ලිපි එකතුව


Friday, January 20, 2012

83. මහා වාලුකා වැටි ජාතික උද්‍යානය


83. මහා වාලුකා වැටි ජාතික උද්‍යානය/ Great Sand Dunes National Park (කොළරාඩෝ ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)

"සන්ග්‍රේ ද ක්‍රිස්ටෝ" කඳු වැටියෙහි බටහිර පාමුලින් පිහිටා ඇති ශාන්ත ලුයිස් නිම්න භූමියෙහි අඩි 750ක් වූ, උතුරු ඇමෙරිකාවේ උසම වාලුකා වැටිය (වැලි පරය) දැක ගත හැකි අතර වර්ග කිලෝමීටර 90ක ප්‍රදේශයක් පුරා විසිර පවතී. වාලුකා වැටි නැරඹීම සඳහා දිනයෙහි උචිතම කාල පරාසය වන්නේ ඉර නැඟ එන සහ ඉර බැස යන විනාඩි කිහිපයයි, ස්වාභාවිකවම රන්වන් පැහයට හුරු වාලුකා වැටි, ඉහත සඳහන් වේලාවන්හීදී වඩාත් රන්වන් පැහැයෙන් බබළන අතර ඒ ඒ වැටිවල මායිම් ඉතා අලංකාර අයුරින් දිස්වේ. මෙම වැලි කඳු තරණය කිරීම ආශ්වාදජනක කටයුත්තක් වන අතර තරණය කිරීම සඳහා විශේෂ මාවතක් නැත. ඕනෑම ස්ථානයකින් තමන් කැමති දිශාවකින් වැලි කඳු මුදුනට ලඟා විය හැක. උසම වැලි පරය තරණය කිරීමට එහි පාමුල සිට ඔබ නැඟිය යුත්තේ හැතැප්ම භාගයක දුරක් පමණි. එහෙත් වැලි කඳු නැගීම සඳහා උචිත අළුයම සහ සන්ධ්‍යා භාගයයි, මන්ද ගිනි ගහන දහවලෙහි වැලි මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහල යන බැවිනි (විශේෂයෙන් ගිම්හාන කාලයේදී). මෙහි ඇති තවත් ආකර්ෂණීය නිර්මාණයක් නම් "මෙඩානෝ" නම් කුඩා ගංගාවයි. වසන්ත සෘතුවේදී සක්‍රීය වී, වැලි පරවල නැගෙනහිර මායිමෙන් ගලා යන මෙඩානෝ ගංගාව පෝෂණය වන්නේ හිම පතනයෙන් වන අතර එය සන්ග්‍රේ ද ක්‍රිස්ටෝ කඳු මුදුනින් තම ගමන ආරම්භ කරයි. අඩි දෙක තුනක් ගැඹුරු මෙම කුඩා ගංගාවේ විශේෂත්වය වන්නේ ව්ටෙක ඉතා හොඳින් ගලා යන ජල පහර සමහර තැන්හි දී සැණෙකින් වැලි තුල නොපෙනී ගොස් අඩි කිහිපයක් දුරින් නැවතත් හොඳින් ගලා යන ජල පහර දිස් වීමයි.


භූ විද්‍යාඥයින්ගේ මතයට අනුව මෙම වාලුකා වැටි වසර 440,000කට පෙර නිර්මාණය වීම ආරම්භ වී ඇත. එකල අවට කඳු මුදුන් මත ග්ලැසියර නිර්මාණය වී වසර දහස් ගණනක් පුරා ඒවා වත්මන් ශාන්ත ලූයිස් නිම්නයට ගල් කැබලිත් සමඟ ගලා විත් ඇත. වසර 12,000 කට පෙර පෘතුවියේ ඇති වූ උණුසුම් දේශගුණයත් සමඟ කඳු මුදුන්හි තිබූ ග්ලැසියර දිය වී ගංගා සහ ඇල මාර්ග බවට පරිවර්තනය වී තිබේ. එමඟින් පෙරටත් වඩා වැඩි ප්‍රමාණයකින් රොන් මඩ, බොරළු සහ වැලි, කඳු මුදුන්හි සිට ශාන්ත ලූයිස් නිම්නයට ගසා විත් තිබේ. තවද නිරිත දිගින් වැලි සමඟ හමා එන සුළං ශාන්ත ලුයිස් නිම්නයේ නැගෙනහිර අන්තයෙහි වැලි තැන්පත් කරන්නේ ස්න්ග්‍රේ ද ක්‍රිස්ටෝ කඳු වැටිය එම වැලි රැගත් සුළඟට තවත් දුර යාමට ඉඩ නොදී බාධකයක් ලෙස ක්‍රියා කරන බැවිනි. සුළං මඟින් වැලි තැන්පත් කිරීමේ ක්‍රියාවලිය නොකඩවා සිදුවන අතර වාලුකා වැටිවල ප්‍රමාණය කෙමෙන් කෙමෙන් විශාල වෙමින් පවතී.


කොළරාඩෝ හි වාලුකා වැටිවල විශේෂත්වය වන්නේ ඒවා ලොව අනෙකුත් වාලුකා වැටි මෙන් නිතර තම හැඩය වෙනස් නොකිරීමයි. එයට හේතුව නම් මෙම වාලුකා වැටි තුල ඇති තෙතමනය නිසා වැලි අංශු ඉතා තදින් එකිනෙක බැඳී පැවතීමයි. මෙම වාලුකා වැටිවල තෙතමනයට හේතු වී ඇත්තේ ඒවා අවට ගලා යන ජල පහරවලින් ජලය අවශෝෂණය කර ගන්නා ස්පොන්ජ් එකක් ලෙස ක්‍රියා කරන බැවිනි.

      Wikipedia
UNESCO NATURAL WONDERS

3 comments:

  1. add your Blog http://nimnaya.info/

    ReplyDelete
  2. hello Ishani madam,

    It is time to write about another place right ? You are busy or something ?
    I came here for more than 5 time and still seeing same post.

    Shan

    ReplyDelete
  3. Hi Shan, yeah was bit busy... sorry for the delay

    ReplyDelete