ලිපි එකතුව


Tuesday, November 1, 2011

79. තෝ(ර්)ගෙ යකුල

79. තෝ(ර්)ගෙ යකුල/ Thor's Hammer (යූටා,  ඇමරිකා එක්සත් ජනපදය)
http://www.flickr.com/photos/mikejonesphoto/2518638617/

පෙර ලිපියෙහි සඳහන් බ්‍රයිස් කැණියම නරඹන ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක් ලෙස තෝ(ර්) ගේ යකුල නැමැති හූඩූ ස්ථම්භය නම් කල හැක. ඉපැරණි වයිකිං පුරාවෘත්තවලට අනුව තෝ(ර්) යනු අකුණු සැරවලට අධිපති නෝර්වේයානු දෙවි කෙනෙකි. ඔහුට විශාල යකුලක් තිබී ඇති අතර ඉන් පොළවට පහර දීම මඟින් භූ කම්පන සහ ගිනි කඳු පිපිරීම් ඇති කල බව විශ්වාස කෙරේ. බ්‍රයිස් කැණියමේ අපූරු හූඩූ ස්ථම්භයක් පිහිටා ඇති අතර එහි උස මීටර 45කි. එහි මුදුනත යකුලක (මිටියක) හිසද, ඊට පහලින්  එහි මිටද සංකේතවත් කරයි. එබැවින් ස්වාභාවිකව නිර්මාණය වූ මෙම යෝධ මිටිය තෝ(ර්) ගේ යකුල නමින් හඳුන්වයි. යකුල සංකේතවත් කරන හූඩු ස්ථම්භයේ මුදුනත, සිහින්ව ගිය මිට මත යකුලේ හිස, සමබරව පවතින ආකාරය විශ්මය ජනකය. එම හුදකලා හූඩූ ස්ථම්භයට අමතරව ඒ අවට එකිනෙක තදින් බැඳී පවතින හූඩූ ස්ථම්භ සිය ගණනක් දැකිය හැකි අතර ඒවා ගොඩ නැගිලිවලින් පිරී පවතින නගරයක් සිහිගන්වයි. 


තෝ(ර්) ගේ යකුල නම් හූඩූ ස්ථම්භයේ මුදුනත හෙවත් යකුලේ හිස ඉතා තදැති අවසාදිත පාෂාණ විශේෂයක් වන මඩ ගල් වලින් සුසැදිය. ඒවා ඛාදනයට හොඳින් ඔරොත්තු දෙන අතර දුර්වල අවසාදිත පාෂාණ විශේෂයක්වන හුණුගල්වලින් සෑදුනු යකුලේ මිටිය අයිස් නිසා සිදුවන පාෂාණ පැලීම්වලින් ආරක්‍ෂා කර දෙයි. හිරු බැසයන ක්‍ෂිතිජයට පිටුපා අනෙකුත් හූඩූ ස්ථම්භ අතුරින් හුදකලා වී සිටින තෝ(ර්)ගේ යකුල නම් හූඩු ස්ථම්භය බ්‍රයිස් කැණියමට අපූරු සුන්දරත්වයක් ආරෝපණය කර ඇත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සිදුවන ඛාදනයෙන් යකුලේ මිටි තවත් සිහින් වී කෙදිනක හෝ එය බිම පතිත වනු ඇත. එහෙත් වයිකිං පුරාවෘත්තවලට අනුව ඉන් භූ කම්පන හෝ ගිනි කඳු පිපිරීම් ඇති නොවනු ඇත.


 Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment