ලිපි එකතුව


Tuesday, May 3, 2011

69. සහස්‍ර පහක් ආයු වැළඳූ ධවල කන්දේ බ්‍රිස්ට්ල්කෝන් පයිනස් වෘක්‍ෂ

69. සහස්‍ර පහක් ආයු වැළඳූ ධවල කන්දේ බ්‍රිස්ට්ල්කෝන් පයිනස් වෘක්‍ෂ/ Bristlecone Pine- White Mountains (කැලිෆෝනියාව,  ඇමරිකා එක්සත් ජනපදය)
   වැඩෙන වෘක්‍ෂයකට වඩා වැඩෙන පර්වතයකට සමාන බ්‍රිස්ට්ල්කෝන් පයිනස් නම් වෘක්‍ෂ විශේෂය මේ මිහි මත වැඩිම කලක් ආයු වැලඳූ වෘක්‍ෂ වේ. කැලිෆෝනියාවේ සියෙරා නෙවාඩා කඳු වැටියෙහි, ඊසාන දෙසින් පිහිටි ධවල කන්දෙහි මෙම බ්‍රිස්ට්ල්කෝන් වෘක්‍ෂ දැක බලා ගත හැක. දැනට සොයාගෙන ඇති පැරණිම සජීවී බ්‍රිස්ට්ල්කෝන් වෘක්‍ෂය මේ වන විට සහස්‍ර 5ක් ගෙවා දමා අවසන්ය. මේ වෘක්‍ෂය ලංකාවේ තිබුණී නම් සහ වෘක්‍ෂයට කථා කිරීමේ හැකියාව තිබුණී නම්, රාවණා රජු දඬු මොණරෙන් ගිය ආකාරයද, ඊජිප්තුවේ තිබුණි නම් පාරාවෝ රජ දවස පිරමීඩ තැනූ ආකාරයද අසා දැනගන්නට තිබුණි. කඳේ සහ අතුවල වසරින් වසර වර්ධනය වන වලලු සංඛ්‍යාවේ කාල නිර්ණය අනුව මේ වෘක්‍ෂ එතරම් පැරණි බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. 


මෙම ශාක වර්ධනය වී ඇත්තේ ධවල කන්දෙහි උන්නතාංශය අඩි 10000-11000ත් අතර කලාපයේයි. බැලූ බැල්මට චන්ද්‍රයාගේ මතු පිට ස්වරූපයට අතිශයින් සමානකමක් දක්වන , මේ ප්‍රදේශයට උරුම වූ තුනී සහ පැහැදිලි වායුගෝලය හරහා පතිතවන පාරජම්බුල කිරණයෙන් නැහැවුනු බ්‍රිස්ට්ල්කෝන් වෘක්‍ෂ මෙවන් කඨෝර පරිසරයක දිගු කලක් ජීවත්වීම විස්මය දනවන සුළුය. පස පෝෂකවලින් හීනය ක්‍ෂාරීයතාව/ ලවණ ගතිය අධිකය, වායුගෝලයේ ජල වාෂ්ප හිඟය. මෙම කටුක පරිසරයට ඔරොත්තු දීම සඳහා තරුණ බ්‍රිස්ට්ල්කෝන් වෘක්‍ෂ තම අතු ඉඳිකටු වන් පත්‍ර රාශියකගෙන් ඝණකම් ලෙස වසාගෙන ඇත.බැලූ බැල්මට නරි වල්ග රාශියක් සේ දිස්වේ. තරුණ බ්‍රිස්ට්ල්කෝන් වෘක්‍ෂවල හට ගන්නා ලාටු වැගිරෙන බ්‍රිස්ට්ල්කෝන් ඵලයෙන් හාත්පස පරිසරය සුවඳවත් කරයි. 


වෘක්‍ෂ තම දිවියේ ශතවර්ෂ ගණන් කෙමෙන් කෙමෙන් ගෙවා දමන අතර කටුක දේශගුණයට නිරාවරණය වීම හේතුවෙන් සිත් සතන් මවිත කරවන සුළු හැඩතල වෘක්‍ෂ කඳ සහ අතු මත නිර්මාණය වී ඇත. වෘක්‍ෂ කඳ විශාල ගැට සහිත ස්වරූපයක් උසුලන අතර අතු ඇඹරුණු ස්වරූපයක් පෙන්නුම් කරයි. තම දිවියේ සහස්‍ර ගණනක් ගෙවා අවසන මියගිය මහා බ්‍රිස්ට්ල් කෝන් වෘක්‍ෂ දිරාපත් නොවී තවත් වසර දහස් ගණනක් පවතී. වෙනත් සාමාන්‍ය වෘක්‍ෂ මියගිය විට දිරාපත් වීමෙන් කඳ සහ සෙසු අවශේෂ විනාශයට පත් වෙතත් මියගිය බ්‍රිස්ට්ල් කෝන් වෘක්‍ෂවල කඳන් විනාශයට පත් වන්නේ වසර දහස් ගණනක් හිම, වැලි සහ සුළං මඟින් ඛාදනයට ලක් වීමෙනි.


මිය ගිය සහ ජීවමාන බ්‍රිස්ට්ල්කෝන් වෘක්‍ෂ අධ්‍යනය මඟින් අවසන් හිම යුගයේ (වසර 10000කට පෙර) සිට වර්තමානය දක්වා සිදු වූ කාලගුණ විපර්යාස පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගත හැක. කාලගුණ විපර්යාස, ගසේ වර්ධනයේ සිදු වූ වෙනස්කම් මඟින් පෙන්නුම් කරන අතර ගසේ හරස්කඩක් අධ්‍යනයෙන් පැහැදිලි වේ. මිය ගිය බ්‍රිස්ට්ල් කෝන් වෘක්‍ෂවල කඳේ අවසන් ඛණ්ඩ/ වලලු සහ සජීවී වෘක්‍ෂවල ආරම්භක වලලු සංසන්දනයෙන් කාලගුණ විපර්යාස පිළිබඳ වඩාත් හොඳ නිගමනවලට එළඹිය හැක. ධවල කන්දෙහි ඇහි බ්‍රිස්ට්ල්කෝන් වෘක්‍ෂ අඩුම තරමේ වසර 4000ක්වත් ඉපැරණි වෘකක්‍ෂ වේ. ඒවාට කථා කල හැකි නම් ඉතිහාසය පිළිබඳ බොහෝ දෑ පවසනු ඒකාන්තය.   


      Wikipedia
UNESCO NATURAL WONDERS

2 comments:

  1. බොහොම ස්තුතියි නොදන්න දේවල් දැනුවත් කරනවට.......

    ReplyDelete
  2. සැක්......... මේක නම් මාර ගහක්නේ...........


    ජය වේවා....!!

    ප.ලි - පුළුවන් නම් අකුරු තව ටිකක් ඩාර්ක් කරන්න..

    ReplyDelete