ලිපි එකතුව


Tuesday, November 15, 2011

81. ඩයිනසෝ(ර්) ස්මාරක ජාතික උද්‍යානය

81. ඩයිනසෝ(ර්) ස්මාරක ජාතික උද්‍යානය/ Dinosaur Monument National Park (යූටා/ කොළරාඩෝ,  ඇමරිකා එක්සත් ජනපදය)

ඔබ දන්නවාද, ඇතැම් පාෂාණ තුල වර්ෂ මිලියන ගණනක් ඈත ඉතිහාසය සටහන් වී ඇති බව? ලෝකයේ බොහෝ ස්ථානවලින්  වසර මිලියන ගණනාවකට පෙර මිය ගිය ශාක සහ සතුන්ගේ කොටස් පාෂාණ තුල සුරැකිව තිබී සොයාගෙන ඇති අතර මේවා පොසිල යනුවෙන් හඳුන්වයි. මේවායෙහි ඇති වැදගත්කම නම් පොසිල අධ්‍යයනය මඟින්, කලින් කලට පෘතූවිය මත ජීවය වෙනස් වූ ආකාරය සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් ලබා ගත හැකිවීමයි. තවද පොසිල අධ්‍යයනය මඟින් පුරාතන යුගවල පෘතුවියේ පැවති පාරිසරික තත්ත්වයන් හා කාලගුණ විපර්යාස ගැන අවබෝධයක් ලබා ගත හැකි වේ. ප්‍රධාන වශයෙන්ම පොසිල, ශාක සහ සත්ත්ව යනුවෙන් කොටස් දෙකකට බෙදේ. ඒ අතර ඩයිනසෝර් වැනි සුවිසල් සත්ත්ව පොසිලද අන්වීක්‍ෂයක් මඟින් නැරඹිය යුතු ඉතා කුඩා පොසිලද වේ.


මියගිය සත්වයෙක් හෝ ශාකයක් පොසිලයක් බවට පත් වීමට වසර මිලියන ගණනක් ගතවේ. සාමාන්‍යයෙන් සත්වයෙක් හෝ ශාකයක් මිය ගිය වහා ඒවා කුණු වීමට පටන් ගනී, එහෙත් ඒවා පොසිලයක් බවට පත්වීමට නම් සම්පූර්ණයෙන්ම කුණු වීමට පෙර   පෙර ඒවා ස්වාභාවික ක්‍රමයකට මිහිදන් විය යුතුය. උදාහරණයක් ලෙස අවසාදිත පාෂාණ තුල ඇති පොසිල දැක්විය හැක. අවසාදිත පාෂාණ නිර්මාණය වන්නේ රොන්මඩ වන් අවසාදිත ද්‍රව්‍ය කාලයක් පුරා තට්ටු ලෙස තැන්පත් වීම මඟින් පසු කලෙක එම මඩ තට්ටු ඝනැති පාෂාණයක් බවට පරිවර්තනය වීම මඟිනි. සමහර සත්ත්ව සහ ශාක කොටස් මිය ගිය වහා මෙම අවසාදිත රොන් මඩ සමඟ ගසා ගෙන විත් රොන් මඩ තට්ටු අතර තැන්පත් වේ. කාලයත් සමඟ සතුන්ගේ මෘදු සැකිල්ල දිරා පත්ව යන අතර ඝණ සැකිල්ල පමණක් මඩ තට්ටු අතර තැන්පත් වේ. එහෙත් ගොඩබිම මෙන් නොව සාගර පත්ලෙහි මඩ තට්ටු අතර පොසිලව ගිය ඇතැම් ජීවීන්ගේ මෘදු සැකිල්ල පවා සංරක්‍ෂිතව තිබූ ලොව ස්ථාන කිහිපයක් වාර්තා වී ඇත.  ඔබට මතක ඇති කැනඩාවේ බර්ජිස්හි අවසාදිත පාෂාණ තුලින් හමු වූ පොසිල. මෙසේ මඩ තට්ටු අතර තැන්පත් වන සත්ත්ව ශරීර තුලට අවසාදිත පාෂාණවල අඩංගු ඛණිජ ද්‍රව්‍ය අවසෝෂණය වී කාලයත් සමඟ ඒවාද පෙනුමෙහි වෙනසක් නොවී පාෂාණ බවට පත්වෙයි.


ලෝකයේ ප්‍රධාන පොසිල තැන්පතු අතර උතුරු ඇමෙරිකාවේ පොසිල නිධි වලට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. උතුරු ඇමෙරිකාවේ වාර්තාවන ප්‍රධාන පොසිල නිධි කිහිපයක් පහත දැක්වේ.
1. කොල්විල් ගංගාව, අලැස්කාව
2. ඩ්‍රම් හෙලර්හි නිසරු බිම්, කැනඩාව (10 වෙනි ලිපිය)
3. බර්ජීස්හි ශල්ක, කැනඩාව (7 වෙනි ලිපිය)
4. හේගර්මන් පොසිල තැන්පතුව, ඇමරිකා එක්සත් ජනපදය/ අයිඩහෝ ප්‍රාන්තය
5. ඩයිනසෝ(ර්) ස්මාරක ජාතික පොසිල තැන්පතුවඇමරිකා එක්සත් ජනපදය/ යූටා, කොළරාඩෝ ප්‍රාන්ත
6. කෝ(ර්)නෝ ගං දඹය, ඇමරිකා එක්සත් ජනපදය/ වයෝමිං ප්‍රාන්තය
7. කැන්සස්හි අභ්‍යන්තර මුහුදු, ඇමරිකා එක්සත් ජනපදය
8. ජොගින්ස් නෝවා ස්කෝෂා, කැනඩාව
9. රැන්චෝ ලා බ්‍රියා තාර ගොහොරුව (55 ලිපිය),  ඇමරිකා එක්සත් ජනපදය/ කැලොෆෝනියා ප්‍රාන්තය
10. ටෙක්සාස්හි රක්ත තැන්පතුව,  ඇමරිකා එක්සත් ජනපදය


මෙම ලිපියට පාදක වන ඩයිනසෝර් ස්මාරක ජාතික පොසිල තැන්පතුව ඇත්තේ යූටා සහ කොළරාඩෝ ප්‍රාන්ත වෙන් කරමින් දිවෙනා  "යුනිටා" කඳු පංතියෙහි ගිණිකොණ දිග බෑවුමෙහි ග්‍රීන් ගංගාවෙන් යැම්පු නම් අතු ගංගාව හට ගන්නා ස්ථානයේදීය. මෙම පොසිල, වැලි ගල් සහ *සම්පිණ්ඩිත අවසාදිත පාෂාණ තුල තිබී සොයාගෙන ඇති අතර මේවා වසර මිලියන 150කට පෙර වූ ජුරාසික් යුගයට අයත් බව පැවසේ. පොසිල විද්‍යාඥයින්ගේ අනුමානවලට අනුව එකල මෙහි ගංගාශ්‍රිතව ජීවත්වූ ඩයිනසෝරයන් මිය ගිය පසු මෙම ස්ථානයට ගසාගෙන විත් මඩ වැනි අවසාදිත ද්‍රව්‍ය අතර වැලලී ගොස් ඇත. පසු කලෙක කඳු නිර්මාණය වන ක්‍රියා වලියෙන් මෙම ප්‍රදේශය ඉහලට එසැවී සහ අවසාදිත පාෂාණ ඛාදනය වී වැලලී ගොස් පොසිල බවට පත් වූ ඩයිනසෝරයන් මතු වීමට පටන් ගැනුනි. 1909 දී පාෂාණීය ධාතු පිළිබඳ විද්‍යාඥ අර්ල් ඩග්ලස් විසින් මුල් වරට මෙහි කැණීම් කල අතර ඔහු සිදු කල කැණීම් මඟින් ඩයිනසෝර් පොසිල දහස් ගණනක් සොයා ගැනිණ. මෙම පොසිල තැන්පතුවේ විශේෂත්වය වන්නේ උතුරු ඇමෙරිකා මහද්වීපයෙහි වාර්තා වූ ඩයිනසෝර් විශේෂ වලින්, භාගයකටත් වඩා ඩයිනසෝර් විශේෂ මින් වාර්තා වීමයි. 
Source=http://en.wikipedia.org/wiki/Dinosaur
මිනිසෙකුගේ ප්‍රමාණය විවිධ ඩයිනසෝර් කාණ්ඩ හා සංසන්දනය.


පොසිල වර්ගීකරණය කිරීමේදී ප්‍රධාන කාණ්ඩ තුනකි: පෘෂ්ඨවංශීන්, අපෘෂ්ඨවංශීන් සහ ශාක. පෘෂ්ඨවංශීන්: ක්‍ෂීරපායින්, උරග, පක්‍ෂීන්, ටෙට්‍රාපොඩ්ස් සහ මත්ස්‍ය යන කාණ්ඩ වලට බෙදෙන අතර ඩයිනසෝරයන් අයත් වන්නේ උරග කාණ්ඩයටයි. ප්‍රධාන ඩයිනසෝර් වර්ග කිහිපයක් දැකිය හැකි අතර ඒ ඒ ඩයිනසෝර කාණ්ඩ අතරින් ඩයිනසෝර් ස්මාරක උද්‍යානයෙන් හමු වූ ඩයිනසෝර විශේෂ පමණක් මෙහි දක්වා ඇත.
Source=http://en.wikipedia.org/wiki/Theropod
මිනිසෙකුගේ ප්‍රමාණය තෙරපොඩ් ඩයින්සෝර් විශේෂ සමඟ සංසන්දනය

1. සොරිස්කීයන් (උකුල ප්‍රදේශය වර්තමාන කටුස්සෙකුට සමාන ඩයින්සෝරයන්)
    1.1. තෙරපොඩ් (සොරිස්කීයන් කාණ්ඩයට අයත් සුවිසල් මාංශ භක්‍ෂක ඩයිනසෝරයන්)
          - සෙරටසෝරස්
          - ටර්වොසෝරස්
          - ඇලොසෝරස්
      1.2. පොසොරොපොඩ්ස්(සුවිසල් ශාක භක්‍ෂක ඩයිනසෝරයන්)
          * මෙම කාණ්ඩය ඩයිනසෝර් ස්මාරක උද්‍යානයෙන් හමු වී නැත.
    1.3. සෝරපොඩ් (පෘතුවිය මත එතෙක් මෙතෙක් විසූ සුවිසල්ම සත්ත්ව කාණ්ඩය වේ. උස මීටර 30කි, බර ටොන් 50කි, ශාක භක්‍ෂකය)
            - අපැටොසෝරස්
            - බැරොසෝරස්
            - කැමරසෝරස්
            - ඩයිප්ලොඩකස්
            - හැප්ලොකන්තොසෝරස්
2. ඔනීතිස්කියන් (උකුල ප්‍රදේශය පක්‍ෂියෙකුට සමාන ශාක භක්‍ෂක ඩයිනසෝරයන්)
    2.1. ස්ටෙගසෝර්
           - ස්ටෙගසෝරස්
    2.2 ඕර්නිතොපොඩ්
          - ඉග්වානාඩොන්ට්
          - යූටියොඩොන්
          - ඩ්‍රයෝසෝරස්
   * පහත ඔනීතිස්කියන්  කාණ්ඩ ඩයිනසෝර් ස්මාරක උද්‍යානයෙන් හමු වී නැත.
    2.3 ඇංකිලෝසෝරස්
    2.4 පැකිසෙෆ්ල්සෝරස්
    2.5 සෙරටොප්සියන්ස්
ඉහත සඳහන් කල ඩයිනසෝර් විශේෂවලට අමතරව ආදී කාලීන කැස්බෑ, කටුසු සහ කිඹුලන් විශේෂවල පොසිලද හමුවී ඇත.
    
  Wikipedia
UNESCO NATURAL WONDERS

No comments:

Post a Comment