ලිපි එකතුව


Wednesday, October 20, 2010

19. බෙය(ර්) ග්ලැසියරය

බෙය(ර්) ග්ලැසියරය/ Bear Glacier

Photograph/ ඡායාරූපය: (IKONOS satellite image courtesy GeoEye, ‘The Bear Glacier on the Kenai Peninsula’, in Boston.com, viewed on 20 October 2010,
 < http://cache.boston.com/universal/site_graphics/blogs/bigpicture/eobs_01_14/e02_bear_iko.jpg>

බෙය(ර්) ග්ලැසියරය, අලැස්කාවේ “හාර්ඩිං” අයිස් යායෙන් ගලනා මහානුභාවසම්පන්න ග්ලැසියර් 30න් එකකි. හාර්ඩිං අයිස් යායේ ඇති ග්ලැසියර එකතුවෙන් මුහුදට ගලා නොබසින එකම ග්ලැසියරය වන්නේද බෙය(ර්) ග්ලැසියරයයි. ග්ලැසියරයක් යනු පොළව මතු පිට ගලා යන අයිස් ගොඩකි. ඒවායෙහි බරට අයිස් උස් ප්‍රදේශවල සිට පහත් බිම් කරා සංක්‍රමණය වේ. සාමාන්‍යයෙන් ගංගාවක් කඳු මුදුනතකින් පටන් ගෙන පහත්බිම් තුලට ගලාවිත් අවසන සාගරය හා එක් වන්නා සේ, බොහෝ ග්ලැසියර අඩි දහස් ගණන් උස කඳු මුදුන් වල සිට කිලෝ මීටර දහස් ගණනක් දුර ගෙවා මහා සාගරයට ගලා යයි (තල්ලු වී යයි). එසේ සාගරය දක්වා ගලා යන ග්ලැසියර “ටයිඩ්වෝටර්” ග්ලැසියර ලෙස හඳුන්වනු ලැබේ. සෑම ග්ලැසියරයක්ම සාගරයට ගලා යන්නේ නැත. ග්ලැසියරයේ අයිස් තව දුරටත් ඉදිරියට තල්ලු වීමට ශක්තියක් නොවූ තැන, ග්ලැසියර අග දියවී ජලාශයක් නිර්මාණය වේ.

බෙය(ර්) ග්ලැසියරයේ අගද එසේ විශාල ජලාශයක් නිර්මාණය වී ඇත. දින පතා ග්ලැසියරයෙන් ජලාශයට කඩා හැලෙන අයිස් නිසා ජලාශයේ අති විශාල අයිස් කුට්ටි දැක ගත හැක. මේවා අලැස්කාවේ ඇති විශාලතම අයිස් කුට්ටි බව කියැවේ.

ග්ලැසියරයට ලඟාවිය හැකි හොඳම ආකාරය බෝට්ටු හා ඔරු මඟිනි.  ඔරු මඟින් ජලාශයේ පාවෙන අයිස් කුට්ටි අසලට වඩාත් ලඟාවිය හැකි අතර, විශාල අයිස් කුට්ටි මුදුනත දියවී ඉන් වෑස්සෙන ජලය ජලාශයට වැටෙනා චමත්කාරජනක හඬට පවා ඇහුම්කන් දිය හැක. ජලාශයේ ජලය “Resurrection” බොක්ක ඔස්සේ සාගරයට එක්වේ. බොක්ක ඔස්සේ ජලාශයේ ජලය සාගර ජලයට එක්වන තෙක් මුහුදු ජලයෙන් ජලාශයේ ජලය පැහැදිලිව වෙන්කර හඳුනාගත හැක. ඒ අයිස් දියවී ගලනා ජලාශයේ ජලය කිරි පැහැයෙන් දිස්වීම නිසයි. බොක්ක අවට තල්මසුන්, මුහුදු පක්‍ෂීන්, මුහුදු සිංහයන් සහ  දිය බල්ලන් බහුල වේ.

1 comment: