනය සතු Expedition-31 නම් අභ්‍යවකාශ ශටලයේ සිටි ගගනගාමියෙක් විසින් ලබාගත් පංච මහා විල්හි ඡායාරූපයක් වන අතර ඉන් පෙන්නුම් කරන්නේ ජලතලය මත පතිත වී පරාවර්තනය වන රන්වන් පැහැති සූර්යාලෝකයයි. එය අතිශයින්ම මනස්කානත දර්ශනයකි.

            සුපීරියර් විල පංච මහා විල් අතර විශාලතම විල වේ. කෙතරම් විශාලද යනු, එයට අනෙක් විල් සතරම ඇතුල් කල හැකි අතර, ඊට අමතරව, ඊරි විල මෙන් තුන් ගුණයක විශාල ප්‍රදේශයක්ද ඇතුල් කල හැක. 
Photograph/ ඡායාරූපය: Wikipedia Contributors, ‘The area of each rectangle is proportionate to the volume of each lake’, in Wikipedia The Free Encyclopedia, viewed on 15 October 2010, < http://upload.wikimedia.org/wikipedia/en/timeline/0be19ad6be5cea3067ae6d7886e0d35a.png>

පංච මහා විල් මීට වසර 10000 කට පෙර අවසන් හිම යුගයේ නිර්මාණය වූ බව පැවසේ. ඉන් පෙර විල් සහිත ප්‍රදේශය, ලොරෙන්ෂියානු හිම තලාව මඟින් ආවරණය වී පැවතිණි. මෙම හිම තලාව වසර 95,000- 20000 කට පෙර කාලයේ කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ (උතුරු) විශාල කොටසක් ආවරණය කරගෙන සිටි මහා අයිස් තලාවකි. වසර 14,000කට පෙර අයිස් තලාව දිය වීමට පටන් ගෙන වසර 4000කට පෙර සම්පූර්ණයෙන් දියවූ අයිස් තලාවේ ජලයෙන්,පංච මහාවිල් ද්‍රෝණි පිරුණි.  අසමානවූ ග්ලැසියර ඛාදනය හේතුවෙන්, තරමක් උස් කඳු ගැට විල් මධ්‍යයෙහි දූපත් ආකාරයෙන් නිර්මාණය වුණි. විල් ද්‍රෝණි මෘදු වැලි ගල් සහ ශල්ක සංයුතියෙන් සුසැදිය.

සුපීරියර් විලෙන් ආරම්භවී එහි ජලය, විල් අතර පිහිටි ජල මාර්ග ඔස්සේ හ්‍යුරන් සහ මිචිගන් විල් තුලටත්,  ඒවායේ ජලය ඊරි විලටත් ගලා යයි, ඊරි විලෙහි ජලය කිලෝ මීටර 35ක් දුර ගෙවා ගොස්, නයගරා දිය ඇල්ල නිර්මාණය කරමින්, ඔන්ටේරියෝ විලට එක්වේ. ඔන්ටේරියෝ විලෙහි ජලය ශාන්ත ලෝරන්ස් ගංගාවට එක්වී අවසන කිලෝ මීටර 1600ක දුරක් ගෙවා ශාන්ත ලෝරන්ස් මෝයෙන් අත්ලන්තික් මහා සාගරයට එක් වේ.
Photograph/ ඡායාරූපය: Wikipedia Contributors, ‘Great Lakes: System Profile’, in Wikipedia The Free Encyclopedia, viewed on 15 October 2010, < http://en.wikipedia.org/wiki/File:Great_Lakes_2.PNG>

පංච මහා විල් සහිත වටපිටාව අපූරු භූ නිර්මාණවලින් සුසැදිය. වෙරළාශ්‍රිත වගුරුබිම්, ගල් සහිත වෙරළ තීර, මහා තැනි තලා, සැවනා බිම් (ගස් නොමැති තැනි තලා ප්‍රදේශයක්), කැලෑ සහ තෙත් බිම්වලින් ගහනය. හ්‍යුරන් සහ මිචිගන් විල් මත පමණක් දූපත් 30,000කට ආසන්න ප්‍රමාණයක් ඇත.

විල් තුල වර්ග 180කට ආසන්න මත්ස්‍යයින් සංඛ්‍යාවක් ජීවත් වේ. Bass, Nothern pike, lake herring (විල්හි ජීවත්වන හුරුළු විශේෂයක්), whitefish, walleye, ට්‍රවුට් යන මසුන් වර්ග. ඊරි විල වඩාත් උණුසුම් ජලය ඇති විල වන අතර, ජීව විද්‍යාත්මක අතින් අනෙක් විල්වලට වඩා ඉදිරියෙන් සිටී. විල් අවට කොළ පැහැයෙන් දිදුලන වනාන්තර, විවිධාකාර ජීවීන්ගේ නිවහන වේ. සුදු වලිගැති මුවා, බීවර්,  හික්මීයන්, මුගටි, නරි, කළු වලසා, බොබ්කැට්, වෘකයින් සහ ගෝනුන් බහුල වේ. 

විලට මායිම්ව ඇති එක්සත් ඇමරිකා ජනපද අටක (මිනසෝටා, විස්කොන්සින්, ඉලිනොයිස්, ඉන්දියානා, මිචිගන්, ඕහියෝ, නිව්යෝක් සහ පෙනිසිල්වේනියා) සහ කැනඩාවේ ඔන්ටේරියෝ ජනපදයේ මිනිසුන් මිලියන 30ක් පමණ විල්හි වෙරළාශ්‍රිතව ජීවත් වේ.
Photograph/ ඡායාරූපය: Glin, ‘Great Lakes: On the map’, in Great-Lakes.net, viewed on 15 October 2010, < http://www.great-lakes.net/teach/chat/answers/graphics/greatlakesmap.gif>


  Wikipedia
UNESCO NATURAL WONDERS

Thursday, October 14, 2010

15. නයගරා දියඇල්ල

නයගරා දියඇල්ල/ Niagara Falls
Photograph/ ඡායාරූපය: No Name, ‘Horseshoe Falls’, in cse.buffalo.edu, viewed on 14 October 2010, < http://www.cse.buffalo.edu/cocoon2009/images/Niagara_Falls_Horseshoe%20Falls.jpg>
කැනඩාවටත්, ඇමරිකා එක්සත් ජනපදයටත් අයත් නයගරා දිය ඇල්ල ලොව වඩාත් ප්‍රචලිතම දියඇල්ල වේ. ඇල්ලේ උස අඩි 180 කුත්, දිග අඩි 2200කුත් වේ. කැනඩාවත් ඇමරිකා එක්සත් ජනපදයත් වෙන් කරමින් ඒ මධ්‍යයේ නයගරා දිය ඇල්ල පිහිටයි. කැනඩාවේ ඔන්ටේරියෝ නගරයද, ඇමරිකාවේ නිව්යෝක් නගරයද නයගරා ඇල්ලෙන් රාජ්‍යයන් දෙක වෙන්වන මායිමේ පිහිටි නගර වේ.

ඇල්ල කොටස් දෙකකින් සමන්විතවේ. “ගෝට් අයිලන්ඩ්යනුවෙන් හඳුන්වන ඇමරිකානු ඇල්ල නැගෙනහිර කොටසේද, අශ්ව ලාඩමක හැඩය ගත් කැනේඩියානුහෝස් ශූකොටස බටහිරට වන්නට පිහිටා ඇත.

මහා විල් සමූහයෙන් එකක්වන ඊරි විලෙහි ජලය කිලෝමීටර 35 දුර ගෙවා ගොස් නයගරා ඇල්ල නිර්මාණය කරමින් කඩා හැලේ. නයගරා ඇල්ලෙන් ගලා යන ජලයෙන් ඔන්ටේරියෝ විල පෝෂණය වේ.
මීට වසර 10,000කට ඉහත අවසන් අයිස් යුගයේදී ඇල්ලේ යටි හොය කිලෝමීටර 11ක් දිගැති වූ බව පැවසේ. එහෙත් යටි පාෂාණය මතට කඩා හැලෙන, තත්ත්පරයකට ටොන් 7000ක දිය කඳ හේතුවෙන්, යටි පාෂාණය වසරකට අඩි 4 බැගින් ඛාදනය වේ.


14. ෆන්ඩි මුහුදු බොක්ක

ෆන්ඩි මුහුදු බොක්ක/ Bay of Fundy
Photograph/ ඡායාරූපය: YYZDez, ‘Hopewell Rocks - Bay of Fundy, New Brunswick’, in Flickr.com, viewed on 14 October 2010, <http://www.flickr.com/photos/cephalosporin/2528137681/sizes/z/in/photostream>
සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලපෑමෙන් පෘතුවි වායු ගෝලයේ සහ ශිලා ගෝලයේ (පෘතුවි මතු පිට) උදම් ඇති වේ. වායුගෝලීය උදම්, අභ්‍යවකාශය දක්වා විහිදී යන අතර ශිලා ගෝලයේ හටගන්නා වඩදිය/ බාදිය උදම් දවසට දෙවරක් හටගන්නා අතර සාමාන්‍යයෙන් අඟල් 12කට උස් නොවේ.

පෘතුවියේ සිට හැතැප්ම 240, 000 දුරින් ඇති චන්ද්‍රයාගෙන් වඩදිය/ බාදිය සඳහා වන බලපෑම, පෘතුවියෙන් හැතැප්ම මිලියන 93ක් එපිටින් පිහිටි සූර්යයාගෙන් වඩදිය/ බාදිය සඳහා වන බලපෑමට වඩා වැඩි වේ. ශිලාගෝලයේ සිදුවන උදම් වලට 56% චන්ද්‍රයා වග කියන අතර (පෘතුවියට චන්ද්‍රයාගේ සමීපත්වය මත), 44% කට සූර්යයාගේ දායකත්වය ලැබේ (සූර්යයාගෙ විශලත්වය මත).

පෘතුවියේත්, සඳේ සහ සූර්යයාගේ භ්‍රමණය අනුව, වඩදිය/ බාදිය චක්‍රය පැය 24යි විනාඩි 52 ක් දිගු වේ. මෙම කාල පරාසය ඇතුලත පෘතුවියේ ඔනෑම ස්ථානයක වඩ දිය (ජලය වැඩි වීම) දෙවතාවකුත්, බාදිය (ජලය අඩු වීම) දෙවතාවකුත් ඇති වේ. චක්‍රය ආරම්භ වන්නේ වඩදිය මගිනි, වඩදිය ආරම්භවී පැය 6කුත් මිනිත්තු 13කට පසු ජලය බැස යාම ආරම්භ වේ (බාදිය). මෙසේ දිනකට දෙවරක් පැය 6යි මිනිත්තු 13 බැගින් වඩ දිය ඇති වේ. එසේම බාදියද සෑම වඩදිය වාරයකට පසු දිනකට දෙවරක් ඇති වේ.

චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලයට නතු වීමෙන් චන්ද්‍රයාට මුහුණලා පෘතුවි මුහුණතේ ඇති සාගර ජලය එදෙසට ඇදී ගොස් ජල මට්ටම ඉහල යයි. සමඟම චන්ද්‍රයාගේ පරිභ්‍රමණය හා පෘතුවි භ්‍රමණය හේතුවෙන් ඇතිවන ආවස්ථිති බලයෙන් චන්ද්‍රයාට ප්‍රතිවිරුද්ධ පෘතුවි මුහුණතේද සාගර ජල මට්ටම ඉහල යයි

Photograph/ ඡායාරූපය: Ocean Link Contributers, ‘The Moon Tide’, in Ocean Link-All about the ocean, viewed on 14 October 2010, < http://www.oceanlink.info/oinfo/tides/diurnaltides.gif>
-------------------------------------------------------------------------------------------------------------
Photograph/ ඡායාරූපය: Ocean Link Contributers, ‘The Sun Tide’, in Ocean Link-All about the ocean, viewed on 14 October 2010, < http://www.oceanlink.info/oinfo/tides/spring.gif>
චන්ද්‍රයාත්, සූර්යයාත් එක පෙලට සිටිනා විට අධික ගුරුත්වාකර්ෂණ බලයකට නතු වීමෙන් උදම් සඳහාවන බලපෑම අධික වේ. එනම් වඩදිය මට්ටම වෙනදාට වඩා ඉහල යයි.

Photograph/ ඡායාරූපය: Ocean Link Contributers, ‘The Sun Tide’, in Ocean Link-All about the ocean, viewed on 14 October 2010, < http://www.oceanlink.info/oinfo/tides/neap.gif>
මෙහිදී චන්ද්‍රයාත්, සූර්යයාත් එකිනෙකාට අංශක 90 ආනතියකින් සිටිනා බැවින් සූර්යාගේ ගුරුත්වාකර්ෂණයෙන් එදෙසට ජල මට්ටම යම්කිසි ප්‍රමාණයකින් ඉහල ගොස් චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණයෙන් එදෙසට එසැවෙන ජල මට්ටම යම් ප්‍රමාණයකින් පහළ යයි. මෙය වෙන්දාට වඩා වඩදිය මට්ටමේ අඩු වීමකි.  

මීට අමතරව, චන්ද්‍රයා පෘතුවි කක්ෂයට ආසන්නයෙන්ම ගමන් කරද්දී හෝ පෘතුවිය සූර්යයාට වඩාත් සමිපව ගමන් කරන අවස්ථාවලදී දැඩි ගුරුත්වාකර්ෂණයකට නතු වීමෙන් වඩදිය මට්ටම වඩාත් ඉහල යයි.
-------------------------------------------------------------------------------------------------------------
නැගෙනහිර කැනඩාවේ නිව් බෘන්ස්වික් සහ නෝවා ස්කෝශා යන පළාත්වලට අයත් ෆන්ඩි මුහුදු බොක්කේ දිනකට දෙවරක් ලොව අන්කිසි තැනක සිදු නොවනා ඓශ්චර්යයක් සිදු වේ. වඩදිය මඟින් ලොව සියළුම ගංගා ජලයේ එකතුව පරදන විශාල ජලස්කන්ධයක් ෆන්ඩි බොක්කට දිනකට දෙවරක් එක්වේ. මෙහි වඩදිය මට්ටම අඩි 53කි (ලොව සාමාන්‍ය වඩදිය මට්ටම අඟල් 12කි). දිනකට ජලය බිලියන ටොන් 100ක් බොක්ක තුලට ගලා ඒමත් පිට වීමත් සිදුවේ. මෙය බිහිසුණු දිය සුළි සහ සැඩ පහරවලින් කිපුණු අසාමාන්‍ය දර්ශනයකි.
Photograph/ ඡායාරූපය: Wikipedia Contributors, ‘The Bay of Fundy, shown on the east coast of North America’, in Wikipedia The Free Encyclopedia, viewed on 14 October 2010, <http://upload.wikimedia.org/wikipedia/commons/7/74/Wpdms_nasa_topo_bay_of_fundy_-_en.jpg>
      ජලය බැසයාම (බාදිය) ආරම්භවනවාත් සමඟ, බොක්කේ කිලෝමටර 5ක් ඈතට වන්නට ජලය නොපෙනී යයි, වඩදිය ආරම්භ වනවාත් සමඟ නැවතත් ප්‍රදේශයේ අඩි 50ක් උසට ජලයෙන් යටවේඅධික වඩදිය මට්ටමට හේතුව ෆන්ඩි බොක්කටම ආවේණික වූ පුනීල හැඩයත් ගැඹුරත් (මීටර 200ක් පමණ) බව පැවසේ. බොක්කේ වපසරිය වර්ග කිලෝමීටර 16,000ක් වේ.

      ද්‍රෝණියේ (බොක්කේ) ජලය අත්ලන්තික් සාගරයේ වඩදිය වැඩිවන රිද්මය සමඟ ඉදිරියටත් පසු පසටත් දෝලනයවේ. මෙහි ප්‍රතිඵලය එනම්  බොක්ක තුල ඇති ජලය දෝලනය වීම මඟින් අත්ලන්තික් සාගරයේ සිට බොක්ක තුලට පිවිසෙන උදමේ (වඩ දිය පහරේ) උස වැඩිවීමයි (අනුනාද නියමය ක්‍රියාත්මක වීම). මෙසේ දෝලනය නිසා බලපෑමට ලක්වන උදම්වල සලකුණු බොක්කේ සටහන් වේ. එනිසා හොප්වෙල් ගල්කුළු ආශ්‍රිත ප්‍රදේශයේ රත් පැහැති වැලි ගල් ඛාදනයවී උස ප්‍රතිමා ලෙස දිස් වේ. ශාන්ත මාර්ටින් ප්‍රදේශයේ මෙම උදම් ක්‍රියාවලිය හේතුවෙන් මුහුද ආශ්‍රිත විවිධ ගුහා නිර්මාණය වී ඇත.

        මුහුදු බොක්ක විවිධ තල්මසුන් වර්ග අටකට හා වෙරළාශ්‍රිත පක්ෂීන් දහසකට ආසන්න ප්‍රමාණයකට අහාර සපයන පෝෂක ප්‍රදේශයක් වේ