ලිපි එකතුව


Thursday, August 16, 2012


89. ඇරිසෝනාවේ මහා කැණියම/ Grand Canyon (ඇරිසෝනා ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝකයේ ස්වාභාවික පුදුම හත ලෙස පහත සඳහන් ස්ථාන නම් කර ඇත.

  1. උතුරු එළි/ Aurora Borealis - උත්තර ධ්‍රැවය
  2. මහා කැණියම/ Grand Canyon- ඇරිසෝනා, ඇ. එ. ජ.
  3. පරිකුටීන් ගිනිකන්ද/ Paricutin Volcano- මෙක්සිකෝව
  4. වික්ටෝරියා දිය ඇල්ල/ Victoria Falls- සැම්බියාව/ සිම්බාබ්වේ
  5. එවරස්ට් කඳු ශිඛරය/ Mount Everest - නේපාලය/ ටිබෙටය
  6. මහා බාධක පරය/ Great Barrier Reef- ඕස්ට්‍රේලියාව
  7. රියෝ ද ජැනයිරෝ වරාය/ Harbor of Rio de Janeiro- බ්‍රසීලය 
ඒ අනුව ඇරිසෝනාවේ මහා කැණියම ලෝකයේ ස්වාභාවික ස්ථාන අතරින් අද්විතීය ස්ථානයක් හිමි කර ගැනීමට සමත්වී ඇත. කොළරාඩෝ ගංගාවේ ජලාපවහන පද්ධතිය විසින්, කොළරාඩෝ සානුව ඛාදනය කරමින් නිර්මාණය කර ඇති මහා කැණියමේ ගැඹුර කිලෝ මීටර 1.6ක් වන අතර පලල හැතැප්ම 18කි. මෙය ලෝකයේ ගැඹුරුම හෝ පලලම කැණියම නොවූවත්, අතිශය සංකීර්ණ සහ අලංකාර ලෙස සුවිසල් ප්‍රදේශයක් පුරා පැතිර පවතින, පෘතුවියේ සම්භවය වර්තමානයට දැක බලා ගැනීමට විවෘතව ඇති ද්වාරයකි.   

දිනයේ ප්‍රථම වරට සූර්යය කිරණ පොළව සිප ගන්නා හිමිදිරි උදෑසන රන්- රිදී පැහැයෙන් බබළන කැණියම් පද්ධතිය, ආලෝකය තදින් පතිත වන මධ්‍යහ්නයේදී දුඹුරු පැහැයෙන් දිස් වේ. හිරු බැස යන සැඳෑවේ තද ලෝහිත පැහැ සළුවක් පොරවගන්නා කැණියම, සඳු නැග ඒමත් සමඟ  චන්ද්‍ර කාන්තිය වැදී නීල වර්ණයට හුරු දම් පැහැයෙන් බබළයි.   භූ විද්‍යාඥයින් විසින් මේ තාක් ලොව වැඩි වශයෙන්ම අධ්‍යයනය කරන ලද ප්‍රදේශයක් වේද, ඒ ඇරිසෝනා හි, මහා කැණියමයි. වසර බිලියන 2ක අතීතයක තොරතුරු සපයන මහා කැණියමේ පාෂාණ ස්ථර තුලින් පෘතුවිය විසින් මෙතෙක් පසු කල භූ ගෝලීය යුග හතරෙන්, තුනක්ම මනාව පිළිබිඹු වේ.  අර්ධ ශුෂ්ක පරිසරයක පිහිටා ඇති කැණියම් පද්ධතියේ දර්ශනීයවූත් මහේශාක්‍යයවූත් දසුන පරයා නැගී සිටින්නේ    එහි  සුවිසල් විද්‍යාත්මක වටිනාකමයි. පෘතුවිය මේ තාක් පසු කරන ලද භූ ගෝලීය යුග මෙසේයි.

  1. ප්‍රාග් කේම්බ්‍රියානු යුගය- (වසර බිලියන 4.6- මිලියන 600කට පෙර) සාගර නිර්මාණය, පෘතුවි වායු ගෝලය නිර්මාණය සහ ජීවයේ සම්භවය සිදු වූවා යැයි සැලකෙන්නේ ප්‍රාග් කේම්බ්‍රියානු යුගයේදීයි. 
  2. පේලියෝසොයික්- (වසර මිලියන 600- මිලියන 225කට පෙර) කටුව සහිත මුහුදු ජීවීන්ගේ සිට   මත්ස්‍යයින්, උරගයින්, කෘමීන්, උභය ජීවීන්, මීවන ශාක සහ කේතුධර ශාක දක්වා ජීවය පරිණාමය වූ ආකාරය පෙන්නුම් කරයි.
  3. මිසෝසොයික්-  (වසර මිලියන 225- මිලියන 65කට පෙර) ඩයින්සෝරයන් බිහිවීම, ආදී කාලීන පක්‍ෂීන්, ඉබ්බන්, කිඹුලන්, කටුස්සන්, වානරයන්, සර්පයන් මෙන්ම මල් හට ගන්නා ශාකද බිහි වූයේ මෙම යුගයේ බව සැලකෙයි.
  4. සෙනෙසොයික්-   (වසර මිලියන 65- වර්තමානය) ක්‍ෂීරපායින් බිහි වීම, වසර 125,000 කට පෙර මිනිසා බිහි වීම (ඉන් පෙර සාධක හමු වී නැත), වසර 10,000 කට පෙර අවසන් හිම යුගයෙන් පසු මිනිස් ජනාවාස පෙරට ඒම.  
මෙවන් සුවිසල් ඉතිහාසයක තතු අනාවරණය කරනා මහා කැණියම නියත වශයෙන්ම ආශ්ර්යයකි. මහද්වීපික තල එකිනෙක ගැටීම හේතුවෙන් කොළරාඩෝ සානුව අයත් භූ තලය ඉහලට එසැවීමෙන් කොළරාඩෝ සානුව නිර්මාණය විය. සානුවක් යනු උස් සම භූමියකි. වසර මිලියන 17කට පෙර සානුව මතින් කොළරාඩෝ ගංගාව තම ගමන් මාර්ගය ස්ථාපිත කරගත්තේය. කොළරාඩෝ ගංගාව පෝෂණය කරනා අතු ගංගාවන්ද පසුව සානුව මතින් ගලා විත් කොළරාඩෝ ගංගාවට එකතු විය. මෙසේ වසර මිලියන 17 ක සිට වර්තමානය දක්වා ගංගාවේ ජල පහරට සානුව ඛාදනය වී ගංගාවේ ගමන් මාර්ගය සානුව මතු පිට සිට කිලෝ මීටර 1.6ක් ගැඹුරට ගියේය. එනම් මීට වසර මිලියන 17කට පෙර සානුව මතින් ගැලූ ගංගාව අද ගලන්නේ සානුවේ මතු පිට සිට කිලෝ මීටර 1.6ක් පහලින්ය. ගංගා මාර්ගය දෙපස ඇත්තේ කි.මී. 1.6ක් අහස උසට විහිදුනු ලම්භාකාර ප්‍රපාතයන්ය. මෙසේ කොළරාඩෝ ගංගාව කිලෝ මීටර 446ක කැණියමක් නිර්මාණය කරමින් ගමන් කරයි. එලෙසම ගංගාවට ජලය සපයන අතු ගංගාද හාත් පස පරිසරය ඛාදනය කරමින් ප්‍රධාන කැණියමට අමතරව කැණියම පද්ධතියක් නිර්මාණය කර ඇත. සානුව මතු පිට සිට එනම් මහා කැණියම ගැට්ටේ සිට පහල බලන ඔබට දැකිය හැක්කේ කිලෝ මීටර 1.6ක් පහලින් නූලක් ආකාරයෙන් ගලනා කොළරාඩෝ ගංගාවයි.  

කි.මී. 1.6 උස කැණියම බිත්ති ප්‍රධාන පාෂාණ ස්ථර තුනකින් සමන්විත වේ. පහලම ස්ථරය සමන්විත වන්නේ වසර බිලියන දෙකක් පැරණි "විෂ්ණු ශිස්ට්" නම් පතුරු ගල් විශේෂයකින් වන අතර ඉහලම ස්ථරය සෑදී ඇත්තේ කෛබාබ් නම් හුණු ගල් විශේෂයකිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ දක්නට ඇති පිරිසිදුම වායුගෝලයක් ඇති ස්ථාන කිහිපය අතුරින් මහා කැණියම විශේෂ වේ. කැණියම ආශ්‍රිත උෂ්ණත්වය, උන්නතාංශය අනුව වෙනස් වේ. කැණීයමේ ඉහල උසකින් පිහිටා ඇති ස්ථානයන්හි උෂ්ණත්වය පහල උන්නතාංශයට වඩා අඩුය. ශීත කාලයේදී ඉහල උන්නතාංශයන්හි හිම පතිත වේ.

විවිධ පරිසර පද්ධතිවලින් හෙබි මහා කැණියම ජෛව විවිධත්වය අතින්ද සුවිශේෂ වේ. කුරුළු විශේෂ 355ක්ද, ක්‍ෂීරපායී විශේෂ 89ක්ද, උරග විශේෂ 47ක්ද, උභය ජීවී විශේෂ 9ක්ද සහ මත්ස්‍යය විශේෂ 17ක්ද දැකිය හැක. ලෝක උරුමයක් වන මහා කැණියම මුළු ලෝකවාසීන්ටම ස්වාභාව ධර්මය විසින් ලබා දුන් දායාදයකි.



      Wikipedia
UNESCO NATURAL WONDERS

1 comment: