ලිපි එකතුව


Sunday, May 10, 2015

97. කැන්යන් ද ෂේ ජාතික ස්මාරකය/ Canyon De Chelly National Monument


97. කැන්යන් ද ෂේ ජාතික ස්මාරකය/ Canyon De Chelly National Monument (ඇරිසෝනා ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)



      වැලිගල්වලින් සුසැදි කැණියම් පද්ධතියකින් විචිත්‍රවත් වූ කැන්යන් ද ෂේ ජාතික ස්මාරකයේ අගය තවත් වැඩි වීමට හේතු වී ඇත්තේ අතීතයේ මෙම භූමිය වාසස්ථාන කරගත් ආදීවාසී ස්වදේශික ගෝත්‍රවල නෂ්ඨාවශේෂ තවමත් ඉතිරිව ඇති බැවිනි.


වසර එක්දහස් පන්සියයකට පෙර සිට ජනාවාසව තිබූ මෙහි ආදී වාසී නිවෙස්වල නටබුන් තවමත් දැකගත හැක. මෙහි ප්‍රධාන වශයෙන්ම දැක ගත හැක්කේ “පිට් හවුස්” සහ පුවෙබ්ලෝ නම් ගෘහ නිර්මාණය. පිට් හවුස් ලෙස හඳුන්වන නිවෙස් සාමාන්‍යයෙන් ලී දඬුවලින් සාදන අතර මැටිවලින් ගෙය වටා සහ වහළ ආවරණය කරයි. මෙහි විශේෂත්වය වන්නේ ගෙබිම ඇත්තේ පොළව මට්ටමට පහලින් වීමයි. 
පිට් හවුස්

පුවෙබ්ලෝ යනු එකිනෙකට බද්ධවූ නිවෙස් රාශියක ව්‍යුහයකි. වර්තමාන “අපාර්ට්මන්ට්ස්” වලට බෙහෙවින් සමානය. පුවෙබ්ලෝ නිවාස තනාගෙන ඇත්තේ ගල් හෝ ගඩොල්වලිනි. මේවා කැණියම් බිත්තියට පිටදී සාදා ඇත.
පුවෙබ්ලෝ

 මෙවැනි ගෘහ නිර්මාණ 700ක් පමණ භූමිය පුරා දැකගත ඇති අතර මුල්ම වාසස්ථාන වර්ෂ 1060දී පමණ අනසාසි නම් ස්වදේශික කොට්ඨාශයක් විසින් ඉදි කරන ලදුව දහතුන් වන ශතවර්ෂයේ අග භාගයේදී පමණ වාසස්ථාන අතහැර දමා ඇත. පසුව හෝපි සහ නාවහෝ ගෝත්‍රිකයන් මෙහි පදිංචි වී ඇත. ස්වදේශිකයන් විසින් කැණියම බිත්තිවල අඳින ලද ඉපැරණි රූප ආකර්ෂණීය වන අතර මෙමඟින් ඔවුන්ගේ ජීවන රටාව සහ වැදගත් සිදුවීම් නිරූපණය වේ. 
ප්‍රසිද්ධ "standing cow " සිතුවම

මෙම රූප අතර ස්වස්තික සලකුණද දැකගත හැකිය. හිට්ලර්ගේ නාසි හමුදාව විසින් ස්වස්තික සලකුණ සොරකම් කිරීමට පෙර ලොව නන්දෙස ඉපැරණි ජන කොට්ඨාශ මෙම සලකුණ භාවිතා කර ඇති බවට මෙම රූප සාක්‍ෂි දරයි.

මෙහි කැණියම පද්ධතිය නිර්මාණය වී ඇත්තේ සානුවක් ඛාදනය වීමෙනි. සිරස් රත් පැහැති වැලිගල් බිත්තිය සානුව මතු පිට සිට කැණියම පතුල දක්වා අඩි 800ක් පමණ පහලට දිවයයි. පර්මියානු යුගයේදී බිහිවූ කාන්තාර පරිසරයක් වන මෙම භූමියේ වැලිගල් සෑදීමට මුල්වූ වැලි තැන්පත් වී ඇත්තේ සුළං මඟින් යැයි විශ්වාස කෙරේ.
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment