ලිපි එකතුව


Monday, December 13, 2010

42. නිසරු බිම්

42. නිසරු බිම්/ Badlands (දකුණු ඩකෝටාව, ඇමරිකා එක්සත් ජනපදය)

   දකුණු ඩකෝටාවෙහි වර්ග කිලෝමීටර 989ක් පුරා විහිදී ඇති නිසරු බිම්, ජලය සහ සුළඟ මඟින් නිර්මාණය වූ සොබා දහමේ මූර්ති එකතුවක් කිවහොත් නිවැරදිය. අසාමාන්‍ය ලෙස ඛාදනය වූ භූමිය, බියුට විශාල ප්‍රමාණයකින් සහ කොත් හැඩැති ශෛලමය නිර්මාණවලින් සුසැදිය. මෘදු අවසාදිත ද්‍රව්‍ය සහ යමහල් අළු මිශ්‍රිත සානුව දීර්ඝ කාලීනව ඛාදනය වීමෙන් මෙම භූ ලක්‍ෂණ පහළ වී ඇත. බියුට යනු අංශක අනූවකට ආසන්න බෑවුමැති හුදකලා වූ හෙලකි. මෙහි මුදුනත සමතල වේ. බොහෝ දුරට ඝණකාභයක හැඩයක් ගනී. නැතහොත් සිලින්ඩරාකාර හැඩයක් ගනී. කැනඩාවේ ඩ්‍රම් හෙලර්හි නිසරු බිම්වල ඇති බියුට ඔබට මතක ඇති.

ඇමරිකාවේ ස්වදේශිකයන් විසින් මේ කඩතොළු සහිත ප්‍රදේශය නිසරු බිම් ලෙස නම් කර ඇත්තේ කිසිදු වගාවක් කිරීමට නුසුදුසු වූ හෙයිනි. එහෙත් විද්‍යාත්මකව බලන කල දකුණු ඩකෝටාවෙහි නිසරු බිම්හි විශාල  වටිනාකමක් ඇත. වර්තමානයේ මෙම ප්‍රදේශය නිසරු බිම් ජාතික වනෝද්‍යානයේ කොටසකි. මෙම වනෝද්‍යානය මඟින් ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම මිශ්‍ර තණ බිම පාලනය වේ. මිශ්‍ර තණ බිම් යනු  ඇමරිකා එක්සත් ජනපදය මැදින් ඉහල සිට පහලට විහිදී ගිය පරිසර පද්ධතියකි. මෙම කලාපයේ තණ බිම් වර්ග තුනක් දැකිය හැක: නැගෙනහිර ප්‍රදේශයේ උසැති තෘණ සහිත තණ බිම්, බටහිර උස් සානු මත ඇති මිටි තෘණ සහිත තණ බිම් සහ බටහිර- නැගෙනහිර තණ බිම් කලාප වෙන් වීමේදී අතර මැද පවතින, කලාප දෙකටම අයත් තෘණ සහිත මිශ්‍ර තණ බිම්. දකුණු ඩකෝටාවෙහි මිශ්‍ර තණ බිම්වල විශාල ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර ඒවා ඉහත සඳහන් පරිදි නිසරු බිම් ජාතික වනෝද්‍යානයයේ පාලනය යටතේ පවතී.
මීට වසර මිලියන 75 කට පමණ පෙර වූ මහද්වීපික තල වෙනස් වීමකදී නිසරු බිම්හි අවසාදිත ද්‍රව්‍ය ස්ථර ආකාරයට තැන්පත් වූ බව පැවසේ. එහිදී වැලි, රොන් මඩ, සහ මැටි,  යමහල් අළු ස්ථරද සමඟ අඩි දහස් ගණනක් යට තැන්පත් වුණි. වසර මිලියන පහකට පෙර සුදු ගඟ නැමැති ගංගාවක් මෙම ප්‍රදේශයේ ගලා ගොස් ඒ මඟින් පෙර තැන්පත් වූ ද්‍රව්‍ය ඛාදනය වී වර්තමානයේ දැකිය හැකි භූ නිර්මාණය සකස් වී ඇති බව පැවසේ. 
දකුණු ඩකෝටාවෙහි නිසරු බිම්, ලෝකයේ මෙතෙක් හමු වූ විශිෂ්ඨතම, ක්‍ෂීරපායී පොසිල නිධියද වේ. මෙම පොසිල වසර මිලියන 35ක් පැරණී බව කියැවේ. දීර්ඝ කාලීන ඛාදනය හේතුවෙන් අවසාදිත ස්ථරවල තැන්පත්ව තිබූ පොසිල පිටතට නිරාවරණය වී ඇත. මෙම පොසිල ඉයෝසීන යුගයේ අවසන් භාගයේ සිට ඔලිගොසීන යුගයේ මුල් කාලය දක්වා තැන්පත් වූ බව සැලකේ. මෙහි පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත්තේ 1800 දී පමණය. එදා සිට අද දක්වා ලොව පුරා විද්‍යාඥයින් විසින් මෙහි පොසිල ආශ්‍රිත පර්යේෂණ කර ඇති අතර ඉන් විද්‍යාවට සිදු වූ මෙහෙවර අති විශාලය. එකල පැවති පරිසර පද්ධතියද, ආහාර ජාල සහ ආහාර දාම පිළිබඳ මනා වැටහීමක් ලබා ගැනීමට මෙම පොසිල උපකාර වී ඇත. ක්‍ෂීරපායී පොසිල පමණක් නොව වෙනත් සත්ත්ව විශේෂවල පොසිලද මෙහි තිබී හමු වී ඇත. විශේෂයෙන්ම කැස්බෑවුන්ට සමාන ජීවී වර්ගයක පොසිල. ඉන් කියවෙන්නේ නිසරු බිම් ආශ්‍රිත ප්‍රදේශය බොහෝ කලකට පෙර සාගර ජලයෙන් යටව තිබූ කොටසක් බවයි. මෙහි හමු වූ ක්‍ෂීරපායී පොසිල සමහරක් නම්: රයිනෝසිරස්, අශ්ව පොසිල, ඔරියොඩෝන්ට්ස් (බැටළුවෙක් සයිස් සත්ත්ව විශේෂයක්), ඔටුවන්, ඌරන්, හාවුන්, මීයන් සහ ලේනුන් වර්ග වේ. ක්‍ෂීරපායී නොවන පොසිල: කැස්බෑවන්, කිඹුලන්, කුරුල්ලන්, කුඩා කටුස්සන් සහ ගොළුබෙලි විශේෂ.

උතුරු ඇමරිකාවේ මෙතෙක් හමු වූ ක්‍ෂීරපායී සත්ත්ව පොසිලවලින් විශේෂ බොහෝ ගණනක් සොයාගෙන ඇත්තේ දකුණු ඩකෝටාවෙහි නිසරු බිම් තුලිනි. මෙහි පොසිලවල වැදගත් කම වන්නේ ඒවා මනා ලෙස අවසාදිත ද්‍රව්‍ය තුල සංරක්‍ෂණය වී තිබීමයි. 


      Wikipedia

      YouTube

      Google Earth
UNESCO NATURAL WONDERS

1 comment:

  1. මෙ අර Little House in Big Woods කතා පෙළෙ එන පැත්ත නේද ?

    ReplyDelete