ලිපි එකතුව


Friday, April 27, 2012


85. "කේව් ඔෆ් ද වින්ඩ්ස්" ගුහා පද්ධතිය/ Cave of the winds (කොළරාඩෝ ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
Sourcehttp://farm5.staticflickr.com/4045/4230308018_d63cc4e7dc_b.jpg
"කේව් ඔෆ් ද වින්ඩ්ස්" යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ කොළරාඩෝ ප්‍රාන්තයෙහි පිහිටා ඇති හුණු ගල් සංයුතියෙන් සමන්විත ලොව සුවිශේෂී ගුහා පද්ධතියක් වන අතර හුණු ගල් ගුහාවලටම ආවේණික වූ සුවිශේෂ ස්වාභාවික නිර්මාණ රැසකින් මෙම ගුහා පද්ධතිය සමන්විත වේ. ඔබටත් මෙවන් ගුහා පද්ධතියක් නිරීක්‍ෂණය කිරීමට කැමති නම් ඔබ යා යුත්තේ මෙයට නොදෙවෙනි ලොව විශිෂ්ඨතම හුණුගල් ගුහා පද්ධති කිහිපයෙන් එකක් වන රත්නපුර දිස්ත්‍රික්කයේ වවුල්පනේ හුණුගල් ගුහා පද්ධතියටයි. ගුහා වහලයේ සිට පහලට දික්වූ "ස්ටලක්ටයිට්" නම් හුණුගල් (කැල්සියම් කාබනේට්) කූරුද, ගුහා පෘෂ්ඨයේ සිට ඉහලට එසැවුණු "ස්ටලග්මයිට්" නම් හුණුගල් ස්ථම්භද, මෙවන් හුණුගල් ගුහාවල සුලභ මෙන්ම දර්ශනීය දසුනකි. කේව් ඔෆ් ද වින්ඩ්ස් ගුහා පද්ධතියේ මෙන් නොව ශ්‍රී ලංකාවෙහි වවුල්පනේ ගුහා පද්ධතියේ හුණුගල් කූරු/ ස්ථම්භ නොයෙකුත් වර්ණයන්ගෙන් සමන්විත වේ. "ස්ටලක්ටයිට්" නිර්මාණය වන්නේ කැල්සියම් කාබනේට්වලින් සමන්විත ජලය, ගුහා වහලයෙන් කාන්දු වීම නිසා වන අතර, වහලයේ බිත්තිය මත එකතු වන සෑම ජල බිංදුවක් වටාම කැල්සයිට් වළල්ලක් (කොන් 6ක් සහිත ස්පටික කැල්සියම් කාබනේට්) නිර්මාණය වේ. මෙම ක්‍රියාවලිය වසර දහස් ගණනක් සිදුවීම හේතුවෙන් මුල මහත අග සිහින් (කේතාකාර) කූරක් ගුහා වහලයේ සිට පහලට නිර්මාණය වන අතර ඉහත සඳහන් පරිදි ඒවා "ස්ටලක්ටයිට්" ලෙස හඳුන්වනු ලැබේ. "ස්ටලග්මයිට්" යනු ගුහාවේ පෘෂ්ඨයේ එක් රැස් වුණ කැල්සියම් කාබනේට් මිශ්‍රිත ජලය හේතුවෙන් පහල සිට ඉහලට කැල්සයිට් වළලු නිර්මාණය වීමයි. මේවා පොළවෙන් ඉහලට එසැවුණු සිහින් ස්ථම්භ ලෙස දැක ගත හැකිවේ. ඉහත ඡායාරූපයේ මෙම ලක්‍ෂණ දෙක පිළිබිඹු වේ.


ඒ හැරුණු කොට හුණුගල් ගුහා තුල දක්නට ඇති තවත් සුවිශේෂී දසුනක වන්නේ "ෆ්ලෝ-ස්ටෝන්" (Flow-stone) නම් නිර්මාණයයි. හුණුගල් බිත්ති මතින් ජලය ගැලීමේදීද ඒ ගලන ජලයේ රිද්මයට/ හැඩයට අනුව කැල්සයිට් තට්ටු නිර්මාණය වේ. එසේ හුණු ගල් බිත්ති මතින් එකල ගැලූ ජල පහරවල හැඩය සහ ස්වාභාවය ෆ්ලෝ-ස්ටෝන් මඟින් මනාව නිරූපණය වේ. 
Source- http://www.caves.org/committee/salons/images/Slides%202008/Flow%20Flowstone-Bosted.jpg
85.1: හුණුගල් ගුහාවක ඇති ෆ්ලෝ-ස්ටෝන් දසුනක්. මෙහිදී පෙර කලෙක ඒ ඒ ස්ථානයන් මතින් ගැලූ ජල පහරේ රිද්මයට කැල්සයිට් තට්ටු තැන්පත්ව ඇති අයුරු.


