ලිපි එකතුව


Tuesday, February 24, 2015

94. සිතුවම් කල කතර/ Painted Desert


94. සිතුවම් කල කතර/ Painted Desert(ඇරිසෝනා ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)

ඇරිසෝනා නිසරු කතරට චමත්කාරය ගෙනදෙන යමක් වේද, ඒ වෛවර්ණ සිතුවමක් මෙන් විසිතුරු “පේන්ටඩ් ඩෙසර්ට්” නම් භූමියයි. වෙනත් කාන්තාර පරිසරයන්හි දක්නට ලැබෙන්නේ අනන්තය තෙක් දිව යන කහ-දුඹුරු පැහැයට හුරු වාලුකා තලය වුවත් “පේන්ටඩ් ඩෙසර්ට්” නම් කාන්තාර භූමිය ඉහත සඳහන් කල පරිදි අනේක වර්ණ පාෂාණ ස්ථරවලින් විසිතුරුය. හිරු බැස යන සැඳෑවේ පතිත වන මළාණික රශ්මි කදම්භය මෙහි වර්ණවත් බව තවත් තීව්‍ර කරයි. ලා දම් පැහැයේ සිට අළු පැහැය දක්වාත් දීප්තිමත් වර්ණ වන රතු තැඹිලි සහ රෝස පැහැයෙනුත් භූමිය විචිත්‍ර වේ. එනම් එක් පාෂාණ ස්ථරයක් එක් පැහැයකිනුත් ඊට ඉහලින් ඇති පාෂාණ ස්ථරය තවත් පැහැයකිනුත් ආදී ලෙස, විවිධ පැහැති ස්ථර රාශියක් එක මත එක දැක ගත හැකිය.
උතුරු ඇරිසෝනාවේ මහා කැණියමටත් පාෂාණීභූත වනයටත් අතරමැදිව වර්ග හැතැප්ම 75000ක් වූ විශාල ප්‍රදේශයක පැතිර පවතින මෙම භූමිය පහසුවෙන් ඛාදනය වන සුළු ස්ථරිභූතවූ රොන්මඩ, මඩ ගල්, හුණු මැටි, වැලි ගල් සහ ශල්ක තට්ටුවලින් සමන්විත වන අතර මිලියන 200කට පමණ පෙර වූ ට්‍රියාසික් යුගයේ Chinle භූ ලක්ෂණ පෙන්නුම් කරයි. එනම් මෙම ස්ථර නිර්මාණය වීම සඳහා කලකට ඉහත ගලාගිය ගංගාවලින් තැන්පත් වූ රොන්මඩ ප්‍රවාහයන්, වගුරුබිම්, විල් වැනි ජලාශවලින් ඉතිරි වූ මඩ හේතු වී ඇත. මෙම උස ගොඩැලි වන් පාෂාණ ස්ථරවල වක්‍රාකාර හැඩයට නිරන්තර සුළඟ හේතු වී ඇති අතර විවිධ සංයුතීන්ගෙන් සමන්විත යකඩ සහ මැංගනීස් බහුලත්වය හේතුවෙන් එකී ස්ථර විවිධ පැහයෙන් සමන්විත වේ.

මෙම ප්රදේශයේ ගිම්හාන කල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් පමණ වන අතර ශීත කාලයේදී එය 1-5 ත් අතර අගයක් ගනී. සාමාන්‍ය වර්ෂාපතනය වර්ෂයකට මිලිමීටර 160ක් පමණ වේ. පේන්ටඩ් ඩෙසර්ට් භූමිය අයත් වන්නේ උතුරු ඇමරිකානු ස්වදේශික කොට්ඨාශයක් වන “නාවහො” ගෝත්‍රික බල ප්‍රදේශයටයි. ඔවුන් උතුරු ඇමරිකාවේ වැඩිම ජනගහනයකින් යුතු ස්වදේශික කොට්ඨාශය වන අතර ඔවුන්ටම ආවේණික වූ අර්ධ පාලනයක් හිමිය.



  Wikipedia
UNESCO NATURAL WONDERS

3 comments:

  1. ස්තුතී ,, බ්ලොග් එකේ පළල වැඩි වගේ, කියවගෙන එද්දී පේලි මාරු වෙනවා. මොනාහරි කරන්න,, වටිනා විස්තරයක් බ්ලොග් එකේ හැඩය ගැනත් හිතන්න

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක පේන්නේ කොහොමද කියලා screen shot එකක් අරන් ishani2006@gmail.com එකට mail කරන්න පුළුවන්ද? මම මේක check කරලනෙ තියෙන්නේ different computers වල සහ Mobile phonesවල පේන්නෙ කොහොමද කියලා. Anyway I really appreciate if you can send me a screenshot.

      Delete
    2. This comment has been removed by the author.

      Delete