ලිපි එකතුව


Saturday, May 2, 2015

96. ඇන්ටිලොප් කැණියම/ Antelope Canyon


97. ඇන්ටිලොප් කැණියම/ Antelope Canyon (ඇරිසෝනා ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)




      ලොව පුරා සංචාරකයින්ගේ අවධානය දිනාගත් නිසරු සහ කටුක පරිසරයක් ඇත්ද, ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයයි. ගස් කොළන්වලින් හීන කටුක ප්‍රදේශයක් වුවත් ලොව අන් තැනක නොදැකිය හැකි ආකාරයේ විචිත්‍රවත් වර්ණයන්ගෙන් හෙබි අනේක භූ ලක්‍ෂණවලින් ප්‍රදේශය පොහොසත්ය.

      සංචාරක ආකර්ෂණය දිනාගත් එවන් තවත් විචිත්‍ර පිහිටීමක් ලෙස ඇරිසෝනාවේ ඇන්ටිලොප් කැණියම සැලකේ. වැලිගලින් සැදුම්ලත් ඇන්ටිලොප් කැණියම, ආලෝකය, විචිත්‍ර වර්ණ සහ අනේක හැඩතල මිශ්‍ර වූ ස්වාභාව ධර්මයේ උත්කෘෂ්ඨ නිර්මාණයකි. සූර්යයාලෝකය වඩාත් පතිතවන කැණියමේ ඉහල බිත්ති තීව්‍ර තැඹිලි සහ කහ පැහැයකින් බබළන අතර සූර්යාලෝකය මද එම පෘෂ්ඨයේම පහල කොටස දම් සහ නිල් පැහැයෙන් දිස්වේ. ස්වාභාව සහ වනජීවී ඡායාරූප ශිල්පීන් පවසන ආකාරයට ඇන්ටිලොප් කැණියම මනසට අධ්‍යාත්මික හැඟීමක් ගෙනදෙන මනරම් දර්ශනයකි. එකී කියමන සත්‍ය වන්නේ කලකට පෙර කැණියම ආශ්‍රිතව ජීවත්වූ නාවහෝ ගෝත්‍රිකයන් කැණියමට ඇතුල් වූයේ ආරාමයකට ඇතුළුවන ආකාරයේ මහත්වූ භක්තියකිනි. අතීත මිනිසුන් ස්වාභාව ධර්මයේ අද්විතීය දායාදයන්ට එසේ ගරු සරු දක්වන ලදී.

      අතීතයේදී කැණියම අවට ජීවත්වූ ප්‍රොන්(ග්)හෝන් ඇන්ටිලොප් නම් මුව විශේෂයක් නිසා කැණියම ඇන්ටිලොප් කැණියම ලෙස හැඳින්වීමට හේතු වූ බව සැලකේ. කැණීයම අයත් වන්නේ උතුරු ඇමරිකානු ස්වදේශික කොට්ඨාශයක් වන නාවහොගෝත්‍රික බල ප්‍රදේශයටයි.

       ඇන්ටිලොප් කැණියම “ස්ලොට්” කැණියමක් ලෙස සැලකෙන්නේ එහි පලලට වඩා ගැඹුර වැඩි බැවිනි. මෙවන් කැණියම ඉතා පටු වේ. ඉහල ඇන්ටිලොප් කැණියම සහ පහල ඇන්ටිලොප් කැණියම ලෙස ප්‍රධාන කැණීයම කොටස් දෙකකට බෙදේ. මෙම කැණියමේ සුවිශේෂත්වය වන්නේ දිනයේ ඉර මුදුන් වන කාල සීමාවේදී සූර්ය කිරණ, රශ්මි කදම්භ ආකාරයෙන් කැණියම විවරයේ සිට කැණියම පතුලට පතිත වීමයි. මෙය ඉතා සුන්දර දර්ශනයක් වන අතර වඩාත් පැහැදිලිව දර්ශනය වන්නේ ඉහල ඇන්ටිලොප් කැණියම තුලටය. මෙම දර්ශනය වසර පුරාවට එකසේ දැක ගත හැකි නොවන්නේ හිරු කිරණ කැණියම පතුලට පතිත වීම සඳහා ඒ ආකාරයෙන් මෙම ප්‍රදේශයට හිරු මුදුන් වන්නේ මාර්තු 20 සිට ඔක්තෝබර 7 දක්වා පමණක් වීමයි.

        කැණියම පතුල ඔස්සේ සංචාරකයින් හට ඇවිද යා හැකි අතර වැස්සක සේයාවකුදු නොමැතිව දැඩි හිරු කිරණ හාත් පස දවද්දී එසේ කැණියම තුල ඇවිද යන ඔබව කිසි සේත් බලාපොරොත්තු නොවූ ප්‍රචණ්ඩ ජල පහරකට ගොදුරු විය හැක. 1997 වර්ෂයේදී කැණියම පතුලේ ගමන් ගත් සංචාරකයින් එකොළොස් දෙනෙක් මරු මුවට පත් වූයේ එසේ කැණියම ඔස්සේ ක්‍ෂණිකව ඇදී ආ ප්‍රචණ්ඩ ජල ප්‍රවාහයකට මැදි වීමෙනි.  
කැණියම සහිත ප්‍රදේශයට ඉහලින් සහ හැතැප්ම ගණනාවක් දුරින් ඇති ප්‍රදේශවලට මෝසම් වර්ෂාව පතිතවන සමයේ කැණියම තුල ගමන් ගැනීම බියකරු වේ. එම ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ජලය එකතු වී ප්‍රචණ්ඩ ජල ප්‍රවාහ ආකාරයෙන් එක්වරම කැණියම ඔස්සේ ගලා ඒම සිදු විය හැක. එනිසා කැණියම නැරඹීම සඳහා මග පෙන්වන්නෙකු එක් කර ගැනීම අනිවාර්යය වේ.

      කැණියම නිර්මාණය වී ඇත්තේද වසර දහස් ගණනක් පුරා ගලා ගිය ක්‍ෂණික වර්ෂා ජල ප්‍රවාහ හේතුවෙන් වැලිගල් ඛාදනය වීමෙනි. කාලයත් සමඟ කැණියමේ ගැඹුර වැඩි කිරීමට ජල ප්‍රවාහ සමත්වී ඇති අතර කැණියම් බිත්ති ජල ප්‍රවාහයන් ගැලූ හැඩයට සකස් වී විචිත්‍රවත් රටා නිර්මාණය වී ඇත.

අළුයමට පෙර සිට කැණියමේ අඳුරු කුටීරයක හිඳ සිටින ඔබට දැක ගත හැකි වන්නේ පොළවට වැටෙන ප්‍රථම අරුණැල්ලත් සමඟ කැණියම ජීවයෙන් පිරී යන ආකාරයයි.
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment