ලිපි එකතුව


Tuesday, November 1, 2011

78. බ්‍රයිස් කැණියම

78. බ්‍රයිස් කැණියම/ Bryce Canyon (යූටා,  ඇමරිකා එක්සත් ජනපදය)

විවිවිධාකාර භූ ගෝලීය ලක්‍ෂණයන්ගෙන් හෙබි විශ්මලන්තයක් බඳු බ්‍රයිස් කැණියම ඇමරිකා එක්සත් ජනපදයේ යූටා ප්‍රාන්තයේ පිහිටා ඇත. පෙර ලිපියෙහි සඳහන් "හූඩූ" ස්ථම්භ නම් සුවිශේෂී භූ ලක්‍ෂණය දක්නට ලැබෙන්නේද මෙම බ්‍රයිස් කැණීයම මතයි. හූඩූ ස්ථම්භවලට අමතරව ගිරි කඳුරු*, ස්වභාවිකව නිර්මාණය වූ ශෛලමය කොත්, ශෛලමය කවුළු සහ නොයෙකුත් ස්වභාවික ශෛලමය භූ නිර්මාණ දක්නට ලැබේ. 


"පොව්න්සගන්" සානුවේ නැගෙනහිර අන්තයේ පිහිටා ඇති බ්‍රයිස් කැණියම පෙනුමෙන් අර්ධ කවාකාර රංග පීඨයක් ලෙස දිස් වේ. එවන් රංග පීඨයක ආසන පිහිටා ඇත්තේ  කවාකාර පේලි ලෙස ක්‍රම ක්‍රමයෙන් ඉහලට විහිදී යන ආකාරයටයි. එලෙසම බ්‍රයිස් කැණියම තුල පිහිටා ඇති හූඩූ ස්ථම්භද, කවාකාර පේලි ලෙස, පහල සිට ඉහලට විහිදී  ගොස් ඇත. මෙහි දිග කිලෝ මීටර 19ක්ද පලල කිලෝ මීටර 4.8ක්ද සහ ගැඹුර මීටර 240ක්ද වේ. බ්‍රයිස් යනු වෙනත් කැණියම මෙන් ගංගාවක ඛාදනයෙන් නිර්මාණය වූවක් නොවේ. පොව්සන්ගන් සානුව නිර්මාණය වී ඇත්තේ ක්‍රිටේසීය යුගයේ ආරම්භයේ පටන් සෙනසොයික් යුගය දක්වා වූ දීර්ඝ කාල පරාසයක් පුරා අවට ගංගා සහ විල් මඟින් ගසා ආ අවසාදිත ද්‍රව්‍ය තට්ටු ආකාරයෙන් තැන්පත් වීමෙනි. එසේ අවසාදිත ද්‍රව්‍යයන්ගෙන් නිර්මිත සානුව වසර දහස් ගණනක් පුරා වර්ෂාව, හිම පතනය, සුළඟ සහ අව්වට නිරාවරණය වී ඇති අතර එහිදී පහසුවෙන් ඛාදනය වන අවසාදිත පාෂාණ ඉවත් වී ඛාදනයට ඔරොත්තු දීමේ හැකියාව ඇති දැඩි අවසාදිත පාෂාණ ඉතිරි වී වර්තමානයෙහි දක්නට ලැබෙන ශෛලම භූ ලක්‍ෂණ නිර්මාණය වූ බව පැවසේ. 
http://www.nps.gov/brca/naturescience/hoodoos.htm
ඉහත රූපයේ ආකාරයට ප්‍රථමයෙන්ම සානුවේ මායිම ඛාදනය වීම ආරම්භ වේ. දෙවනුව එසේ ඛාදනය වූ සානු මායිම්, කාලයාගේ ඇවෑමෙන් මත්ස්‍ය වරලක හැඩය ගනී මෙහිදී සානුවේ මතු පිට ස්ථරය ඉවත්ව තට්ටු ආකාරයෙන් තැන්පත් වූ අවසාදිත පාෂාණ දැක ගත හැක., තෙවනුව අවසාදිත පාෂාණ මධ්‍යයේ කුඩා විවරයක් නිර්මාණය වී එය කෙමෙන් විශාල වීමට පටන් ගනී. මේවා ශෛලමය කවුළු ලෙස හැඳින්වේ. මෙසේ වන්නේ වර්ශාපතනය මඟින් අවසාදිත පාෂාණ තුලට අවසෝෂණය වන ජලය රාත්‍රී කාලයේ ශීතලට ඝණීභවනය වීම නිසා අයිස් බවට පත්වන බැවිනි. එවිට ජලයේ පරිමාව 10%කින් පමණ ඉහල නඟින අතර පාෂාණ,   එතුල ඝනීභවනය වන ජලයේ තෙරපුමට පැලී යයි. මෙසේ හට ගන්නා කුඩා විවර කවුළු බවට පත්වී තව දුරටත් මෙම ක්‍රියාවලියෙන් සිදුවන ඛාදනයෙන් අවසන් රූපයේ ආකාරයට හූඩූ ස්ථම්භ නිර්මාණය වේ.


බ්‍රයිස් කැණියමෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ රත් පැහයට හුරු තැඹිලි පාටක් වන අතර අවසාදිත පාෂාණ මත ඔක්සිකරණයට ලක්වූ යකඩ (අයන් ඔක්සයිඩ්; Fe2O3) හෙවත් හීමටයිට් නම් ඛණිජය තැන්පත් වීම මඟින් එම පැහැය ලැබී ඇත.  අප සියල්ලෝම දන්නා පරිදි අඟහරු ග්‍රහ ලෝකය රතු/ තැඹිලි පැහැයකින් දිස් වන්නේ එහි පසෙහි අඩංගු අධික හීමටයිට් ප්‍රමාණය නිසාවෙනි. බ්‍රයිස් කැණියමේ කහ පැහැති ස්ථාන සජල අයන් ඔක්සයිඩ් (FeO(OH)·nH2O) හෙවත් ලිමොනයිට් ඛණිජය අවසාදිත පාෂාණ මත තැන්පත් වීමෙන් සහ දම් පැහැති ස්ථාන මැංගනීස් ඩයොක්සයිඩ් (MnO2) හෙවත් පයිරොලුසයිට් නම් ඛණිජය අවසාදිත පාෂාණ මත තැන්පත්වීම මඟින්ද ලැබී ඇත. 


කැණියමේ ගැටිය මුහුදු මට්ටමේ සිට අඩි 8000- 9000 ත් අතර උසකින් පිහිටන බැවින් ශීතල කාලගුණයක් දක්නට ලැබෙන අතර අවට ප්‍රදේශයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබේ (වසරකට අඟල් 15ත් 18ත් අතර). වසරේ මුල උෂ්ණත්වය සෙල්සියස් අංශක -13ත් 28ත් අතර අගයක් ගන්නා සේම ජූලි මාසය වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක -33 සිට 36 දක්වා වෙනස් විය හැක.


පුරා විද්‍යා පර්යේෂණ මඟින් කැණියම ආශ්‍රිතව වසර දසදහසකට පමණ පෙර දුරාතීයේ ජනාවාසව තිබූ බව සොයාගෙන ඇත. කැණියම ආශ්‍රිත පාෂාණ මත කුරුටු ගෑ වසර දහස් ගණනක් පැරණි සිතුවම් එයට සාක්‍ෂි දරයි.  කැණියම අවට කේතුධර වෘක්‍ෂයන්ගෙන් ගහණ අතර ජෛව විවිධත්වයෙන්ද පොහොසත්වේ. . 


 *කැණියමක් වන් භූ ලක්‍ෂණයකි, එහෙත් කැණියමක් මෙන් නොව දෙපස ඇති පර්වත බිත්ති අතර පරතරය ඉතා පටුය
      Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment