ලිපි එකතුව


Monday, November 1, 2010

21. මෙන්ඩෙන්හෝල් ග්ලැසියරය

මෙන්ඩෙන්හෝල් ග්ලැසියරය/ Mendenhall Glacier
Photograph/ ඡායාරූපය: David Ford / Accent Alaska, ‘Summer at Mendenhall glacier’, in Alaska-in-pictures.com, viewed on 01 November 2010, < http://www.alaska-in-pictures.com/data/media/16/summer-at-mendenhall-glacier_1253.jpg>


View Mendenhall in a larger map

ඇමරිකා එක්සත් ජනපද පාලනය යටතේ පවතින ඇලැස්කාවේ වැඩි ප්‍රදේශයක් හිමෙන් වැසී පවතී. ඇලැස්කාව වූ කලි දහස් ගණන් වූ ග්ලැසියරයන්ගේ නිජ බිමයි. මෙවන් ග්ලැසියරයන් අතරින් වඩාත් වැදගත්, මනස්කාන්ත ග්ලැසියර කීපයක් වේ. ඉන් මෙන්ඩෙන්හෝල් ග්ලැසියරයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.

            මෙන්ඩෙන්හෝල් ග්ලැසියරය වූ කලි ජුනාඋ අයිස් යායේ සුවිසල් ග්ලැසියර තිස් අටෙන් එකකි. ජුනාඋ අයිස් යාය ඇලැස්කාවේ නිරිතදිගට වන්නට වර්ග කිලෝ මීටර 3885ක ප්‍රදේශයක් පුරා විසිර පවතී. පරිසරවේදියෙක් වන ජෝන් මියුවර් පවසන ආකාරයට, ඇලැස්කාවේ ඇති දර්ශනීයම ග්ලැසියරය මෙන්ඩෙන්හෝල් ග්ලැසියරය වේ. ග්ලැසියරයට ලඟාවීමට ඉතා පහසුය, එය ජුනාඋ නගරයේ සිට කිලෝමීටර 21ක දුරකින් පිහිටා ඇත.

            මෙහි පවතින සමුද්‍රාසන්න දේශගුණය නිසා ග්ලැසියරය මතට අධික හිම පතනයක් ලැබේ, එය වසරකට අඩි සියයකි. එසේ ග්ලැසියරය මතට පතිත වූ හිම, ඝණ අයිස් බවට පත්වී එමඟින් ග්ලැසියරය අළුත්වැඩියා වේ. අනෙක් සියළුම ග්ලැසියරයන් සේම මෙන්ඩෙන්හෝල් ග්ලැසියරයද, විශාල අයිස් ධාරිතාවක් සමඟ ගලා යයි. එය කඳු මුදුනේ සිට වෙරළබඩ කඳු පංතියේ පාමුල දක්වා අඩි 5400ක් පහලට  ශාන්ත ගමනක යෙදේ. ග්ලැසියරය යටි පාෂාණය ඛාදනයට ලක් කරමින් ගමන් ගන්නා වේගය දිනකට අඩි දෙකකි. යම්කිසි අයිස් ප්‍රමාණයක් කඳු මුදුනේ සිට (ග්ලැසියර ආරම්භයේ සිට) ගමනාන්තය දක්වා යෑමට වසර 250ක් ගතවේ. ග්ලැසියරය කිලෝමීටර 21ක් ගෙවා අඩි 200ක් ගැඹුරැති මෙන්ඩෙන්හෝල් විල නිර්මාණය කරමින් අවසන් වේ.


ග්ලැසියරය විලෙන් අවසන්වන සීමාවේදී නීල වර්ණ, ගොඩනැගිල්ලක් තරමේ සුවිසල් අයිස් කුට්ටි විලට කඩා හැලේ. ඒවා විල් ජලය මත පාවෙන අයිස් පර්වත බවට පරිවර්තනය වේ. ග්ලැසියරය ගමනාන්තයේදී ඝණත්වය අඩි 200ක් පමණවේ. ග්ලැසියරයේ අඩි 100ක් විල් ජලයෙන් මතු පිටද, ඉතිරි අඩි 100 විල් ජලයෙන් යටද පිහිටා ඇත.

            මෙන්ඩෙන්හෝල් ග්ලැසියරය ඇතුළු ජුනාඋ අයිස් යාය මීට වසර 3000කට ඉහත අයිස් යුගයේදී නිර්මාණය වූ බව පැවසේ. එය පසු ගිය 18වන ශතවර්ෂය දක්වාද නිර්මාණය වෙමින් පැවතී ඇත. එහෙත් ඉන්පසු පරිසර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් එය ක්‍රමයෙන් දියවීමට පටන් ගෙන ඇත. ග්ලැසියරය අළුත්වැඩියා වන වේගය එය දියවීමට ගතවන කාලය හා සැසඳීමේදී අඩු බව පෙනී ගොස් ඇත. 1767 වන විට ග්ලැසියරයේ කිලෝමීටර 4ක් දියවී ගොස් තිබුණි. වර්තමාන දියවීමේ වේගය අනුව (වසරකට අඩි 25ක් පමණ) ග්ලැසියරය සම්පූර්ණයෙන් අතුරුදහන් වීමට නම් තවත් ශත වර්ෂ කිහිපයක් ගත වෙතැයි පැවසේ. මෙතෙක් ග්ලැසියරය දියවීමෙන් මතු වූ භූමිය වසර ගණනාවක් නිසරු බිම් ලෙසින් පැවත වර්තමානයේ වෘක්‍ෂලතාදිය හා සත්ත්වයින්ට විසීමට සුදුසු භූමියක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පවතී.

            ග්ලැසියරය, විද්‍යායකු වූ තෝමස් මෙන්ඩෙන්හෝල් විසින් සොයාගන්නා ලදී. ඔහු එවකට ඇලැස්කාවත් කැනඩාවත් අතර දේශසීමා මැනුම් කටයුතුවල නිරතවින. ග්ලැසියරය නැරඹීම සඳහා හෙලිකොප්ටර් මඟින් ලඟාවිඅය හැකි අතර අවශ්‍ය නම්, හිම මත ගමන් කිරීමට සුදුසු වාහනයක් මඟින් ග්ලැසියරය මත ගම ගැනීමට හැක. 

2 comments:

  1. ඉශානි
    වටින දෙයක් ඔයා කරන්නේ. මටනම් කවදාවත් මේවා බලන්න යන්න ලැබෙන්නැතිවෙයි. මෙහෙමවත් මේ වගේ දෙවල් තියෙවනවා කියලා දැනගන්න පුවුවන් වීම මට වගේම අනිත් අයටත් වටීවි.
    (සිංහළ ‍බ්ලොග් අවකාශයේ කාන්තාවකගේ බ්ලොග් එකකට කමෙන්ටියක් අදමයි දාන්නේ.දිගටම ලියන්න. අපි කියවනවා.)

    ReplyDelete
  2. බොහොම ස්තූතියි. ඔබේ අදහස් අගය කරනවා...

    ReplyDelete