ගුහාව ආශ්‍රිත ජීවීන්
හුණුගල් ගුහාවක් යනු ඔක්සිජන් සහ ආලෝකය හිඟ අතිශය ආම්ලික පරිසරයකින් යුක්ත වූවකි. එවන් කටුක ලෙන් ආශ්‍රිත පරිසරයක් තම වාසස්ථාන කර ගනිමින්  ජීවත්වන ජීවීන් "එක්ස්ට්‍රොමොෆයිල්ස්" (Extremophiles) ලෙස හැඳින්වේ. මෙම ජීවීන් භූ විද්‍යාවට වැදගත් වන්නේ පෘතුවියෙහි මුල් ජීවය පිළිබඳ හෝඩුවාවන් සපයන බැවිනි. ලෙන් ආශ්‍රිත ජීවීන් ප්‍රධාන වශයෙන් කොටස් 3කි 1. Troglobite, 2. Troglophile, 3. Trogloxene. ට්‍රොග්ලොබයිට් යනු පොළව යට සදාකාලික අන්ධකාරයෙහි ජීවත්වන ජීවීන්ටය, මොවුන් සමහරකට චර්මයේ වර්ණක නොමැති අතර ඇස් පවා පිහිටා නැත. මොවුන් අතර මත්ස්‍යයින්, පොකිරිස්සන්, සැලමැන්දරාවන්, පළඟැටියන් සහ මකුළු විශේෂ දක්නට ඇත. ගුහාවෙහි අතිශය ඝණ අන්ධකාරයේ වසනා මොවුන්ට ඉන් පිටත පරිසරයක ජීවත්වීමට නොහැක. ට්‍රොග්ලොෆයිල් යනු මද ආලෝකයක් සහිත අඳුරු ස්ථාන තම වාසස්ථානය කරගත් ජීවීන්ටයි. මොවුන් අතර වවුලන්, මීයන්, ලෙන් පළඟැටියන්, සැලමැන්දරාවන් සහ ගැඩවිලුන් වර්ග ප්‍රධාන වේ. Trogloxene යනු ගුහා දොරකඩ වාසස්ථාන කරගත්, වළසුන්, හිවළුන්, උරුලෑවන්, සර්පයන් සහ නරියන් වැනි සතුන්ටයි.


ගුහා සිතියම
Source: http://caveofthewinds.com/wp-content/uploads/2011/03/cave-map.jpg
85.2 ගුහා පද්ධතියේ මුළු දුර හැතැප්ම දෙකකි
ගුහාව නිර්මාණය වූ අයුරු
මීට වසර මිලියන 500කට පෙර "ඔඩෝවීසියන්"- "පේලියොසොවික්" යුගයෙහි, කේව් ඔෆ් ද වින්ඩ්ස් ගුහා පද්ධතිය නිර්මාණය වීම ආරම්භ වූවා යැයි සැලකේ. එකල කොළරඩෝ ප්‍රාන්තය උණුසුම් සහ නොගැඹුරු මුහුදකින් වැසී පැවතින. එහි සිටි බෙල්ලන් මිය ගිය පසු උන්ගේ කටු මුහුදු පත්ලට කිඳා බැස ඇත. මෙලෙස වසර මිලියන ගණනක් පුරා මිය ගිය බෙල්ලන්ගේ කටු, තට්ටු වශයෙන් තැන්පත්ව සංක්‍ෂිප්ත වී තදැති හුණුගල් පාෂාණ බවට පරිවර්තනය විය.  මෙම ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් වන්නේ හිම තට්ටු එක මත එක තැන්පත්ව එකට තදවී අයිස් නිර්මාණය වීමයි. මීට වසර මිලියන 70කට පෙර එකී මුහුද සිඳී ගොස් මුහුදු පත්ලෙහි වූ මෙම හුණුගල් පද්ධතිය පිටතට නිරාවරණය වූ අතර පසුව ඒවා වර්ෂා ජලයෙන් යට වූ බව සැලකේ. මෙකී හුණුගල්, ගුහා ලෙසට පරිවර්තනය වූයේ වසර මිලියන 4-7කට පෙර වර්ෂා ජලයෙන් යටව තිබූ කාලයෙහිය. ගුහාවක් නිර්මාණය වීමට නම් මෙම පාෂාණ පද්ධතියෙහි විශාල කුහර නිර්මාණය විය යුතු වේ. වර්ෂා ජලය සමඟ කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර වී දුර්වල කාබනික අම්ලයන් සෑදිනි, මේවා හුණුගල් (කැල්සියම් කාබනේට්) සමඟ ප්‍රතික්‍රියා කර එනම් හුණුගල් දියවී වසර මිලියන ගණනක ඇවෑමෙන් හුණුගල් පද්ධතිය තුල විශාල කුහර සහ පටු මාර්ග නිර්මාණය වී කේව් ඔෆ් ද වින්ඩ්ස් නම් හුණු ගල් ගුහා පද්ධතිය නිර්මාණය විය. කාලයක් ගතවූ පසු වර්ෂා ජලයද සිඳී ගිය අතර ගුහා පද්ධතිය වර්තමානයේ දිස්වන පරිදි පිටතට නිරාවරණය විය.

 Cave of the wind
UNESCO NATURAL WONDERS

3 comments:

  1. මම ඉදිරි සති දෙක තුන තුළ USA යන්න බලපොරොත්තුවෙන් ඉන්නේ .ඹබගේ මේ විස්තර ඉතා වැදගත්. ස්තූතියි මේවා ලබා දුන්නට. ලංකාවේ ස්ථානත් සමග කරණ විස්තරය නිසා ලිපිය හරිම අකර්ශණීයයි.ඉදිරියටත් මේ වගේ විස්තර බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete