ලිපි එකතුව


Monday, August 13, 2012

88.මැමත් ගුහා පද්ධතිය/ Mammoth Cave



88. මැමත් ගුහා පද්ධතිය/ Mammoth Cave (කෙන්ටකි ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
Sourcehttp://photos.crimea-photo.com/free-desktop-wallpapers-pictures-en/Crimea-image-wallpaper-1024-768-Crimea-Emine-Bair-Khosar-Cave-Mammoth-Cave-Crimean-Ni709587.shtml
ගුහා පද්ධතියේ සියළුම ගුහාවල සමස්ත දිග කිලෝ මීටර දහස ඉක්මවන හුණු ගල් සංයුතියෙන් සමන්විත මැමත් නම් ගුහා පද්ධතිය ලොව දිගම සහ සුවිසල්ම ගුහා පද්ධතියයි. මැමත් යනු සුවිසල් යන අර්ථය වන අතර  ඇමෙරිකාවේ, කෙන්ටකි ප්‍රාන්තයෙහි, ග්‍රීන් ගංගාව ආශ්‍රිතව ගුහා පද්ධතිය පිහිටා ඇත. මැමත් ගුහාව ලොව දෙවන විශාලම ගුහා පද්ධතිය වන ඇමෙරිකාවේ දකුණු ඩකෝටාවෙහි "ජ්වෙල්" ගුහා පද්ධතියේ දිග මෙන් තුන් ගුණයකි. නොනවතින ගවේෂණවල ප්‍රතිඵල ලෙස ගුහා පද්ධතියේ දිග වසරින් වසර වර්ධනය වේ. ගුහා මාර්ග ඔස්සේ ගලා යන භූ ගත ගංගාවන් මෙහි සුලභ දර්ශනයකි.  පහත දැක්වෙන්නේ මැමත් ගුහා පද්ධතිය ඔස්සේ ගලන භූ ගත ගංගා සහ එවන් ගංගාවක් ඔස්සේ පාරුවක නැගී යන පිරිසකි.

1790 දී සුදු ජාතිකයින් විසින් ගුහාව සොයාගත් බව පැවසුවත් සත්‍යය වශයෙන්ම මෙහි මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ අතීතය වසර හාර දහසකට එපිට ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යයි. ගුහා අභ්‍යන්තරයේ දැඩි අන්ධකාර පටු මාවත් ඔස්සේ ඇවිද යාමට ආලෝකයක් අවශ්‍ය වූ බැවින් ඔවුන් ගුහාව අසබඩ වැවෙනා "කේන්" නම් තෘණ විශේෂයෙන් තැනූ පන්දම් භාවිතා කර ඇත. වර්තමානයේ එම පටු මාවත් ඔස්සේ හැතැප්ම ගණනක් ඇවිද ගිය ගවේශකයන්ට හමු වූයේ එසේ දැවී ගිය පන්දම්වල අවශේෂය. එමෙන්ම ශත වර්ශ ගණනාවක් පුරා සුරැකුණු ආදි මුතුන් මිත්තන්ගේ පිය සටහන්, පාවහන්වල අවශේෂ සහ ඇඳුම් කැබලිද මෙම ගවේශකයන්ගේ නෙත ගැටී ඇත. මෙහි ගුහාවක තිබී වසර 2000ක් පැරණි මමිකරණයට ලක් වූ සිරුරක් සොයාගෙන ඇති අතර ඔහුගේ ශරීරයද, ඇඳුම්ද කදිමට ස්වාභාවිකවම සංරක්‍ෂණය වී ඇත. එම මිනිසා "ජිප්සම්" නම් වටිනා ඛණිජය කැණීම සඳහා ගුහාවට ඇතුළු වූ බව අනුමාන කෙරෙන අතර මියගොස් ඇත්තේ ටොන් පහක් බරැති ගලක් ශරීරය මතට වැටීමෙනි. 

හුණුගල් ගුහාවලටම ආවේණික වූ සුවිශේෂ ස්වාභාවික නිර්මාණ රැසක් මැමත් හුණුගල් ගුහාව තුල දැකිය හැක. 
  • හුනු කෙම / Sinkhole- ගලා යන ජල පහරක් සැණෙකින් පොළෝ අභ්‍යන්තරයට කිඳා බැස අතුරුදන් වන්නේද, එය හුනු කෙමක් තුලින් ගමන් කරයි. හුනු කෙමක් යනු මීටර 6- 600ත් අතර පරිධිය හෝ ගැඹුරක් සහිත හුණු ගල් ඛාදනය වී නිර්මාණය වූ වෘත්තාකාර වලකි. ගංගාවක් හෝ ජල පහරක් හුනු කෙමක් ඔස්සේ ගලා ගොස් නැවතත් සිතා ගත නොහැකි ස්ථානයකින් මතු විය හැක. මැමත් ගුහාවේ ඇති "සෙඩාර්" නම් හුණු කෙම මතු පිටට පෙනෙන්නේ කුඩා වැවක් ලෙසයි. පොළෝ මතුපිට ගලා යන ජල පහර සෙඩාර් හුනු කෙම ඔස්සේ ක්‍ෂණිකව සැඟව ගොස් පොළෝ අභ්‍යන්තරයේ පිහිටි ගුහා පද්ධතිය ඔස්සේ ගමන් කරයි. 
  • "ෆ්ලෝ-ස්ටෝන්" (Flow-stone)- හුණුගල් බිත්ති මතින් ජලය ගැලීමේදීද ඒ ගලන ජලයේ රිද්මයට/ හැඩයට අනුව කැල්සයිට් තට්ටු නිර්මාණය වේ. එසේ හුණු ගල් බිත්ති මතින් එකල ගැලූ ජල පහරවල හැඩය සහ ස්වාභාවය ෆ්ලෝ-ස්ටෝන් මඟින් මනාව නිරූපණය වේ.   
  • හිරි ලඹ ; ස්ටලක්ටයිට්  "ස්ටලක්ටයිට්" නිර්මාණය වන්නේ කැල්සියම් කාබනේට්වලින් සමන්විත ජලය, ගුහා වහලයෙන් කාන්දු වීම නිසා වන අතර, වහලයේ බිත්තිය මත එකතු වන සෑම ජල බිංදුවක් වටාම කැල්සයිට් වළල්ලක් (කොන් 6ක් සහිත ස්පටික කැල්සියම් කාබනේට්) නිර්මාණය වේ. මෙම ක්‍රියාවලිය වසර දහස් ගණනක් සිදුවීම හේතුවෙන් මුල මහත අග සිහින් (කේතාකාර) කූරක් ගුහා වහලයේ සිට පහලට නිර්මාණය වන අතර ඉහත සඳහන් පරිදි ඒවා "ස්ටලක්ටයිට්" ලෙස හඳුන්වනු ලැබේ. 
  • හිරි ටැඹ ; ස්ටලග්මයිට්  "ස්ටලග්මයිට්" යනු ගුහාවේ පෘෂ්ඨයේ එක් රැස් වුණ කැල්සියම් කාබනේට් මිශ්‍රිත ජලය හේතුවෙන් පහල සිට ඉහලට කැල්සයිට් වළලු නිර්මාණය වීමයි. මේවා පොළවෙන් ඉහලට එසැවුණු සිහින් ස්ථම්භ ලෙස දැක ගත හැකිවේ. 
  • හිරි ගල් ස්ථම්/ Columns- උඩ සිට පහලට නිර්මාණය වන හිරි ලඹයක් පහල සිට ඉහලට නිර්මාණය වන හිරි ටැඹක් හා එක් වූ විට හිරිගල් ස්ථම්භ නිර්මාණය වේ.
ජිප්සම් මල්
  • ජිප්සම් මල්- ජිප්සම් යනු කැල්සියම්, සල්ෆර් සහ ඔක්සිජන් එකතු වී සෑදුනු කැල්සියම් සල්ෆේට් වේ. එය කාලාන්තරය මුළුල්ලේ ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් මලක් ආකාරයේ භූ රූපයක් සෑදේ.
  • හෙලික්ටයිට්- කැල්සයිට් සහ ඇරගනයිට් මිශ්‍ර වී ගුහා බිත්තියේ සෑදුණ කැඩෙන බිඳෙන සුළු සිහින් තුඩවල් වැනි ලක්‍ෂණ.





ගුහාව නිර්මාණය වූ ආකාරය
හුනු ගල් ගුහා සියල්ලක්ම පාහේ නිර්මාණය වන්නේ එකම ආකාරයකටය. හුනුගල් ගුහා පද්ධති "කාස්ට්" නම් භූ ලක්‍ෂණයට අයත් වන අතර කාලාන්තරයක් තිස්සේ හුනුගල් හෝ ඩොලමයිට් තට්ටුවක්, කාබනික ජලය (co2+h2o=h2co3) හෙවත් කාබන්ඩයොක්සයිඩ් මිශ්‍ර ජලය සමඟ කාලයක් ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් ෙඑම පාෂාණ තට්ටුව තුල සුවිසල් කුහර, පටු මාර්ග නිර්මාණය වේ. මෙවන් භූ ලක්‍ෂණයක් "කාස්ට්" යනුවෙන් හඳුන්වයි. මෙම කාබනික ජල මූලාශ්‍ර වන්නේ වර්ෂා ජලය හා භූ ගත ජලයයි. 
වත්මන් මැමත් ගුහාව අයත් කෙන්ටකි ප්‍රාන්තය වසර මිලියන 350කට පෙර "මිසිසිපියානු" මුහුද නම් නොගැඹුරු මුදකින් ආවරණය වී පැවතින. වසර මිලියන ගණනක් පුරා එම මුහුදේ මිය ගිය බෙල්ලන්ගේ කටු මුහුදු පත්ලට කිඳා බැස සංක්‍ෂිප්ත වීම හේතුවෙන් හුනුගල් තට්ටු නිර්මාණය විය. පසුව මුහුද සිඳී ගොස් කාබනික වර්ෂා ජලයට සහ භූ ගත ජලය නිරාවරණය වී ඛාදනය වීම හේතුවෙන් වත්මන් ගුහා පද්ධතිය නිර්මාණය වූ බව සැලකේ.  
මැමත් හුනු ගල් ගුහාවේ සාමාන්‍ය ගැඹුර අඩි 700ක් වන අතර මතු පිට " Big Cliffy" නම් වැලිගල් විශේෂයකින් ආවරණය වී පවතී එම වැලිගල් ආවරණය අඩි කිහිපයක් ඝණකම් වන අතර හුණු ගල් ස්ථරය දැකිය හැක්කේ ඉන් පසුවයි. 

ගුහාව ආශ්‍රිත ජීවීන්
හුණුගල් ගුහාවක් යනු ඔක්සිජන් සහ ආලෝකය හිඟ අතිශය ආම්ලික පරිසරයකි. එවන් කටුක ලෙන් ආශ්‍රිත පරිසරයක් තම වාසස්ථාන කර ගනිමින්  ජීවත්වන ජීවීන් "එක්ස්ට්‍රොමොෆයිල්ස්" (Extremophiles) ලෙස හැඳින්වේ. මෙම ජීවීන් භූ විද්‍යාවට වැදගත් වන්නේ පෘතුවියෙහි මුල් ජීවය පිළිබඳ හෝඩුවාවන් සපයන බැවිනි. ලෙන් ආශ්‍රිත ජීවීන් ප්‍රධාන වශයෙන් කොටස් 3කි 1. Troglobite, 2. Troglophile, 3. Trogloxene. ට්‍රොග්ලොබයිට් යනු පොළව යට සදාකාලික අන්ධකාරයෙහි ජීවත්වන ජීවීන්ටය, මොවුන් සමහරකට චර්මයේ වර්ණක නොමැති අතර ඇස් පවා පිහිටා නැත. මොවුන් අතර ගුහා මත්ස්‍යයින්, පොකිරිස්සන්, ගුහා සැලමැන්දරාවන්, පළඟැටියන් සහ මකුළු විශේෂ දක්නට ඇත. ගුහාවෙහි අතිශය ඝණ අන්ධකාරයේ වසනා මොවුන්ට ඉන් පිටත පරිසරයක ජීවත්වීමට නොහැක. ට්‍රොග්ලොෆයිල් යනු මද ආලෝකයක් සහිත අඳුරු ස්ථාන තම වාසස්ථානය කරගත් ජීවීන්ටයි. මොවුන් අතර වවුලන්, මීයන්, ලෙන් පළඟැටියන්, සැලමැන්දරාවන් සහ ගැඩවිලුන් වර්ග ප්‍රධාන වේ. Trogloxene යනු ගුහා දොරකඩ වාසස්ථාන කරගත්, වළසුන්, හිවළුන්, උරුලෑවන්, සර්පයන් සහ නරියන් වැනි සතුන්ටයි.

මැමත් ගුහාව තම වාසස්ථානය කර ගත් ජීවී විශේෂ 200ක් පමණ සොයාගෙන ඇති අතර, ඉන් 42ක් මෙම ගුහාවටම ආවේණික ජීව විශේෂ වේ.  ඉන්දියානා වවුලා, අළු වවුලා, කුඩා/ ලොකු දුඹුරු වවුලා යන වවුල් විශේෂ මෙහි දක්නට ඇති වවුලන් අතර ප්‍රධාන වේ.  

Wikipedia
UNESCO NATURAL WONDERS

1 comment:

  1. shaaa lassanai. honda wistharayak samaga etha wadagath chaya ruupa kihipayak. sthuthi...

    ReplyDelete