ලිපි එකතුව


Sunday, November 7, 2010

27. රේනියර් කඳු ශිඛරය

27. රේනියර් කඳු ශිඛරය/ Mount Rainier
වොෂිංටන්, ඇමරිකා එක්සත් ජනපදය
Photograph/ ඡායාරූපය:  Victor Szalvay, ‘Reflection lakes- Mount Rainier’, in http://www.Flickr.com, viewed on 07 November 2010, < http://www.flickr.com/photos/vs/788047423/lightbox>


View රේනියර් කඳු ශිඛරය in a larger map


රේනියර් කඳූ ශිඛරය, ස්ථර කිහිපයකින් සෑදුනු කේතාකාර සුවිසල් ගිනිකන්දකි. එය පෘතුවියේ ඇති භයානකම ගිනි කඳු දහසයෙන් එකක් ලෙස සැලකේ. එහෙත් ඒ බියකරු බව රේනියර් කඳු ශිඛරය වසා පවතින හිම පලස මඟින්ද කඳු පාමුල වසා සිටිනා හරිත පැහැයෙන් දිදුලන කේතුධර වනාන්තරයෙන්ද වසන් කරගෙන සිටී. වනාන්තර මායිමේ ඇත්තේ පිළිවෙලින් ලා කොළ පැහැති දෙණියත්, තද කොළ පැහැති කේතුධර වනයත්, ධවල වර්ණ රේනියර් කඳු ශිඛරයත්, නීල වර්ණයෙන් දිදුලන අහසේ ප්‍රතිබිම්බයත් පිළිබිඹු කෙරෙනා, කැඩපතක් බඳු සුවිසල් විලකි.

රේනියර් කඳු ශිඛරය, උතුරු ඇමරිකාවේ, බටහිර මායිමේ පිහිටි ගිනි කඳු වළල්ලේ ඇති විශාලතම සහ උසම ශිඛරයයි (මීටර 4392). මෙම ගිනි කඳු වළල්ල යාබද කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන්, ඔරිගන් සහ උතුරු කැලිෆෝනියා ප්‍රාන්ත තෙක් විහිදී යයි. ගිනි කන්ද වසර මිලියනයක් පැරණි අතර අවසන් වරට සක්‍රීය වී ඇත්තේ මින් වසර එකසිය පනහකට පෙරදීය. ස්ථර ගිනි කන්දක් වන මේවායෙන් පිටවන ලාවා අධික උකු ගතියකින් යුක්ත වීම නිසා වැඩි ප්‍රදේශයක ගලා යාමට මත්තෙන් ඝණීභවනය වේ. එහෙත් ගිනි කඳු පිපිරුමේ භයානකකම් වන්නේ කන්ද වසා පවතින අයිස් ස්ථර කැබලි වී සුන්බුන් සහ මහා මඩ ප්‍රවාහයක් ලෙස පහලට ගලා යාමයි.  මින් වසර 5600කට පෙර රේනියර් ගිනි කන්ද සක්‍රීය වූ අවස්ථාවක මෙසේ ගලා ගිය මඩ ප්‍රවාහයේ වපසරිය වර්ග කිලෝමීටර 330ක් වූ අතර ගැඹුර අඩි 460ක් වූ බව පැවසේ.

කඳු පාමුල පෙර සඳහන් කල ආකාරයට කේතුධර සහ හෙම්ලොක් වෘක්‍ෂයෙන් ආවරණය වී ඇති සෞම්‍ය කලාපික වැසි වනාන්තරයක් වන අතර කන්දේ පහල බෑවුම් භූ විෂමතා කලාප කිහිපයකට වෙන් කල හැක, ඒවා නම් අවසන් අයිස් යුගයේ නිර්මාණය වූ කඳුකර දෙණිබිම්, “හෙදර්” ශාකයෙන් සමන්විත උප කඳුකර බිම් වේ. කේතුධර වනාන්තරයේ වෘක්‍ෂ දළ වශයෙන් වසර දහසක් පැරණිය.  වැසි වනාන්තරය අවට විල් 382කට, ගංගා සහ ඇළ මාර්ග 470ක පැවැත්මට සහයවේ.

රේනියර් කඳු ශිඛරය රේනියර් ජාතික වනෝද්‍යානට අයත් වේ. ශිශිරයේදී හිම මත ලිස්සා යන්නන්ගේ පාරාදීසයක් බවට කන්ද පත් වේ. 



2 comments:

  1. මෙම ගිනි කදු වලල්ල යෙලෝස්ටෝන් වල තිබෙනවායැයි කියන ලොකයේ විශාලම ගිනි කදු පන්තියත් සමග සම්බන්ධයක් තියෙනවද?

    ReplyDelete
  2. නෑ නේද, යෙලෝ ස්ටෝන් ගිනි කඳු වයෝමිං ප්‍රාන්තයේ වෙනම ගිනි කඳු පංතියක්, රේනියර් කන්ද අයතිවෙන ගිනි කඳු වළල්ල ඉහත සඳහන් පරිදි බ්‍රිටිෂ් කොලොම්බියාව, වොෂිංටන්, ඔරිගොන් සහ උ. කැලිෆෝනියා දක්වා පමණයි විහිදෙන්නේ.

    ReplyDelete