ලිපි එකතුව


Saturday, April 28, 2012


86. ඩෙලවෙයාර් බොක්ක/ Delaware Bay (ඩෙලවෙයාර් ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
Sourcehttp://www.uploadimages4free.com/browse_images/delaware_horseshoe_crabs_delaware_bay_1999-3937.html (National Geographic Image)
මේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙලවෙයර් ප්‍රාන්තයයි. බොහෝ දුර ගමනක් ගෙවා පැමිණෙන ඩෙලවෙයර් ගංගාව අත්ලන්තික් සාගරය හා එක් වන්නේ වර්ග කිලෝමීටර 2030ක් වූ පුනීල හැඩැති ඩෙලවෙයර් බොක්කෙනි. බටහිර අත්ලන්තික් පක්‍ෂි පර්යටන මාර්ගයේ පිහිටා ඇති ඩෙලවෙයර් බොක්ක   ඇලැස්කාවේ "කොපර්" ගංගාවට පසුව පෘතුවි බටහිර අර්ධගෝලයේ  වැඩිම පක්ෂී සංඛ්‍යාවක් එක් රැස්වන ස්ථානය ලෙසද වාර්තා වේ.  

මේ සියල්ලටම වඩා ඩෙලවෙයර් බොක්ක ආශ්‍රිත වෙරළෙහි සුවිශේෂී ක්‍රියාවලියක් සිදු වේ. එනම් ඉතා උස් වඩදිය රළ නැඟ එන නව සඳ සහ පුර හඳ අතර කාලය (මැයි-ජුනි) අතර තුර  "හෝස්ෂූ" (අශ්ව ලාඩම් හැඩැති) කකුළුවන් ලක්‍ෂ ගණනක් අභිජනන ක්‍රියාවලිය සඳහා ඩෙලවෙයර් වෙරළට පැමිණීමයි. හෝස්ෂූ කකුළුවන්, කකුළුවන් විශේෂයක් වුවත් වඩා සමාන කමක් දක්වන්නේ ගෝනුස්සන්ට සහ මකුළුවන්ට වන අතර මේ කකුළු විශේෂය සජීවී පොසිල ලෙස හඳුන්වයි. වසර දහස්/ මිලියන ගණනකට පෙර පොසිල බවට පත්වූ ජීවියෙක් වර්තමානයේත් ඒ පොසිලයේ රූපකාය දරාගෙන ජීවත්වනවා නම්, එවන් ජීවීන් සජීවී පොසිල ලෙස සලකනු ලැබේ. මන්ද වසර මිලියන හෝ දහස් ගණනක පෙර විසූ බව පොසිල මඟින් සොයාගත් ජීව විශේෂ බොහෝමයක් වර්තමානය වන විට වඳව ගොස් ඇති බැවිනි. මෙතෙක් සොයාගත් හෝස්ෂූ කකුළුවෙක්ගේ පැරණිම පොසිලය මීට වසර මිලියන 450කට පෙර වූ ඔඩෝවිසියන් යුගයට අයත් යැයි සැලකේ. ඒ පොසිලයත් අද ජීවත් වන හෝස්ෂූ කකුළුවන්ගෙත් වැඩි වෙනසක් නොමැත. මෙවන් ජීවීන් පෘතුවියේ ඒ ඒ යුගවල සිදු වූ සමූහ වඳවයෑම්වලට සාර්ථකව මුහුණ දී අදත් පැවතෙයි. සමූහ වඳව යෑමකට උදාහරණයක් නම්  ක්‍රිටේසීය යුගයේ අග භාගයේදී පෘතුවිය උල්කාවක ගැටීම නිසා සිදු වූ ඩයිනසෝර් වඳව යෑමයි. (මෙවන් සුවිසල් සමූහ වඳව යෑම් 5ක් පෘතුවියේ විවිධ යුග කිහිපයක සිදු වී ඇත).

එක් හෝස්ෂූ ගැහැණු කකුළුවෙක් බිත්තර 65000- 120,000ත් අතර ප්‍රමාණයක් වැල්ලේ දමන අතර ඒවා එකවර දැමීමක් නොකර කාණ්ඩ වශයෙන් දමයි. සාමාන්‍යයෙන් එක් කාණ්ඩයකට 3000-4000ත් අතර බිත්තර ප්‍රමාණයක් අයත්වන අතර පිරිමි සතා එම බිත්තර සංසේචනය කරයි. කකුළු ගහණය කෙතරම්ද කිවහොත තවත් කකුළුවෙක් බිත්තර දැමීම සඳහා වැල්ලේ වළක් හාරන විට එම ස්ථානයේම් වෙනත් කකුළුවකු විසින් ඊට පෙර වළ දැමූ බිත්තර මතු පිටට පැමිණේ. මෙවන් අවස්ථාවකින් ප්‍රයෝජන ගැනීමට පෙර මග බලා සිටිනුයේ බටහිර අත්ලන්තික් පර්යටනයෙන් හෙම්බත්ව තම ශක්තිය වියැකී විඩාවට පත්වී සිටින ලක්‍ෂ සංඛ්‍යාත කුරුල්ලන්ය. මොවුන් දකුණු ඇමෙරිකාවේ සිට ගමන් ගන්නේ උතුරු ඇමෙරිකාවේ ඇලැස්කාව, ග්‍රීන්ලන්තය සහ ආක්ටික් වෘත්තය කරායි. එවන් දිගු ගමනක නියැලී සිටින ඔවුන් ඩෙලවෙයාර් බොක්කට ලඟාවන විට ඉතා වෙහෙසට පත්වී සිටියි. මෙම හෝෂූ කකුළුවන්ගේ බිත්තර, පක්‍ෂීන්ගේ ගෙවී ගිය ශක්තිය නැවත ලබා ගැනීමට ඉතා අනර්ඝ ආහාරයකි.
Source- http://www.nj.gov/dep/fgw/ensp/images/shorebirds.jpg 
86.2 - ඩෙලවෙයාර් වෙරළට රැස්ව සිටින ලක්‍ෂ සංඛ්‍යාත පක්‍ෂීන්

  Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment