ලිපි එකතුව


Monday, November 26, 2012




90. වචූකා කඳු/ Huachuca Mountains (ඇරිසෝනා ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
Source: http://www.funbirdingtours.com/wp-content/gallery/se-arizona/11-0716-2/Huachuca-Mountains-11-0716-01.jpg
ඇරිසෝනාවේ කාන්තාරීය ශුෂ්ක තෘණ භූමී මතින් නැගී සිටිනා අහස් දූපත් 40න් එකක් වන්නේ වචූකා කඳු වැටියයි. වචූකා කන්ද පිළිබඳ දැන ගැනීමට පෙර ඇරිසෝනාවේ පරිසරය, සහ අහස් දූපතක් යනු කුමක්දැයි දැන සිටිය යුතුය. ලෝකයේ තෘණ භූමිවල ව්‍යාප්තිය ප්‍රධාන කොටස් කිහිපයකට වර්ග කල හැක.
1.      නිවර්තන සහ උප නිවර්තන තෘණ භූමි
2.      සෞම්‍ය කලාපීය තෘණ භූමි
a.       පිටාර තෘණ භූමි
b.      කඳුකර තෘණ භූමි
c.       තුන්ද්‍රා තෘණ භූමි
3.      කාන්තාරීය ශුෂ්ක තෘණ භූමි.
ඇරිසෝනා ප්‍රාන්තය අයත් කලාපයෙහි දක්නට ලැබෙන්නේ ඉහත සඳහන් වර්ග අතරින් කාන්තාරීය ශුෂ්ක තෘණ භූමි වේ. මෙම තෘණ භූමිවල විශේෂත්වය නම් තැනින් තැන දක්නට ලැබෙන කටු සහිත හෝ උල් පත්‍ර සහිත පඳුරුය. මේවා ශුෂ්ක පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය වී ඇත.මෙවන් තෘණ භූමිවලට ලැබෙන වාර්ෂික වර්ෂාපතන අඟල් 10ට වඩා අඩු අතර අධික වාෂ්පීකරණය සහ උත්ස්වේදනය නිසා වාතය, ජලවාෂ්පයෙන් හීන වේ.
අහස් දූපතක් යනු  අවට පිහිටි තැනිතලා මතින් නැගී සිටින හුදකලාවේ පිහිටි කඳුය. කන්දෙහි පවතින පරිසරය, කන්ද අවට පරිසරයට හාත්පසින්ම වෙනස් වේ.
ඇරිසෝනාහි වචූකා කඳු වැටියෙහි පාමුල මුහුදු මට්ටමේ සිට මීටර 1199ක් ඉහලින් පිහිටන අතර උසම ස්ථානය වන මිලර් ශිඛරය මුහුදු මට්ටමේ සිට මීටර් 2885ක් උසින් පිහිටයි. වචූකා ඇතුළු ඇරිසෝනාහි අනෙකුත් අහස් දූපත් තුල උතුරු ඇමෙරිකාවේ ඉහලම ජෛව විවිධත්වය දක්නට ඇති අතර ඒකදේශිකතාවය සහ සිරස් පර්යටනය මෙවන් පරිසර පද්ධතියක දක්නට ලැබෙන ජීව විද්‍යාත්මක සංසිද්ධි වේ. ඒකදේශිකතාවය යනු කිසියම් ජීවී විශේෂයක් කිසියම් ප්‍රදේශයකට පමණක්  සීමා වීමයි. සිරස් පර්යටනය යනු, ශීත කාලයේදී සතුන් විසින් අධික ශීතල මග හැරීම පිණිස ඉහල උන්නතාංශයේ සිට පහල උන්නතාංශ දක්වා සංක්‍රමණය වීමයි. උන් ශීත කාලය නිමවූ පසු අභිජනන ක්‍රියාවලිය සඳහා නැවතත් උස් කඳු මුදුන් කරා සංක්‍රමණය වේ.
වචූකාහි පහල මට්ටම (පහල උන්නතාංශයේ) සමන්විත වන්නේ පඳුරු සහිත ශුෂ්ක තෘණ භූමිවලින් වන අතර ඉහල මට්ටම හෙවත් ඉහල උන්නතාංශය ඕක් සහ පයිනස් වෘක්‍ෂයෙන් සුසැදි වනාන්තරවලින් සමන්විතවේ. කඳු පාමුල සිට ඉහලට ශීඝ්‍රයෙන් වෙන්ස්වන පරිසර පද්ධතිය ජෛව විවිධත්වයට බොහෝ සෙයින් ඉවහල් වී ඇති අතර, නානාප්‍රකාර පක්‍ෂි වර්ග රැසකගේ ස්වර්ගය බවට පත්ව ඇත. මෙහි පක්‍ෂීන් හැරුණු කොට උරග විශේෂ 60ක් සහ ක්‍ෂීරපායී විශේෂ 78ක්ද දැකිය හැක.
වචූකා කඳුවැටියෙහි උසම ස්ථානය වන මිලර් ශිඛරයට නැඟි ඔබට ඇරිසෝනාහි කටුක පරිසරයේ අංශක 360ක් වූ අලංකාර සර්ව දිශා දර්ශනයක් හසු කරගත හැකි වේ. වචූකාහි දක්නට ලැබෙන අනෙකුත් මනරම් ස්ථානය නම් “රැම්සේ” කැණියම රක්‍ෂිතයයි. ශීතල අභයභූමියක් වන මෙහි උල්පත්වලින් පෝෂණය වී වසර පුරා ගලායන ජල පහරවල් දක්නට ඇත. රැම්සේ අභය භූමිය තුල වසන්තයේ සිට ශිශිර සෘතුව දක්වා , ලොව කුඩාම පක්‍ෂි වර්ගය වන හමිං බර්ඩ් විශේෂ 14ක් දැකිය හැක. ඊට අමතරව සුදු වලිගැති මුවා, ක්වාටි නම් සත්ත්ව විශේෂය, Javelina නම් ඌරු විශේෂය සහ කළු වලසා මෙම අභය භූමිය තුල දක්නට ඇත.
ඇමෙරිකාවේ ස්වදේශික රණශූරයෙක් වන Geromino (1829) වරක් වචූකාවට පැමිණ ඇති බව සඳහන් වන අතර ඇරිසෝනාවේ මෙම ප්‍රදේශය මුලින්ම ගවේෂණය කරන ලද්දේ ස්පාඥ්ඥ ජාතිකයෙකු වන ෆ්‍රැන්සිස්කෝ වස්කෝ ද කොරුනාඩෝ බව සඳහන් වේ.  එකල ස්පාඥ්ඥයේ, ජනප්‍රවාදයෙහි සඳහන් සබෝලා නම් ප්‍රදේශයේ රත්තරන්වලින් නිර්මාණය වූ නගර හතක් පිළිබඳ උනන්දුවක් පැතිර ගිය අතර ඒවා පෘතුවියේ හැතැප්ම සිය ගණනක් උතුරින් කාන්තාර පරිසරයක තිබෙනා බව විශ්වාස කෙරිණි. දේශ ගවේෂණයට සමත් ස්පාඥ්ඥ ජාතිකයෝ සමහරක් නැව් නැග, මෙම රත්තරන් නගර සොයා ලොව වටා ගවේශණයේ නිරතවූ අතර ඉන් අයෙක් වූ ෆ්‍රැන්සිස්කෝ වස්කෝ ද කොරුනාඩෝගේ ගමනාන්තය වී ඇත්තේ ඇරිසෝනාහි වචූකා කඳුවැටිය සහිත ප්‍රදේශයයි. එහිදී ඔහුට කෙදිනකවත් රත්තරන් නගර හතක් හමු නොවූ අතර ඒ වෙනුවට ජෛව සම්පතෙන්  ආඩ්‍ය වූ වචූකා කඳු වැටිය මුණ ගැසුණි.


Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment