ලිපි එකතුව


Tuesday, November 16, 2010

35. මැක් ඩොනල්ඩ් විල

මැක් ඩොනල්ඩ් විල/ Lake McDonald
මොන්ටැනා, ඇමරිකා එක්සත් ජනපදය
Photograph/ ඡායාරූපය:  Unknown, ‘Lake McDonald Glacier park pitures’, in http://www.citypictures.com, viewed on 16 November 2010, < http://www.citypictures.org/data/media/259/Lake_McDonald_Glacier_National_Park_Montana.jpg>


View මැක් ඩොනල්ඩ් විල in a larger map

මැක්ඩොනල්ඩ් විල ඇමරිකාවේ, මොන්ටැනා ප්‍රාන්තයේ, ග්ලැසියර ජාතික උද්‍යානයේ පිහිටා ඇති විශාලතම විලයි. තුන් පසෙකින් අඩි හයදහසක් අහස උසට විහිදී යන අධි ප්‍රපාතාකාර ශෛලමය කඳු වැටිවලින් වටවී ඇත. කඳු මුදුන්වලින් ආරම්භවී බෑවුම් ඔස්සේ ගලා යන ධවල වර්ණ කඳුකර ග්ලැසියර අතිශය මනස්කාන්ත දර්ශනයකි. කඳුකර/ ඇල්පයින් ග්ලැසියර යනු කඳු මුදුන් හෝ ඉහල බෑවුම්වල නිර්මාණයවී පහලට ගලනා ග්ලැසියරයි. පහළ බෑවුම් සාරවත් හරිත වර්ණ කේතුධර වනාන්තරයෙන් වැසී පවතී. 

විලට "මැක් ඩොනල්ඩ්" යන නම ලැබී ඇත්තේ 1878දී වෙළෙන්දෙකු වන "ඩන්කන් මැක්ඩොනල්ඩ්" නැමැත්තා තම නම විල සමීපයෙහි වූ බ(ර්)ච් ගසක කොටා ඇති බැවිනි. විල අවසන් අයිස් යුගය නැවත මතක් කර දෙන කාන්තිමත් නිදසුනකි. විලෙහි ගැඹුරු ද්‍රෝණිය නිර්මාණය වී ඇත්තේ එකල විල සහිත ප්‍රදේශය ඔස්සේ ගලා ගිය සුවිසල් ග්ලැසියරයෙන් සිදුවූ ඛාදනය හේතුවෙනි.  එම ග්ලැසියරයෙන් ජලය පිරුණු විල් ද්‍රෝණිය අවට වූ ධවල කඳු වැටිවල ප්‍රතිබිම්භය පෙන්නුම් කරනා කැඩපතකි. මේ කඳු වැටිවලින් නැගෙනහිර ප්‍රදේශය අයත් වන්නේ නැගෙනහිර මහද්වීපික බෙදීමටයි. විල අයත් වන්නේ උතුරු ඇමරිකා මහද්වීපයේ රොකී කඳු ආශ්‍රිත බටහිර මහද්වීපික බෙදීමටයි. ඔබට මතක ඇති 33 වන ලිපියේ ශාන්ත මරියා විල සම්බන්ධයෙන් මහද්වීපික බෙදීම ගැන විස්තර කලා. එය ග්ලැසියර ජාතික උද්‍යානයේ, මහද්වීපික බෙදීමෙන් නැගෙනහිරට වන්නට පිහිටි විලකි. මැක් ඩොන්ලඩ් විල වටා ඇති කඳු වැටි වැහි මුවාවක් ලෙස ක්‍රියා කරනා අතර ඉන් බටහිර ප්‍රදේශයට අධික වැසි ලැබී රතු දේවදාර සහ හෙම්ලොක් වෘක්‍ෂයෙන් හෙබි ඝණ වනාන්තරයක් නිර්මාණය වී ඇත. විල ග්ලැසියර ජාතික උද්‍යානයේ ගවේශනය කල යුතු විශිෂ්ඨ නිර්මාණයක් වේ. එහි සුවිසල් කඳුකර ග්ලැසියර 35ක් දක්නට ඇත. උද්‍යානයේ දහසකට ආසන්න දිය ඇළි ප්‍රමාණයක් දැකිය හැකි අතර අනේක වන මලින්සුසැදි කඳුකර මිටියාවත් සිත මෝහනය කරවයි. අවට, කඳුකර බැටළුවන්, එළුවන් හිස මුඩු රාජාලින් සහ අළු වළසුන්ගෙන් බහුල වේ.



1 comment:

  1. maxxa site eka. godak lassana than gana danagaththa.
    thank you very much

    ReplyDelete