103. ශ්වේත වාලුකා කාන්තාරය/ White sand national monument (නිව් මෙක්සිකෝ ප්‍රාන්තය, ඇමරිකා එක්සත් ජනපදය) ![]() | ||||
අනන්තය දක්වා දිවෙන ආශ්චර්යමත් ශ්වේත වාලුකා තලයට ඉහලින් ධවල වළාවන්ගෙන් ගැවසීගත් නීල ආකාශය වේ. ඒ ශ්වේත භූමියත් නීල ආකාශයත් හමුවන ක්‍ෂිතිජ ඉමේ විහිදුනු මහේශාක්‍ය කඳු වළල්ලකි. දැඩි හිරු රශ්මියට නිරාවරණය වූ කාන්තිමත් වාලුකා තලය රැලි සහිතය වෘක්‍ෂලතාදීන්ගෙන් තොරය. බැලූ බැලූ අත කිසිදු ජීවී ප්‍රාණයක් දැක ගත නොහැක. නීල ආකාශය ගැන සඳහන් කර නොමැති නම් ඉහත දැක්වෙන්නේ සඳ මතු පිට විස්තරයක්වත්දැයි සැක කල හැක. නැත මේ අප වසන පෘතුවියේම දක්නට ඇති මහේශාක්‍ය ශ්වේත වාලුකා කාන්තාරයයි. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වැනසීම පිණිස ලොව ප්‍රථම පරමාණුක අවිය අත් හදා බැලූ ස්ථානයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ටූලරව්සා ද්‍රෝණියේ මෙම අසිරිමත් බිම්කඩ පිහිටා ඇත. වෙනත් කාන්තාරයන්හි වැලි සිලිකා ඛනිජයෙන් නිර්මිත වුවත් ශ්වේත වාලුකා කාන්තාරයෙහි වැලි නිර්මිතව ඇත්තේ ජිප්සම් (Calcium sulfate) නම් ඛනිජයෙනි. ඔබත් මමත් හොඳින් දන්නා හුණු කූර සහ කැටයම් කිරීම පිණිස බිත්ති කපරාරුවට ගන්නා Plaster of paris සාදන්නේ ජිප්සම් ඛනිජයෙනි. ජිප්සම් ඛනිජය, ලුණු මෙන් ජලයේ දියවන සුළුය. කැල්සියම් සල්ෆේට් ද්‍රාවණය වූ ජලය වාෂ්පීකරණයට ලක්වීමෙන් ලුණු කැට වන් ජිප්සම් කැබලි නිර්මාණය වේ. මෙම භූමියට ජිප්සම් ඛණිජය ලැබෙන්නේ කැල්සියම් සල්ෆේට් ද්‍රාවණය වූ වර්ෂාවෙන් සහ කාන්තාරයේ මායිමක ඇති "Lucero" නම් ජලාශයෙනි. කාන්තාරය ටූලරව්සා ද්‍රෝණියේ පහත්ම ස්ථානයේ පිහිටා ඇති අතර කාන්තාරයේ හාත්පස කඳු වළල්ලකින් ආවරණය වී පවතී. එනිසා කාන්තාරයට වර්ෂාව පතිත වූ විට එම ජලය පිටතට ගලාගෙන යාමට මාර්ගයක් නොමැත. එනිසා ද්‍රෝණියේ එකතුවන ජලය පොළව අභ්‍යන්තරයට කාන්දු වන අතර දැඩි සූර්යය තාපයෙන් වාෂ්පීකරණයටද ලක්වේ. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය වන්නේ ද්‍රෝණියේ ඉතිරිවන ජිප්සම් ස්ඵටිකයි. "Lucero" ජලාශ ඉවුරද වාෂ්පීකරණයට ලක්වීමෙන් ජිප්සම් ස්ඵටික සැලකිය යුතු පරිමාවක් නිර්මාණය වන අතර ඒවා සුළඟ මඟින් කාන්තාර භූමිය වෙතට පරිවහනය වේ. මෙම භූමිය ලොව විශාලම ජිප්සම් තැන්පතුව වේ (වර්ග හැතැප්ම 275ක්). කාන්තාරය තුල ජිප්සම් වැල්ලෙන් නිර්මිත නොයෙකුත් භූ ලක්‍ෂණ දක්නට ඇති අතර සුදෝ සුදු වාලුකා වැටි ඉන් ප්‍රධාන වේ.
වෘක්‍ෂලතාදියෙන් තොර දැඩි සූර්යය තාපයෙන් සමන්විත කඨෝර කාන්තාර මායිමේ සතුන් කිහිපයක් තම දිවිපෙවෙත ගත කරයි. එනම් Bleached earless lizard , Apache pocket mouse. මෙම සතුන් තනිකර සුදු පැහැ වන අතර, සුදෝ සුදු කාන්තාර භූමිය සතුරන්ගෙන් ආරක්‍ෂාවීමට කදිමට ඉවහල් වේ. එමෙන්ම පහත සඳහන් ශාකද කාන්තාර මායිමේ දැකගත හැක: Yucca, Cottonwood.
| ||||
UNESCO NATURAL WONDERS |
Friday, August 7, 2015
103. ශ්වේත වාලුකා කාන්තාරය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment