ලිපි එකතුව


Sunday, January 2, 2011

47. ග්‍රෑන්ඩ් ප්‍රිස්මැටික් උණු දිය උල්පත සහ ෆයර් හෝල් ගංගාව

47. ග්‍රෑන්ඩ් ප්‍රිස්මැටික් උණු දිය උල්පත සහ ෆයර් හෝල් ගංගාව (වයෝමින්ග්, ඇමරිකා එක්සත් ජනපදය)
  ෆයර් හෝල් ගංගාව මැඩිසන් විලෙන් ආරම්භ වන මැඩිසන් ගංගාවේ ප්‍රධානම අතු ගංගා දෙකෙන් එකකි. ගංගාව මහද්වීපික බෙදීම ඔස්සේ කිලෝමීටර 34ක් උතුරට ගලා ගොස්, යෙලෝස්ටෝන් උද්‍යානයේ මැඩිසන් මංසන්ධියේදී ගිබන් ගංගාවට එක්වේ. මේ ගමන් මාර්ගයේදී ෆයර් හෝල් ගංගාව ලොව සුවිශේෂී භූ විෂමතා කලාපයක් හරහා ගමන් කරයි. ඒ යෙලෝස්ටෝන්හි සුප්‍රසිද්ධ උණු දිය උල්පත් ද්‍රෝණි හරහායි. ගංගාව මුලින් "ඕල්ඩ් ෆේත්ෆුල්"   ගීසර් උල්පතට දකුණින් ඇති, කුඩා සිසිල් උල්පත් සමූහයක් පසු කරමින්, ක්‍රමයෙන් දුම් දමන විශාල උණු දිය උල්පත් මතින් ගමන් කරයි. උණු දිය උල්පත් මතින් ගමන් කරනා ගංගාවට නොයෙකුත් රසායනික ද්‍රව්‍ය සහ ඛණිජ අඩංගු උල්පත් ජලය එක්වේ. නිදසුනක් ලෙස බෝරෝන් සහ ආසනික් ඉහල මට්ටමකින් ගංගාවට එක්වේ.එසේ අධික ලෙස එක් වන බෝරෝන් සහ ආසනික් ප්‍රමාණය ජලජ ජීවීන්ගේ ආරක්‍ෂාවට පිටිවහලක් බව සොයාගෙන ඇත. මේ අධි සාන්ද්‍ර ඛණිජ ලවණ මිශ්‍ර ජලය නොතකා රේන්බෝ ට්‍රවුට් මසුන් ප්‍රදේශය ආශ්‍රිතව අභිජනනය කරයි. 


  යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ තුන්දහසකට අධික උණුදිය උල්පත් සහ ගීසර් උල්පත් ප්‍රමාණයක් ඇති අතර, එය ලොව විශාලතම උණු දිය උල්පත් එකතුව වේ. එහෙත් ඒ කිසිම උණු දිය උල්පතක් ග්‍රෑන්ඩ් ප්‍රිස්මැටික් උණු දිය උල්පත තරම් අලංකාර නොවේ. විෂ්කම්භය මීටර 116ක් සහ ගැඹුර අඩි 160ක් වන මේ යෝධ දුම් දමන උණු දිය උල්පත යෙලෝස්ටෝන් උද්‍යානයේ ඇති විශාලම උණු දිය උල්පතද වේ. එහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 75කි. උද්‍යානයේ ඇති අනෙකුත් උණුදිය උල්පත් සේම මෙහිද උල්පත් ජලය මතු පිටට පැමිණෙන්නේ සුමුදු හුණුගල් තලාවක් හරහායි. උණු දිය හුණු ගල්වල ඇති කැල්සියම් කාබනේට් සමඟ ප්‍රතික්‍රියා කර සෑදුනු ට්‍රැවර්ටින් ඛණිජය උල්පත වටා ස්ථර ආකාරයෙන් තැන්පත් වී ඇත. උල්පත දේදුනු වර්ණවල පැහැයෙන් බබළයි.  වඩාත් ගැඹුරු සහ උණුසුම් ජලය  ඇති උල්පත මධ්‍යයය තද නිල් පැහැයකින් දිස් වේ. මධ්‍යයයේ සිට උල්පත් ඉවුර දෙසට යාමේදී තද නිල ලා නිලක් වී නොගැඹුරු ස්ථාන දීප්තිමත් කොළ පැහැයකින් දිස්වේ. උණුසුමින් අඩු තැන්හි ඇල්ගී වර්ධනය වී ඇති අතර උල්පතේ ඒ ඒ උණුසුම් පරාසයන්ට හුරු වූ ඇල්ගී වර්ග ඇත. වැඩි උෂ්ණත්වයකට ප්‍රිය කරන  සයනෝබැක්ටීරියා (කොළ-නිල් ඇල්ගී) උල්පත වටා ඇති රත්වූ ට්‍රැවර්ටීන් ස්ථර මත වර්ධනය වී දීප්තිමත් කහ, තැඹිලි සහ රතු පටි  ආකාරයෙන් දිස්වේ.හොඳින් හිරු පායා ඇති දිනක උල්පතෙන් පිටවන වාෂ්ප මතට හිරු එළිය පතිත වී දේදුන්නක් නිර්මාණය වේ. මේ දරශනය උල්පතේ සිට හැතැප්ම භාගයක දුර සිට මනාව දැක ගත හැක. 


ග්‍රෑන්ඩ් ප්‍රිස්මැටික් උල්පතට අසලින් ඇත්තේ ලොව තවත් විශාලම ගීසර් උල්පතක් වන "එක්සෙල්සියර්" ගීසර් උල්පතයි. උල්පත විසින් ජලය අඩි 300ක්  ඉහලට විදිනු ලබන අතර වඩාත් ක්‍රියාකාරී උල්පතක් වන මෙය මිනිත්තුවකට උණුසුම් ජලය ලීටර 15,000ක් පමණ ෆයර් හෝල් ගංගාවට මුදා හරියි.  ගංගාවේ රේන්බෝසහ දුඹුරු ට්‍රවුට් මසුන්   අධික ගහණයක් ජීවත් වේ. ගංගාවේ තණකොළ වැවුනු ඉවුරු මත බයිසන් ගවයින් රංචු පිටින් තණ බුදිනු දැක ගත හැක. 

      Wikipedia-ග්‍රෑන්ඩ් ප්‍රිස්මැටික් උල්පත    Wikipedia-ෆයර් හෝල් ගංගාව

      YouTube

      Google Earth
UNESCO NATURAL WONDERS

3 comments:

  1. What has happened to the text of your earlier posts?

    ReplyDelete
  2. ගොඩක් ස්තූයි මේව දානවට...
    හැම එකටම කොමෙන්ට් දැම්මේ නැති වුනාට කියවනවා මම හැම එකම..

    ජය වේවා...!!

    ReplyDelete
  3. @ soro- බොහොම ස්තුතියි.

    @ SL- Ya... did some changes to the formatting. will correct them as soon as possible. thanks for the comments.

    ReplyDelete