ලිපි එකතුව


Wednesday, December 5, 2012


93. උල්කාපාත ආවාටය/ Meteor Crater (ඇරිසෝනා ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)

ඇරිසෝනා කාන්තාර භූමියෙන් විශාල පීරිසියක් හැඩැති මෙම අපූර්ව භූ ලක්‍ෂණය සොයා ගත්තේ 1871 වර්ෂයේදීයි. ආසන්න වශයෙන් කිලෝ මීටර් දෙකක විෂ්කම්භයක්ද, මීටර් 175ක ගැඹුරක්ද සහිත, කලින් ඇස නොගැටුනු මෙවන් භූ ලක්‍ෂණයක් කෙසේ ඇති වූයේ දැයි සිතා ගැනීම එකල විද්‍යාඥයින්ට මහත් ගැටළුවක් විය. එය හමු වූ මුල් කාලයේදී නෂ්ඨව ගිය යමහලක් ලෙස සැක කලත්, 1891දී කල පර්යේෂණයකින් මෙම ආවාටය තුල සැලකිය යුතු යකඩ අංශු ප්‍රමාණයක් තිබීමෙන් මෙය යමහල් ක්‍රියාකාරීත්වයකින් සෑදුනු මතය ප්‍රතික්‍ෂේප වී උල්කාපාතයක් වැටී නිර්මාණය වූවක් යැයි නිගමනය විය. තවද ආවාට පසෙහි Coesite සහ Stishovite යන දුර්ලභ ඛනිජ වර්ග කිසියම් ප්‍රමාණයකින් අඩංගු වී තිබුණි. මේවා සිලිකා නම් ඛණිජය අතිශයින් ඉහල පීඩනයකදී රත් වීමෙන් බිහිවන ඛණිජ ද්‍රව්‍යයන් වන අතර එවන් ඉහල උෂ්ණත්වයකට පසෙහි වූ සිලිකා රත් වීමට නම් සුවිසල් න්‍යෂ්ඨික පිපිරුමක් මෙහි සිදු විය යුතු බව උපකල්පණය කෙරුණි.

 එහෙත් තවත් සමහරෙක් කියා සිටියේ එය උල්කාවක් වැටී සෑදුන ආවාටයක් නම් එම උල්කාවේ ඉතිරිවූ කොටස ආවාටය මධ්‍යයේ පොලව අභ්‍යන්තරයට ගිලා බැස තිබිය යුතු බවයි. උල්කාපාතයක් පෘතුවි වායුගෝලයට ඇතුළු වීමේදී එයට කිසියම් පරිමාවක් තිබුණත් පෘතුවි ගුරුත්වාකර්ෂණයට හසුවී පැයට කිලෝමීටර් දස දහස් ගුණයක වේගයෙන් ඇදී එද්දී වායුගෝලය හා ඝර්ෂණය වන අතර පෘතුවි පෘෂ්ඨයට පතිත වීමට පෙර වාෂ්ප වී යයි. එහෙත් මෙවන් ආවාටයක් නිර්මාණය කිරීමට නම් එම උල්කාපාතයට සැලකිය යුතු විශාලත්වයක් තිබිය යුතු අතර, උල්කාව සම්පූර්ණයෙන් වාෂ්ප නොවී පතිත විය යුතුය. එසේ නොදැවී ඉතිරි වූ උල්කා කොටස සාමාන්‍යයෙන් නිර්මාණය වී ඇත්තේ යකඩ හෝ නිකල්වලිනි. එසේ නම් මෙම ආවාටය මධ්‍යයේ යකඩ/ නිකල්වලින් සෑදුන උල්කාව තිබිය යුතු යැයි විද්‍යාඥයින් අනුමාන කල අතර එය සොයා ගැනීමට ඔවුන් විසින් ආවාටයේ අසාමාන්‍ය චුම්භක ක්‍ෂේත්‍රයක් තිබේදැයි පරීක්‍ෂා කරන ලදී. එවන් අසාමාන්‍ය තත්ත්වයක් ඔවුන්ට වාර්තා නොවුණ අතර අවසානයේ ඩැනියල් බැරින්ජර් නම් විද්‍යාඥයා විසින් ආවාට මධ්‍යයේ සිට මීටර 419 ක් යන තෙක් පොළව අභ්‍යන්තරයට සිදුරු කරන ලදී. එහෙත් කිසිවෙකුටත් හමු වූයේ උල්කාවක් නොවේ. එහෙත් අසාමාන්‍ය ලෙස ආවාටයේ ගැට්ටේ සිට කිලෝ මීටර් තුනක්. හතරක් ඈතින් යකඩවලින් සෑදුණු උල්කා කැබලි සැලකිය යුතු ප්‍රමාණයක් සොයාගත හැකි විය. පහත දැක්වෙන්නේ එසේ ආවාටය අවටින් සොයා ගත් උල්කා කැබලිය. 

හමු වූ විශාලම උල්කා කැබැල්ල
ග්‍රෑම් 2641ක් බරැති උල්කා කොටසක්
වසර 20000- 50000 අතර කාලයක ඇතිවූ මෙම ආවාටය කාලගුණ විපර්යාසයන්ට ගොදුරු නොවී ඉතාමත් පැහැදිලි ලෙස සංරක්‍ෂණය වී ඇති අතර පෘතුවිය මත ඇති ආවාට අතුරින් විශිෂ්ඨතම ආවාටය ලෙස පිළිගැනේ. තම ජීවිත කාලයෙන් වසර 26ක් කැප කර ආවාටය පිළිබඳ පර්යේෂණ පැවැත්වූ විද්‍යාඥ ඩැනියල් බැරින්ජර්ට ගෞරව පිණිස මෙය බැරින්ජර් ආවාටය ලෙස ඇමෙරිකානු රජය විසින් නම් කර ඇත. මෙතෙක් විද්‍යානුකූලව තහවුරු කරගත් පෘතුවිය මුහුණ පෑ ප්‍රථම පාරභෞම/Extra Terrestrial (පෘතුවියට බාහිරින් එල්ල වූ) බලපෑම ලෙස මෙම ආවාටය සැලකෙන අතර  පහත දැක්වෙන්නේ "ගූග්ල් අර්ත්" මඟින් බැරින්ජර් ආවාටය දිස්වන ආකාරයයි.


  Wikipedia
UNESCO NATURAL WONDERS

2 comments:

  1. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  2. Hey,

    Did you stop writing this blog ? It's not 1001 yet. :)
    It's too long from last December. Write something ma'am. I am waiting here.

    ReplyDelete