ලිපි එකතුව


Sunday, August 9, 2015

104. ගල්කුළු පුරවරය / City of rocks



104. ගල්කුළු පුරවරය /  City of rocks
(නිව් මෙක්සිකෝ ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
      
අඩි දොළහක් තරම් උස ස්ථම්භ වන් ගල් කුළු සමූහය ඈත සිට බලන අයෙකුට පෙනෙන්නේ ගොඩනැගිලි රාශියකින් සමන්විත නගරයක් ක්‍ෂිතිජ රේඛාව මතින් දිස්වන ආකාරයටය. නිව් මෙක්සිකෝහි වර්ග කිලෝමීටර 2.7ක ප්‍රදේශයක් පුරා මෙම ගල් කුළු සහිත අපූර්ව භූ ලක්‍ෂණය දක්නට ලැබේ. ගල්කුළු අතරින් ඇවිද යාමට සැලකිය යුතු අවකාශයක් ඇති අතර ගල්කුළුවල සෙවනැල්ල, ගිනි ගහන අව්වේ ඒ අතරින් ඇවිද යන අයෙකුට විඩාව නිවා ගැනීම සඳහා උපකාරී වේ.

මෙම ස්ථම්භ ආකාර පාෂාණ නිර්මාණය වී ඇත්තේ ගිනිකඳු අළු වලිනි. එනම් වසර මිලියන 35කට පමණ පෙර මෙහි ලාවා අළු ප්‍රවාහයක් ගලාවිත් ඇති අතර ඒවා ක්‍රමක්‍රමයෙන් සංක්‍ෂිප්තව ඝනභවට පත්ව ඇත.  දීර්ඝ කාලයක් වර්ෂාවට සහ සුළඟට නිරාවරණය වී ස්ථරයේ මෘදු ස්ථාන ඛාදනය වී වර්තමානයේ දක්නට ලැබෙන තදැති පාෂාණ ස්ථම්භ පමනක් ඉතිරිව ඇත. නිව් මෙක්සිකෝහි කාන්තාර පරිසරයක පිහිටා ඇති මෙම පාෂාණ, ස්ථම්භ ආකාර වුවත් බොහෝ දෙනෙක් එය සමාන කර ඇත්තේ කාන්තාර භූමියෙන් පැන නැගුනු යෝධ චාර්වක දත් සමූහයක් ලෙසටය. ඒවායෙහි හැඩය බොහෝ දුරට චාර්වක දතකට සමාන කල හැක. සමහරක් ඒවා වක ගැසී හෝ ඇල වී ඇත සමහරක් ස්ථම්භ හරි කෙලින් පිහිටා ඇත. කුළුණු සමූහ වශයෙන් දැක ගත හැකි අතර අතරින් පතර හුදකලාවේ පිහිටා ඇති කුළුණුද වේ. මෙවන් භූ ලක්‍ෂණ ඉතා දුර්ලභ අතර මේ හා සමාන කුළුණු දක්නට ලැබෙන්නේ ලෝකයේ තවත් ස්ථාන හයක පමණි.

මෙම පාෂාණ පුරවරය ගිනිකොණ දිග නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ Deming නම් නගරයේ සිට කිලෝ මීටර 45ක් ඊසාන දෙසට වන්නට ඇති චිවුවාවන් කාන්තාරයේ මිම්බ්‍රෙස් මිටියාවතේ පිහිටා ඇත. මෙම පාෂාණ ස්ථම්භ අතර දිවිගෙවන කුරුළු විශේෂ 35ක් පමණ වාර්තා වන අතර උන් විශේෂ සමහරක් තම කූඩු තනාගෙන ඇත්තේ මෙම පාෂාණවල පැළුම් සහ විවර තුලය. මෙම කුරුළු විශේෂ අතර හිස මුඩු සහ රන්වන් රාජාලියන්, උකුස්සන්, Horned Owls, Cactus wren, Road runners සහ Finches ප්‍රධාන වේ. Rattle snake (විෂඝෝර ඇමෙරිකානු සර්ප විශේෂයක්), Collard lizard (කටුසු විශේෂයක්) සහ Hognose snake යන උරග විශේෂද බහුලව දක්නට ලැබේ. ඒ හැර බිම් ලේනුන්, Jackrabbits (හාවුන් විශේෂයක්), Kangaroo mice සහ Pack rats (මීයන් විශේෂ) සහ Coyotes (වෘක විශේෂයක්) යන ක්‍ෂීරපායී විශේෂද බහුල ලෙස දක්නට ලැබේ.

පාෂාණ පුරවරයේ මිනිස් ජනාවාස තිබූ බවටද සාක්‍ෂි ලැබී ඇත. මිම්බ්‍රෙස් ඉන්දියානුවන් නම් ජන කොට්ඨාශය ක්‍රි.ව. 750 සිට 1250 දක්වා වූ කාල සීමාව තුලදී මෙම ප්‍රදේශයේ ජනාවාස ඉදිකරගෙන සිට ඇත. ඔවුන් මෙම පාෂාණ නොයෙකුත් කර්තව්‍යයන් සඳහා යොදාගෙන ඇත. විශේෂයෙන්ම ධාන්‍ය වර්ග ඇඹරීම සඳහා. විශාල පාෂාණ හොඳින් අධ්‍යයන කලහොත් ඔවුන් තම කාර්යයන් සඳහා ඉන් කුඩා කොටස් කඩා ඉවත් කරගත් බව තවමත් දක්නට ලැබේ. ඒ හැර ස්පාඥ්ඥ දේශගවේශකයින් විසින් ශතවර්ෂ ගණනාවකට පෙර මෙම බිම් කඩ ගවේෂණය කරමින් ඇවිද යද්දී ගල්වල කෙටූ කතිර සලකුණු තවමත් දක්නට ඇත. එමෙන්ම මෙම ප්‍රදේශය ඔස්සේ කැලිෆෝනියාව දෙසට ගිය සංක්‍රමණිකයින්ගේ අශ්ව කරත්තවල රෝද සළකුණුද කාන්තාර පොළොවේ තවමත් නොමැකී පවතී.

වර්තමානයේ පාෂාණ පුරවරය, කඳු නගින්නන්ගේ ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව ඇත.

UNESCO NATURAL WONDERS

1 comment: