ලිපි එකතුව


Thursday, November 3, 2011

80. අත් වැසුම්

80. අත් වැසුම්/ The Mittens (යූටා/ ඇරිසෝනා,  ඇමරිකා එක්සත් ජනපදය)


කොළරාඩෝ සානුවට අයත් ස්මාරක නිම්නය නැතහොත් පර්වත නිමනය අවසාදිත පාෂාණ විශේෂයක් වන වැලි ගල්වලින් සැදුම් ලත් බියුට සහ සානු රාශියක එකතුවකි. බියුට යනු අංශක 90ක් පමණ බෑවුමැති, මූදුනත චතුරශ්‍රාකාර හුදකලා පර්වත පිහිටීමකි. උතුරු ඇරිසෝනා ප්‍රාන්තයටත්, දකුණු යූටා ප්‍රාන්තයටත් අයත් මෙම නිම්න භූමියෙහි සමහර බියුට අඩි දහස ඉක්මවා අහස උසට නැඟී සිටියි. නිම්නය සහිත භූමිය "Navajo" ගෝත්‍රික වනෝද්‍යානය යටතේ පාලනය වෙයි.

මීට වසර මිලියන 50කට පමණ පෙර මෙම භූමිය මුළුමනින්ම සානුවක් ලෙස පැවති බව සැලකෙන අතර එය තදැති වැලිගල්වලින් සමන්විතව තිබිණි. සානුවේ තැනින් තැන කුඩා යමහල් විසිර පැවති අතර කාලායගේ ඇවෑමෙන් සුළඟ සහ ජලයෙන් සිදුවූ ඛාදනය හේතුකොටගෙන සානුවේ මතු පිට ඛාදනය වී ඇත. මෙහිදී සානුවේ මෘදු  මතුපිට ඛාදනය වී, තදැති අවසාදිත පාෂාණයෙන් ආවරණය වූ යමහල්හි ආග්නේය පාෂාණ මධ්‍යය නිරාවරණය වී ඇති අතර ඒවා වර්තමානයේ චතුරශ්‍රාකාර ගල් ටැඹ රාශියක් ලෙස දිස් වේ.

 නීම්න භූමියට පිවිසෙන ප්‍රධානම මාර්ගය උතුරු දෙසින් වැටී ඇත. එම සෘජු හුදකලා මාවත ඔස්සේ ගමන් කරන ඔබට ඈත ක්‍ෂිතිජයෙන් අහසට පැන නඟිනා රත් පැහැති ශෛලමය ටැඹ රාශියක් දැක ගත හැක. එසේ දිස්වන ගල් ටැඹ අතරින් වඩාත් කැපී පෙනෙන ගල් ටැඹ ද්විත්වයක් වේද ඒවා "අත් වැසුම්"යන අනවර්ථ නාමයෙන් හැඳින්වේ. එසේ විශේෂ නමක් ලැබීමට හේතු වී ඇත්තේ බැලූ බැල්මට ඒවා යෝධ අත් වැසුම් දෙකක් ලෙස දිස්වන බැවින් හා ඒ ගල් ටැඹ ද්විත්වයේම මහපට ඇඟිල්ලක ආකාරයෙන් ප්‍රධාන ටැඹෙන් වෙන්වූ ඊට යාබදව පිහිටා ඇති උසැති සිහින් ගල් ටැඹයි. උසින් අඩි දහසද ඉක්මවන මෙම යෝධ කුළුණු දෙකින් එකක් නැගෙනහිරින්ද අනෙක ඊට ප්‍රතිවිරුද්ධ බටහිර දෙසින්ද පිහිටා ඇත.  


මෙම චතුරශ්‍රාකාර ගල් ටැඹ හෙවත් බියුටවල මධ්‍යය ඉහත සඳහන් කල පරිදි ආග්නේය පාෂාණයක් වන අතර අවසාදිත පාෂාණ වර්ග ස්ථර 3කින් එය ආවරණව පවතී. පහලම ස්ථරය හෙවත් පාදම සමන්විත වන්නේ ඓන්ද්‍රීය ශල්ක නම් අවසාදිත පාෂාණ විශේෂයකිනි. ශල්ක යනු කාලය තිස්සේ රොන් මඩ තැන්පත් වී නිර්මාණය වූ අවසාදිත පාෂාණ විශේෂයක් වන අතර ඓන්ද්‍රීය පෂාණ යනු කාලයක් තිස්සේ ශාක හා සත්ත්ව කොටස් තැන්පත් වී නිර්මාණය වූ අවසාදිත පාෂාණ විශේෂයකි. ඓන්ද්‍රීය ශල්ක යනු එම පාෂාණ වර්ග දෙකේම සංයුතියෙන් සැදුම් ලද්දකි. මධ්‍ය ස්ථරය හෙවත් පාදමට ඉහලිනුත් මුදුන් ස්ථරයට පහල ස්ථරය සමන්විත් වන්නේ "de Chelly" වැලි ගල් නම් මෘදු අවසාදිත පාෂාණ විශේෂයකිනි. මෙම පාෂාණ නිර්මාණය වන්නේ අවසාදිත ද්‍රව්‍යය( රොන් මඩ/ වැලි) පොළවට ආනතව තැන්පත් වීමෙනි. මුදුන් ස්ථරය "Shinarump" (වැලි තට්ටුවක් මත මඩ තට්ටුවක් ඒ මත නැවතත් වැලි තට්ටුවක් වශයෙන් කාලයක් තිස්සේ තැන්පත් වී නිර්මාණය වන අවසාදිත පාෂාණ විශේෂයක්)  නම් ශක්තිමත් අවසාදිත පාෂාණයෙන් නිර්මිත අතර පහල ස්ථර ඛාදනයෙන් ආරක්‍ෂා කරයි. 


 නිම්න භූමියේ වඩාත් කැපී පෙනෙන රත් පැහැයට හේතු වී ඇත්තේ "siltstone" නම් අවසාදිත පාෂාණයේ ඇති අයන් ඔක්සයිඩ් කාලයක් තිස්සේ කාලගුණ විපර්යාසයන්ට නිරාවරණය වූ බැවින් යැයි සැලකේ. සමහර පාෂාණ නිල් මිශ්‍රිත අළු පැහැයට හේතු වී ඇත්තේ මැංගනීස් ඔක්සයිඩ් මඟින් බව සොයාගෙන ඇත. මෙම ගල් ටැඹ නැරඹීමට හොඳම වේලාව වන්නේ හිරු නැඟ එන සහ බැස යන විනාඩි කිහිපයයි. එවිට හිරු කිරණවල රත් පැහැය, ගල් ටැඹ මතට වැටී ස්වාභාවයෙන්ම රත් පැහැ පාෂාණයන්ගේ ලෝහිත පැහැය තවත් තීව්‍ර වේ. "අත් වැසුම්" බියුට ද්විත්වයට යාබදව ඇති තෙවන බියුටය "Merrick" නම් බියුටයයි. එය නම් කර ඇත්තේ රිදී සොයමින් එහි ඇවිද ආ "Merrick" නම් ඉංග්‍රීසි ජාතිකයා සිහි වීම පිණිසයි. ජන වහරට අනුව ඔහු රිදී ඉල්ලමක් සොයා ගත් අතර විදේශික ආක්‍රමණවලින් කුපිත වූ ඇමෙරිකානු ස්වදේශික ගෝත්‍රයක් වූ "Navajo" ගෝත්‍රිකයන් අතින් මැරුම් කෑ බව පැවසේ.


 Wikipedia
UNESCO NATURAL WONDERS

2 comments:

  1. You visit all these places ? However it is happy to at least knowing these places. Your writing style is very good and it has that භූගෝලීය taste. :)

    Keep writing Madam. I am a regular visitor.

    ReplyDelete
  2. Not at all Shan... I've never visited any place that've been mentioned here... thanks for reading these articles. yeah it is a brief description of particular place's beauty + scientific significance.

    ReplyDelete