ලිපි එකතුව


Thursday, April 28, 2011

56. සෙන්ටිනල් ශිඛර අර්ධගෝලය

56. සෙන්ටිනල් ශිඛර අර්ධගෝලය/ Sentinel Dome   (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය)
  භූ ගර්භ (පොළෝ අභ්‍යන්තරයේ) පීඩනය හේතුවෙන් උණු වූ මැග්මා පෘතුවි අභ්‍යන්තරයේ සිට පිටතට පැමිණීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අදාල මතු පිට පොළවෙන් ඉහලට නෙරා යයි. එහෙත් යමහල් විවරයක් සාදමින් ලාවා පිටතට පැමිණීමට පෙර ඝණීභවනයට ලක්වේ. පසු කලක ඝණීභවනය වූ ලාවා/ මැග්මා වසා සිටිනා පොළොව මතු පිට ස්ථරය වසර දහස් ගණනක් පුරා ඛාදනය වීම හේතුවෙන් එම මැග්මා ගුලිය පිටතට නිරාවරණය වේ. එසේ මැග්මා පිටතට පැමිණීමට දරන උත්සාහයේදී මැග්මා ගුලිය විවිධාකාර හැඩවලින් ඝණීභවනය වේ. උ.දා. කුළුණක් ආකාරයෙන් (යක්‍ෂයාගේ කුළුණ ඔබට මතක ඇති), අර්ධ ගෝලයක් ආකාරයෙන්.  

සෙන්ටිනල් යනු අර්ධගෝලයක් ආකාරයෙන් ඝණීභවනය වූ මැග්මා ගුලියකි. මැග්මා ඝණීභාවනය වූ කල එය ග්‍රැනයිට් (කළු ගල්) පාෂාණ ලෙස හඳුන්වනු ලැබේ. සෙන්ටිනල් ශිඛරයේ විශේෂත්වයක් නැතත් එය මතට නැග අවට බැලූ කල ඔබට දෙව්ලොවක සිරි නැරඹිය හැක. සියෙරා නෙවාඩා කඳු පංතියේ අංශක 360ක සර්ව දිශා දර්ශනයක් සෙන්ටිනල් ශිඛරාර්ධ ගෝලය මත සිටින ඔබට දැක ගත හැකිවන අතර යොසේමිටී නිම්නය සහ උද්‍යානය අලංකාර කරනා දිය ඇළි විශාල ප්‍රමාණයක දැක ගත හැක. 


සෙන්ටිනල් ශිඛරයට ඊසාන දෙසින් ලඟාවීම එතරම් අපහසු නොවන අතර එහි පාමුල සිට මුදුනට මීටර 140ක් ගෙවා පා තැබිය හැක. මුහුදු මට්ටමේ සිට මීටර 2476ක් සහ පාමුල සිට මීටර 140ක් උස් වූ සෙන්ටිනල් ශිඛරය, යොසේමිටී උද්‍යානයේ ග්ලැසියර් තුඩුව හැරුණු කොට ඇති උසම දෘශ්ඨි කෝණයයි. මෙහි සිට අවට නරඹන ඔබට යොසේමිටී උද්‍යානය නැරඹීම සඳහා වසරකට මිලියන ගණනක් වූ සංචාරකයින් පැමිණෙන්නේ ඇයි දැයි සිතා ගැනීමට අපහසු නැත. මෙහි සිට නැරඹිය හැකි දර්ශනීයම දසුන නම්, උතුරු ඇමෙරිකාවේ උසම දිය ඇල්ල වන මීටර 739ක් උස යොසෙමිටී දිය ඇල්ලයි, දිය ඇල්ල නැරඹීම සඳහා හොඳම කාලය මැයි මාසයයි. එකල විශාල ජලස්කන්ධයක් සහිතව ධවල පෙණ විසුරවමින් යොසෙමිටී දිය ඇල්ල කඩා හැලෙනා දර්ශනීය දසුන ඔබට දැක ගත හැක. 



      Wikipedia
UNESCO NATURAL WONDERS

1 comment:

  1. හොඳ ලිපියක් ඒත් පලවෙනි ඡේදෙ විතරයි පේන්නෙ අනික්වා වෙන ෆොන්ට් කලර් එකක්ද................

    ReplyDelete