ලිපි එකතුව


Friday, September 2, 2011

77. හූඩූ

77. හූඩූ / Hoodoo  (යූටා,  ඇමරිකා එක්සත් ජනපදය)

Hoodoo (geology) on Fotopedia
මෙම ඡායාරූප පෙලෙහි යූටාහි හූඩූ ස්ථම්භවලට අමතරව ලොව වෙනත් ස්ථානවල පිහිටි හූඩූ ස්ථම්භද ඇති අතර යූටාහි හූඩූ ස්ථම්භ රතු පැහැයට හුරු බව කරුණාවෙන් සලකන්න.

"හූඩූ " නම් වදන ඔබට ආගන්තුක වදනක් වන බව නොඅනුමානය. නිවර්තන කලාපීය දූපතක වෙසෙන් අපට නිතරම දක්නට ලැබෙන්නේ  වෙරළතීර සහ ඒ ආශ්‍රිත භූ ලක්‍ෂණද රට අභ්‍යන්තරයට යන විට කඳු, දිය ඇලි වන් භූ ලක්‍ෂණයි. හූඩූ යනු ස්වාභාවිකව නිර්මාණය වූ ශෛලමය ස්ථම්භ විශේෂයකි. ඒවායේ විශේෂ රටාවක් දක්නට නැති අතර ඒවායෙහි බඳේ සමහර ස්ථාන මහත් වන අතර සමහර ස්ථාන සිහින් බවක් උසුලයි. මේවායේ ස්වරූපය සමාන කර ඇත්තේ, උතුරු ඇමෙරිකාවේ වයඹ දිග පැසිෆික් වෙරළ තීරයේ ජීවත් වූ ස්වදේශික ගෝත්‍ර ජනයා විසින් කැටයම් කල "තෝටම් කණු" නම් නිර්මාණයටයි. සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ උසේ සිට තට්ටු දහයක ගොඩනැගිල්ලක් දක්වා උස හූඩූ ස්ථම්භ දැක ගත හැක. 


හූඩූ නම් මෙම භූ ලක්‍ෂණය සාමාන්‍යයෙන් දැක ගත හැකි වන්නේ ඉහල උන්නතාංශයේ පිහිටි කාන්තාරීය දේශගුණයක් පවතින සානු මත වන අතර එම භූමිය වෘක්‍ෂලතාදියෙන් තොර නිසරු බිමකි. යම් කිසි සානුවක් වර්ෂාව, සුළඟ සහ හිම යන සාධක මඟින් අධික ලෙස ඛාදනය වේද, එම සානුව විඛණ්ඩනය වී (ඛණ්ඩ වලට කැඩී) ශෛලමය ස්ථම්භ දහස් ගණනක් නිර්මාණය වේ.    මෙසේ ඛාදනය නොවී නිර්මාණය වූ ස්ථම්භයන්ගේ පිට ස්ථරය, කාලගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමට හැකි ඝණ පාෂාණ ස්ථරයකින් ආවරණය වී ඇති අතර ස්ථම්භ මධ්‍යය දුර්වල ශල්ක (අවසාදිත පාෂාණ විශේෂයක්) සහ මඩ ගල් නම් පාෂාණයන්ගෙන් සමන්විතය. ස්ථම්භ පතුලේ සිට එහි හිස දක්වා නොයෙකුත් පාෂාණ තට්ටුවලින් සමන්විත අතර ඒ ඒ තට්ටු මත ඛණිජ ද්‍රව්‍ය තැන්පත් වීම නිසා ඒ ස්ථරයට ආවේණික පැහැයක් ලැබී ඇත. 


ඇමෙරිකා එක්සත් ජනපදයට බ්‍රිතාන්‍යයන් සහ අනෙකුත් බටහිර ජාතීන් සංක්‍රමණය වීමට පෙර එහි නොයෙකුත් ස්වදේශික ජනාවාස ව්‍යාප්තව පැවතිනි. ඉන් රතු ඉන්දියානුවන් ගැන ඔබ අසා ඇති. ඒ ඒ ප්‍රදේශයන්ට ආවේණික ගෝත්‍ර ජන කොට්ඨාශ බොහොමයක්ද ඔවුන් විසින් ඒ ඒ ස්ථාන අලලා නිර්මාණය කරන ලද ජනප්‍රවාද විශාල සංඛ්‍යාවක්ද පවතී. එලෙස යූටාහි හූඩූ ස්ථම්භ පිහිටා ඇහි බ්‍රයිස් කැණියම ආශ්‍රිතව "අපැෂ්" (Apache) නම් ගෝත්‍රික කොට්ඨාශයක් ජීවත්ව ඇති අතර හූඩූ ස්ථම්භ සම්බන්ධයෙන් ඔවුන් අතර පැරණි ජනප්‍රවාදයක් පවතී. එය මෙසේයි: ඔවුහු හූඩූ ස්ථම්භ මනුෂ්‍යය රූප කායකට සමාන කර ඇත. ඔවුන්ගේ විශ්වාසයට අනුව ලෝකය යම්කිසි බලවත් දෙවි කෙනෙක්ගේ මැවීමක් වන අතර මනුෂ්‍ය ක්‍රියා කලාපය තව දුරටත් නොඉවසවූ දෙවියා ලෝකය විනාශ කර අලුතින් ගොඩ නැඟීම වස් මහා ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලීමට සැලැස්සවූයේලු. ඉන් පලාතම ජලයෙන් යටවීගෙන යන විට මැවුම්කාර දෙවියාට මිනිසුන් ගැන අනුකම්පා සිතී වර්ෂාව නවත්තන ලදී. ඒ වන විටත් අපැෂ් ගෝත්‍රික මිනිසුන් කණ්ඩායමක්, ප්‍රදේශය ජලයෙන් යටවන විට තම දිවි බේරාගනු වස් අඹු දරුවන් ගැනද අවධානය යොමු නොකොට වත්මන් හූඩූ ස්ථම්භ පිහිටා ඇති උස් භූමියට නැග ඇත. මෙය දුටු දෙවියා මහත් ක්‍රෝධයට පත් වී එම මිනිසුන්ව එම ස්ථානයේම ශෛලමය ස්ථම්භ බවට පත් කෙරුවේලු. අපැෂ් ගෝත්‍රික ජනප්‍රවාදවලට අනුව හූඩූ ස්ථම්භ එසේ නිර්මාණය වූ බව පැවසේ :) .


      Wikipedia
UNESCO NATURAL WONDERS

2 comments:

  1. 7th Pic from the left is in Banff national park, Alberta, Canada.

    ReplyDelete
  2. Thanks for mentioning it, Yeah, in this slide show presents hoodoos in many other places, I don't know how to remove those photos except of hoodoos of Utah's.

    ReplyDelete