ලිපි එකතුව


Wednesday, November 16, 2011

82. ගනිසන් නදියෙහි කාලවර්ණ කැණියම

82. ගනිසන් නදියෙහි කාලවර්ණ කැණියම/ Black Canyon of the Gunnison (යූටා/ කොළරාඩෝ,  ඇමරිකා එක්සත් ජනපදය)
Source- http://www.flickr.com/photos/jmwnaturesimages/6347398509/sizes/o/in/photostream/

අඩි දෙදහස් හාරසියයක් ගැඹුරු ලම්භාකාර ප්‍රපාත දෙකකට මැදිව ගනිසන් නදිය ගලා බස්නා අඳුරු කැණියම පතුලේ දසුන බියකරුය. ගැඹුරු ප්‍රපාතයන්ගේ ලම්භාකාර බව නිසාම අඳුරු සෙවණැලිවලින් වැසී ගිය කැණියම පතුල හිරු එළිය දකින්නේ මද වශයෙනි. එනිසාම කාලවර්ණයෙන් දිස්වන මෙම බියකරු කැණියම බ්ලැක් කැණියන් හෙවත් කාලවර්ණ කැණීයම ලෙස හඳුන්වයි. 


දකුණු අන්තයෙන් කැණියම ගැටිය ඔස්සේ දිවෙන මාර්ගයේ ගමන් කරන්නන්ට පහසුවෙන් දර්ශනීය මෙන්ම ලොමු දැහැ ගන්වන කැණියම පතුල නැරඹීමට හැකි සේම ඉතා කටුක දුර්ග මාර්ගයක් ඔස්සේ පැය දෙකක ගමනකින් කැණියම පතුලෙහි ඇති ගනිසන් ගංගාවට ලඟා විය හැක. එහෙත් ආපසු කැණියම ගැට්ටට ලඟා වීමට පැය හතරක් ගතවේ. ඒ හැර අදාල මෙවලම් සහිතව ලම්භාකාර ප්‍රපාත බැසීම සහ නැඟීම කල හැකි අතර පලපුරුදු ගිරිදුර්ග තරණය කරන්නන් විසින් පමණක් එම ක්‍රියාවලීන්හි යෙදේ. හිරු එළීය මඳ අඳුරු කැණියම පතුලේ බිහිසුණු ලෙස ගලා යන ගනිසන් නදියෙහි ඔරු පැදීමක නිරත වීමට අවස්ථාව හිමි වන්නේ අවදානම් සහගත ඔරු පැදීමෙහි සමත් ප්‍රවීණයන්ට පමණි.


කොළරාඩෝ ගංගාවේ අතු ගංගාවක් වන ගනිසන් නදිය ගලා යන කාලවර්ණ කැණියමේ දිග කිලෝමීටර 77ක් වන අතර කැණියම ඔස්සේ ගංගාව සාමාන්‍යයෙන් කිලෝමීටරයට මීටර 5ක් වූ බැස්මකින් ගලා යයි. එය උතුරු ඇමෙරිකා මහද්වීපයෙහි ගංගාවක පස්වන ශීඝ්‍රතම බැස්ම වේ. කැණීයමේ පටුම ස්ථානය අඩි 40කි. කැණියමේ ගැඹුර සහ දළ බෑවුම නිර්මාණය සඳහා කෙලින්ම ගනිසන් නදියෙන් සිදු වූ ඛාදනය වගකිව යුතු අතරම ඒ හැර විවිධ භූ ගෝලීය ක්‍රියාවලි කිහිපයක්ද බලපා ඇත. මීට වසර බිලියන 1.7 කට පෙර විපරීත (Metamorphic) යුගයේ නිර්මාණය වී ඇතැයි සැලකෙන කැණියමෙහි බිත්ති ප්‍රාග් කේම්බ්‍රීය නයිස් (කළු ගල් විශේෂයක්) සහ ශිස්ට් (පතුරු ගල්) පාෂාණයෙන් නිර්මාණය වී ඇති අතර අතරින් පතර  විශාල වයිරම් ආකාරයෙන් පැතිර ගිය ලා කහ පැහැ පෙග්මටයිට් (ස්ඵටික ආග්නේය පාෂාණ විශේෂයක්) නම් පාෂාණ විශේෂය දැකිය හැක. මීට වසර මිලියන 15කට පෙර තම ගමන ආරම්භ කල ගනිසන් නදිය විසින් වසර සියයකට අඟල බැගින් සිදු කල ඛාදනයෙන් කැණියමේ වත්මන් ප්‍රපාතාකාර බෑවුම් නිර්මාණය වී ඇතැයි සැලකේ.

    
  Wikipedia
UNESCO NATURAL WONDERS

1 comment: