ලිපි එකතුව


Sunday, August 9, 2015

104. ගල්කුළු පුරවරය / City of rocks



104. ගල්කුළු පුරවරය /  City of rocks
(නිව් මෙක්සිකෝ ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
      
අඩි දොළහක් තරම් උස ස්ථම්භ වන් ගල් කුළු සමූහය ඈත සිට බලන අයෙකුට පෙනෙන්නේ ගොඩනැගිලි රාශියකින් සමන්විත නගරයක් ක්‍ෂිතිජ රේඛාව මතින් දිස්වන ආකාරයටය. නිව් මෙක්සිකෝහි වර්ග කිලෝමීටර 2.7ක ප්‍රදේශයක් පුරා මෙම ගල් කුළු සහිත අපූර්ව භූ ලක්‍ෂණය දක්නට ලැබේ. ගල්කුළු අතරින් ඇවිද යාමට සැලකිය යුතු අවකාශයක් ඇති අතර ගල්කුළුවල සෙවනැල්ල, ගිනි ගහන අව්වේ ඒ අතරින් ඇවිද යන අයෙකුට විඩාව නිවා ගැනීම සඳහා උපකාරී වේ.

මෙම ස්ථම්භ ආකාර පාෂාණ නිර්මාණය වී ඇත්තේ ගිනිකඳු අළු වලිනි. එනම් වසර මිලියන 35කට පමණ පෙර මෙහි ලාවා අළු ප්‍රවාහයක් ගලාවිත් ඇති අතර ඒවා ක්‍රමක්‍රමයෙන් සංක්‍ෂිප්තව ඝනභවට පත්ව ඇත.  දීර්ඝ කාලයක් වර්ෂාවට සහ සුළඟට නිරාවරණය වී ස්ථරයේ මෘදු ස්ථාන ඛාදනය වී වර්තමානයේ දක්නට ලැබෙන තදැති පාෂාණ ස්ථම්භ පමනක් ඉතිරිව ඇත. නිව් මෙක්සිකෝහි කාන්තාර පරිසරයක පිහිටා ඇති මෙම පාෂාණ, ස්ථම්භ ආකාර වුවත් බොහෝ දෙනෙක් එය සමාන කර ඇත්තේ කාන්තාර භූමියෙන් පැන නැගුනු යෝධ චාර්වක දත් සමූහයක් ලෙසටය. ඒවායෙහි හැඩය බොහෝ දුරට චාර්වක දතකට සමාන කල හැක. සමහරක් ඒවා වක ගැසී හෝ ඇල වී ඇත සමහරක් ස්ථම්භ හරි කෙලින් පිහිටා ඇත. කුළුණු සමූහ වශයෙන් දැක ගත හැකි අතර අතරින් පතර හුදකලාවේ පිහිටා ඇති කුළුණුද වේ. මෙවන් භූ ලක්‍ෂණ ඉතා දුර්ලභ අතර මේ හා සමාන කුළුණු දක්නට ලැබෙන්නේ ලෝකයේ තවත් ස්ථාන හයක පමණි.

මෙම පාෂාණ පුරවරය ගිනිකොණ දිග නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ Deming නම් නගරයේ සිට කිලෝ මීටර 45ක් ඊසාන දෙසට වන්නට ඇති චිවුවාවන් කාන්තාරයේ මිම්බ්‍රෙස් මිටියාවතේ පිහිටා ඇත. මෙම පාෂාණ ස්ථම්භ අතර දිවිගෙවන කුරුළු විශේෂ 35ක් පමණ වාර්තා වන අතර උන් විශේෂ සමහරක් තම කූඩු තනාගෙන ඇත්තේ මෙම පාෂාණවල පැළුම් සහ විවර තුලය. මෙම කුරුළු විශේෂ අතර හිස මුඩු සහ රන්වන් රාජාලියන්, උකුස්සන්, Horned Owls, Cactus wren, Road runners සහ Finches ප්‍රධාන වේ. Rattle snake (විෂඝෝර ඇමෙරිකානු සර්ප විශේෂයක්), Collard lizard (කටුසු විශේෂයක්) සහ Hognose snake යන උරග විශේෂද බහුලව දක්නට ලැබේ. ඒ හැර බිම් ලේනුන්, Jackrabbits (හාවුන් විශේෂයක්), Kangaroo mice සහ Pack rats (මීයන් විශේෂ) සහ Coyotes (වෘක විශේෂයක්) යන ක්‍ෂීරපායී විශේෂද බහුල ලෙස දක්නට ලැබේ.

පාෂාණ පුරවරයේ මිනිස් ජනාවාස තිබූ බවටද සාක්‍ෂි ලැබී ඇත. මිම්බ්‍රෙස් ඉන්දියානුවන් නම් ජන කොට්ඨාශය ක්‍රි.ව. 750 සිට 1250 දක්වා වූ කාල සීමාව තුලදී මෙම ප්‍රදේශයේ ජනාවාස ඉදිකරගෙන සිට ඇත. ඔවුන් මෙම පාෂාණ නොයෙකුත් කර්තව්‍යයන් සඳහා යොදාගෙන ඇත. විශේෂයෙන්ම ධාන්‍ය වර්ග ඇඹරීම සඳහා. විශාල පාෂාණ හොඳින් අධ්‍යයන කලහොත් ඔවුන් තම කාර්යයන් සඳහා ඉන් කුඩා කොටස් කඩා ඉවත් කරගත් බව තවමත් දක්නට ලැබේ. ඒ හැර ස්පාඥ්ඥ දේශගවේශකයින් විසින් ශතවර්ෂ ගණනාවකට පෙර මෙම බිම් කඩ ගවේෂණය කරමින් ඇවිද යද්දී ගල්වල කෙටූ කතිර සලකුණු තවමත් දක්නට ඇත. එමෙන්ම මෙම ප්‍රදේශය ඔස්සේ කැලිෆෝනියාව දෙසට ගිය සංක්‍රමණිකයින්ගේ අශ්ව කරත්තවල රෝද සළකුණුද කාන්තාර පොළොවේ තවමත් නොමැකී පවතී.

වර්තමානයේ පාෂාණ පුරවරය, කඳු නගින්නන්ගේ ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව ඇත.

UNESCO NATURAL WONDERS

Friday, August 7, 2015

103. ශ්වේත වාලුකා කාන්තාරය



103. ශ්වේත වාලුකා කාන්තාරය/ White sand national monument
(නිව් මෙක්සිකෝ ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
      
අනන්තය දක්වා දිවෙන ආශ්චර්යමත් ශ්වේත වාලුකා තලයට ඉහලින් ධවල වළාවන්ගෙන් ගැවසීගත් නීල ආකාශය වේ. ඒ ශ්වේත භූමියත් නීල ආකාශයත් හමුවන ක්‍ෂිතිජ ඉමේ විහිදුනු මහේශාක්‍ය කඳු වළල්ලකි. දැඩි හිරු රශ්මියට නිරාවරණය වූ කාන්තිමත් වාලුකා තලය රැලි සහිතය වෘක්‍ෂලතාදීන්ගෙන් තොරය. බැලූ බැලූ අත කිසිදු ජීවී ප්‍රාණයක් දැක ගත නොහැක. 

නීල ආකාශය ගැන සඳහන් කර නොමැති නම් ඉහත දැක්වෙන්නේ සඳ මතු පිට විස්තරයක්වත්දැයි සැක කල හැක. නැත මේ අප වසන පෘතුවියේම දක්නට ඇති මහේශාක්‍ය ශ්වේත වාලුකා කාන්තාරයයි. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වැනසීම පිණිස ලොව ප්‍රථම පරමාණුක අවිය අත් හදා බැලූ ස්ථානයයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ටූලරව්සා ද්‍රෝණියේ මෙම අසිරිමත් බිම්කඩ පිහිටා ඇත. වෙනත් කාන්තාරයන්හි වැලි සිලිකා ඛනිජයෙන් නිර්මිත වුවත් ශ්වේත වාලුකා කාන්තාරයෙහි වැලි නිර්මිතව ඇත්තේ ජිප්සම් (Calcium sulfate) නම් ඛනිජයෙනි.  ඔබත් මමත් හොඳින් දන්නා හුණු කූර සහ කැටයම් කිරීම පිණිස බිත්ති කපරාරුවට ගන්නා Plaster of paris සාදන්නේ ජිප්සම් ඛනිජයෙනි. ජිප්සම් ඛනිජය, ලුණු මෙන් ජලයේ දියවන සුළුය. කැල්සියම් සල්ෆේට් ද්‍රාවණය වූ ජලය වාෂ්පීකරණයට ලක්වීමෙන් ලුණු කැට වන් ජිප්සම් කැබලි නිර්මාණය වේ.

මෙම භූමියට ජිප්සම් ඛණිජය ලැබෙන්නේ කැල්සියම් සල්ෆේට් ද්‍රාවණය වූ වර්ෂාවෙන් සහ කාන්තාරයේ මායිමක ඇති "Lucero" නම් ජලාශයෙනි. කාන්තාරය ටූලරව්සා ද්‍රෝණියේ පහත්ම ස්ථානයේ පිහිටා ඇති අතර කාන්තාරයේ හාත්පස කඳු වළල්ලකින් ආවරණය වී පවතී. එනිසා කාන්තාරයට වර්ෂාව පතිත වූ විට එම ජලය පිටතට ගලාගෙන යාමට මාර්ගයක් නොමැත. එනිසා ද්‍රෝණියේ එකතුවන ජලය පොළව අභ්‍යන්තරයට කාන්දු වන අතර දැඩි සූර්යය තාපයෙන් වාෂ්පීකරණයටද ලක්වේ. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය වන්නේ ද්‍රෝණියේ ඉතිරිවන ජිප්සම් ස්ඵටිකයි. "Lucero" ජලාශ ඉවුරද වාෂ්පීකරණයට ලක්වීමෙන් ජිප්සම් ස්ඵටික සැලකිය යුතු පරිමාවක් නිර්මාණය වන අතර ඒවා සුළඟ මඟින් කාන්තාර භූමිය වෙතට පරිවහනය වේ. මෙම භූමිය ලොව විශාලම ජිප්සම් තැන්පතුව වේ (වර්ග හැතැප්ම 275ක්). කාන්තාරය තුල ජිප්සම් වැල්ලෙන් නිර්මිත නොයෙකුත් භූ ලක්‍ෂණ දක්නට ඇති අතර සුදෝ සුදු වාලුකා වැටි ඉන් ප්‍රධාන වේ.
විශාලනය කරන ලද ශ්වේත වාලුකා කතරේ ජිප්සම් වැලි කැට
 ශ්වේත වාලුකා කතරෙහි විශේෂත්වය වන්නේ ගිනි ගහන ම්ධ්‍යහ්නයේද ඔබට පාවහන් නොමැතිව වැල්ලේ ඇවිද යාමට හැකි වීමයි. ජිප්සම් ඛනිජය තුල සූර්යාලෝකය, තාපය බවට පරිවර්තනය වීමේ දැඩි මන්දගාමී බව මෙයට හේතු වී තිබේ. 

වෘක්‍ෂලතාදියෙන් තොර දැඩි සූර්යය තාපයෙන් සමන්විත කඨෝර කාන්තාර මායිමේ සතුන් කිහිපයක් තම දිවිපෙවෙත ගත කරයි. එනම් Bleached earless lizard , Apache pocket mouse. මෙම සතුන් තනිකර සුදු පැහැ වන අතර, සුදෝ සුදු කාන්තාර භූමිය සතුරන්ගෙන් ආරක්‍ෂාවීමට කදිමට ඉවහල් වේ. එමෙන්ම පහත සඳහන් ශාකද කාන්තාර මායිමේ දැකගත හැක: Yucca, Cottonwood.
කාන්තාරයට ජිප්සම් සපයන Lucero ජලාශය සහ මිසයිල අත්හදා බැලීමේ කලාපය මෙහි දැක්වේ.
අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ මෙහි සිදු කල ඓතිහාසික අත්හදා බැලීමක් පිළිබඳවයි. ලොව ප්‍රථම න්‍යෂ්ඨික අවි සහ බෝම්බ ව්‍යාපෘතිය වන්නේ මෑන්හැට්න් ව්‍යාපෘතියයි. ඒ යටතේ සිදු කල ලොව ප්‍රථම න්‍යෂ්ඨික අත්හදා බැලීම සිදු කරන ලද්දේ 1945.07.16 වන දින නිව් මෙක්සිකෝහි, ශ්වේත වාලුකා කාන්තාරයේදීයි. වර්තමානයේද කාන්තාරයේ කොටසක් එක්සත් ජනපද හමුදාවේ මිසයිල අත්හදා බැලීමේ කලාපයක් වන අතර එය සාමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් වේ.

UNESCO NATURAL WONDERS

Thursday, August 6, 2015

102. බන්දීරා අයිස් ගුහාව



102. බන්දීරා අයිස් ගුහාව/ Bandera ice cave
(නිව් මෙක්සිකෝ ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
      
අයිස් ගුහා යනු ස්වාභාව ධර්මයේ අතිශය විශ්මිත නිර්මාණයක් වේ. සරලව කිවහොත් එය ස්වාභාවික ශීතකරණයක් වැනිය. ගුහාවෙන් පිටත පරිසරය දහඩිය ගලනා තරමට උණුසුම් වුවත්  අයිස් ගුහාව අභ්‍යන්තරයේ උෂ්ණත්වය කිසිදා හිමාංකයෙන් ඉහල නොයන අතර වසර මුළුල්ලේම ඒකාකාර අගයක් ගනී. එනිසා කිසිදාක අයිස් ගුහාව්ක ඇති අයිස් ස්ථර, උෂ්ණත්වය වැඩි වී දිය වන්නේ නැත. ආදී වාසීන් සහ ඇමෙරිකානු ස්වදේශික ගෝත්‍රික ජනයා වසර 1200ක පමණ ඈත අතීතයේ පටන් බන්දීරා අයිස් ගුහාවෙන් විවිධ කටයුතු සඳහා අයිස් ලබාගෙන ඇති බව පැවසේ. 

බන්දීරා අයිස් ගුහාව පිළිබඳව සඳහන් කිරීමට පෙර එය අයත් ප්‍රදේශයේ පිහිටීම සහ දේශගුණය පිළිබඳව දළ අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ. බන්දීරා අයිස් ගුහාව පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ බටහිරට වන්නට ඇති ග්‍රාන්ට්ස් නම් ප්‍රදේශයේ අඩි 8000ක උන්නතාංශයකිනි. ග්‍රාන්ට්ස් ප්‍රදේශයේ වසර මුළුල්ලේම සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 11ක් පමණ වේ. ශීත කාලයේදී අයිස් ගුහාව පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 1ට වඩා අඩු අතර ගිම්හානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11ක් පමණ වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 267කි.  නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ශීත කාලය වේ.

 අයිස් ගුහා නැමැති විශ්මයජනක නිර්මාණය හටගන්නේ සාමාන්‍යයෙන් ලාවා නල තුල හෝ හුණු ගල් ගුහා තුලයි. බන්දීරා අයිස් ගුහාව නිර්මාණය වී ඇත්තේ ලාවා නලයක් තුලයි. ලාවා නලයක් යනු ගිනි කඳු පිපිරීමකින් අනතුරුව ගලා යන ලාවා ප්‍රවාහයක, බාහිර පෘෂ්ඨය පමණක් ඝනීභවනය වී ඇතුලත හිස් අවකාශයක් නිර්මාණය වීමයි. ගිනි කන්දේ ඇති වන පසු කාලීන පිපිරීම් වලින් පිටවන ලාවාද ප්‍රථම ලාවා ප්‍රවාහය නිසා ඇති වූ ලාවා නලය ඔස්සේම ගලායයි.  
කැලිෆෝනියාහි ලාවා නලයක් 
බන්දීරා යමහලේ සිට අයිස් ගුහාව දක්වා වූ ලාවා නලයේ පිහිටීම
බන්දීරා නම් යමහලෙන් විදාරණය වූ හැතැප්ම විස්සක ලාවා ප්‍රවාහයෙන් හැතැප්ම 17ක් දිගැති ලාවා නලයක් නිර්මාණය වූ අතර එහි කොටසක වර්තමානයේ දක්නට ලැබෙන බන්දීරා අයිස් ගුහාව නිර්මාණය වී ඇත. බන්දීරා යමහල අදින් වසර 10000කට පෙර අවසන් වතාවට සක්‍රිය වූ අතර එය උතුරු ඇමෙරිකාවේ දක්නට ලැබෙන විශිෂ්ඨතම යමහල් අළු කේතු අතරින් එකකි. යමහල් අළු කේතුවක් නිර්මාණය වන්නේ ඉන් විදාරණයවන යබොර, යමහල් අළු සහ අඟුරු වලින් වන අතර එය ශීග්‍ර බෑවුමැති කේතාකාර හැඩයක් ගනී. වර්තමානය වන විට ඉහත කී ලාවා නලයේ බොහෝ ස්ථාන කැඩී බිඳී ඇති අතර එලෙස කැඩී බිඳී ඇති ස්ථාන ගුහා ස්වරූපයක් ගනී. බන්දීරා අයිස් ගුහාවද එලෙස ලාවා නලයේ බිඳී ගිය ස්ථානයක නිර්මාණය වී ඇත. ලාවා නලයක් අයිස් ගුහාවක් බවට පරිවර්තනය වීමට නම් නලය තුල උෂ්ණත්වය වර්ෂය මුළුල්ලේම හිමාංකයට පහලින් තිබිය යුතු සේම එම ශීත කලාපයට වාර්ෂිකව කිසියම් ජල පරිමාවක්ද ගලා ආ යුතුය. බන්දීරා අයිස් ගුහාවට වර්ෂාපතනයෙන්ද හිම දියවී ලෙන තුලට කාන්දු වීමෙන්ද ජලය ලැබේ. එම ජලය ගුහාවේ ශීත කලාපයට ගලා යෑමෙන් අනතුරුව වසරක් පාසා අළුත් අයිස් ස්ථරයක් නිර්මාණය වේ. පර්යේෂණවල ප්‍රථිපල අනුව බන්දීරා ගුහාවෙහි ජලය අයිස් බවට පත්වන්නේ වසර 3400ක පමණ සිටය.

ගිම්හානයේදී අව්වේ ඩහදිය දමමින් ගුහාව නැරඹීමට පැමිණෙන ඕනෑම අයෙකුට බන්දීරා ගුහාවට ඇතුළු වූ පසු දැනෙන අධික ශීතල, විශ්මයජනක අත්දැකීමක් වනු නොඅනුමානය.

UNESCO NATURAL WONDERS

Sunday, June 14, 2015

101. බිස්ටි සහ ඩෙ- න(හ්)- සින් නිසරු බිම/ Bisti badlands and De-Na-Zin Wilderness



101. බිස්ටි සහ ඩෙ- න(හ්)- සින් නිසරු බිම/ Bisti badlands and De-Na-Zin Wilderness
(නිව් මෙක්සිකෝ ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
      
නිව් මෙක්සිකෝහි ජනශුන්‍ය කාන්තාර ප්‍රදේශයක සැඟව ඇති මෙම අපූරු භූමිය සිත් සතන් මවිත කරවන සුළු භූ දර්ශනවලින් සමන්විත වේ. වැලිගල්, මඩගල්, ගල් අඟුරු, සහ ශල්ක ස්ථරවලින් සමන්විත කඳු ගැට ඛාදනයට ලක් වී, ගොඩැලි, ගිරි කඳුරු, ගුහා සහ හූඩූ යන භූ ලක්‍ෂණවලින් සමන්විත අපූර්ව වංකගිරියක් නිර්මාණය වී ඇත. නාවහෝ නම් ස්වදේශික භාෂාවෙන් බිට්සි යනු වැලිගල්වලින් සුසැදි කඳු ගැට යන අර්ථයයි. ඩෙ- න (හ්) -සින් යනු එම භාෂාවෙන්ම කොකුන්ට කියන නමකි. මෙම භූමියට දකුණින් ඇති ස්ථානයක පාෂාණ ස්ථරයක් මත කොටන ලද කොක් රූප, එම නම නිර්මාණයට හේතුවූවා යැයි සැලකේ.

වසර මිලියන 80-65 කට පෙර පැවති ක්‍රිටේසීය යුගයේදී බිට්සි කාන්තාර ප්‍රදේශය, හරිත පැහැයෙන් වර්ණවත් වූ වගුරු බිමක් වූ අතර යෝධ උරගයින්ගේ වාසස්ථානයක් විය. යෝධ ඩයිනසෝරයන් විසින් අණසක පැතිරවූ මෙහි, වෙනත් උරගයින් සහ ආදිකල්පික ක්‍ෂීරපායින්ද විසූ බවට සාක්‍ෂි ලැබී ඇත. මෙම භූමියෙන් ඉතා හොඳින් සංරක්‍ෂණය වූ සත්ත්ව පොසිල සහ පාෂාණීභූතවූ ශාක කොටස් හමුවී ඇති අතර ඒවා ඩයිනසෝර යුගයේ අග භාගයේදී ශාකවල සහ සතුන්ගේ වෙනස් වීම පිළිබඳව වාර්තා සපයයි. කලෙකට පෙර මෙම භූමිය වසාගත් නොගැඹුරු මුහුදු ජලය බැසගිය පසු අද පවතින තත්ත්වයට භූමිය පත්ව ඇත. ජලයෙන් වැසී පැවති සමයේ, රොන්මඩ තුල මෙහි ජීවත් වූ ඩයිනසෝරයන්, වෙනත් උරගයින්, මත්ස්‍යයින්, කටුස්සන් සහ කැස්බෑවන් මිහිදන් වී පසුකාලීනව් උන්ගේ සිරුරු පොසිල බ්වට පත්ව ඇත. අදටත් මෙහි පැමිණෙන සංචාරකයින් හට පොසිල හමු වන අතර ඒවා නීතිවිරෝධී අන්දමින් පිටතට රැගෙන යැම කල නොහැක.

බිට්සි භූමිය පොසිලවලින් පොගොසත් වන අතර අපූර්ව භූ ලක්‍ෂණ දක්නට ලැබෙන්නේ ඊට සැතපුම් දහසයක් පමණ ඈතින් ඇති ඩෙ න සින් නම් නිසරු බිමෙහි වේ. එහි ඇති කුඩා කඳු ගැට රත් පැහැයෙන් දිස්වන්නේ ගල් අඟුරු ස්ථර ගිනිගෙන දැවීම හේතුවෙනි. තරංගාකාර ගෙඩැලි කැටි ගැසුනු පස්වලින් සෑදී ඇත. මෙහි දැක්වෙන රූපයේ ඇති හත්තක් වන් භූ ලක්‍ෂණයෙහි පියස්ස ලෙස ඉතිරිව ඇත්තේ මුලින්ම ඇති ශල්ක ආවරණයයි. ඉන් පහල ඇති අනෙකුත් පාෂාණ ස්ථර ශල්කවලට වඩා වේගයෙන් ඛාදනය වී ඇත. ඩෙ න(හ්) සින් හි ඇති මෙම අපූර්ව පාෂාණ නිර්මාණ කැඩෙන බිඳෙන සුළු බැවින් සංචාරකයින් ඒවා නැරඹීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතු වේ.


UNESCO NATURAL WONDERS

Sunday, May 17, 2015

100. කාච්න(ර්) ගුහා පද්ධතිය/ The Kartchner Caverns



100. කාච්න(ර්) ගුහා පද්ධතිය/ The Kartchner Caverns
(ඇරිසෝනා ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)
      
1988ට පෙර සොනෝරා කාන්තාරයේ සංචාරකයින් සවාරෝ පතොක් සහ ක්‍රියෝසෝට් පඳුරු අතර ඇවිද ගියේ ඊට පහලින් පොළව අභ්‍යන්තරයෙහි ඇති ගුහා පද්ධතිය පිළිබඳව කිසිවක් නොදැනය. එහෙත් 1974 දී විමසිලිමත් සහ උත්සාහවන්ත, ආධුනික ගුහා ගවේශකයින් දෙදෙනෙක් විසින් සොනෝරා කතරෙහි කුඩා හුණු කෙමක් දැකීමෙන් කුතුහලයට පත්ව එතුලට ඇතුල් වූහ. එසේ ටික දුරක් ගමන් ගත් ඔවුන්ට සිය දෙනෙත් අදහා ගැනීමට නොහැකි වූයේ හිරි ලඹ, හිරි ටැඹ, හිරි ගල් ස්ථම්භ සහ වෙනත් ගුහා නිර්මාණ විශාල   ප්‍රමාණයකින් සමන්විත දැකුම්කළු ගුහා පද්ධතියක් දැකීමෙනි. පුරා වසර 14 ක් ඔවුන් තම සොයා ගැනීම රහසක් වශයෙන් තබා ගත්තේ එහි ආරක්‍ෂාව පිණිසමය. කාච්නර් ගුහා පද්ධතිය සැතපුම් ගණනාවක් දිග මාවත්වලින් සුසැදි භූගත වංකගිරියක් වන අතර ගුහා පද්ධතියටම ආවේණික වූ ක්‍ෂුද්‍ර දේශගුණයකින් සමන්විතය (අවට ප්‍රදේශයේ දේශගුණයෙන් වෙනස් කුඩා දේශගුණික කලාප).  

ලොව දෙවෙනියට දිගින් වැඩිම "soda-straw" නම් ගුහා නිර්මාණය දක්නට ලැබෙන්නෙත් කාච්නර් ගුහා පද්ධතිය තුලයි. soda-straw යනු කැල්සියම් කාබනේට්වලින් නිර්මාණය වූ සිහින් බටයකි. විනිවිද යන  සහ කැඩෙන බිඳෙන සුළු එම බට, ගුහා වහලයේ සිට පහලට විහිදී ඇති අතර ඒවා තුලින් ජලය පිටතට කාන්දු වේ.  soda-straw සෑදෙන්නේ කැල්සියම් කාබනේට්වලින් සමන්විත ජලය, ගුහා වහලයෙන් කාන්දු වීම නිසා වන අතර, වහලයේ බිත්තිය මත එකතු වන සෑම ජල බිංදුවක් වටාම කැල්සයිට් වළල්ලක් (කොන් 6ක් සහිත ස්පටික කැල්සියම් කාබනේට්) නිර්මාණය වීමෙනි. මෙම ක්‍රියාවලිය වසර දහස් ගණනක් තිස්සේ සිදු වීමෙන් වළලු ප්‍රමාණය වැඩි වී එය බටයක් ආකාරයෙන් පහලට දික් වේ. කිසියම් හේතුවක් නිසා බටයේ අග විවරය අවහිර වුවහොත්, බටය තුලින් ජලය කාන්දු වීම ඇණ සිට බටයට පිටතින් බ්ටය දිගේ ජලය කාන්දු වීමට පටන් ගනී මෙමඟින් මුල මහත අග සිහින් (කේතාකාර) කූරක් ගුහා වහලයේ සිට පහලට නිර්මාණය වන අතර ඉහත සඳහන් පරිදි ඒවා හිරි ටැඹ (ස්ටලක්ටයිට්) ලෙස හඳුන්වනු ලැබේ. කාච්නර් ගුහා පද්ධතියේ දක්නට ලැබෙන soda-straw නිර්මාණය අඩි 21ක් දිගැතිය.


UNESCO NATURAL WONDERS

99. සොනෝරා කාන්තාරය/ The Sonoran Desert



99. සොනෝරා කාන්තාරය/ The Sonoran Desert
(කැලිෆෝනියා, ඇරිසෝනා ප්‍රාන්ත,  ඇමරිකා එක්සත් ජනපදය/ මෙක්සිකෝව)



      
ඇමෙරිකානු ස්වදේශික ජනයා පවසන ආකාරයට සොනෝරා කතරට ඇතුළු වන මනුෂ්‍යයාගේ අධ්‍යාත්මය කිසියම් ශාන්ත ස්වරූපයකට පත්වේ. සොනෝරා කතරටම ආවේණික වූ සුන්දරත්වය සහ නිහැඬියාව මිනිස් අධ්‍යාත්මය එලෙසෙ ශාන්ත ස්වරූපයකට පත් කිරීමට හේතු වනවා විය හැක. 

"සොනෝරා" කාන්තාරය පිළිබඳව මීට පෙර 95 වන ලිපියෙහි සවාරෝ ජාතික වනෝද්‍යානය යටතේ සඳහන් කල බව මතක ඇති. යෝධ සවාරෝ පතොක්වලින් ආඩ්‍ය වූ එකී වනෝද්‍යානය සොනෝරා කාන්තාරයේ කොටසක් බව එහි සඳහන් වේ. සොනෝරා කතර අයත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා සහ ඇරිසෝනා ප්‍රාන්තවලට පමණක් නොව ඇරිසෝනා මායිමේ ඇති මෙක්සිකෝවට ද එම කතරේ විශාල ප්‍රදේශයක් අයත් වේ. 

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන කාන්තාර සතරෙන් එකක් ලෙස සොනෝරා කාන්තාරය සැලකේ. උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන කාන්තාර මෙසේයි. 
1. මොහාවි කාන්තාරය (Mojave desert)
2. මහා ද්‍රෝණිය කාන්තාරය (Great basin desert)
3. සොනෝරා කාන්තාරය (Sonoran desert)
4. චිවුවාවන් කාන්තාරය (Chihuahuan desert)


උතුරු ඇමෙරිකා මහද්වීපයේ ප්‍රධාන කාන්තර හතරේ ව්‍යාප්තිය
සොනෝරා කාන්තාරය, මෙම කාන්තාර අතරින් උෂ්ණාධිකම කාන්තාරය වේ. එහෙත් ජෛව සම්පත අතින්, උතුරු ඇමෙරිකාවේ අනෙකුත් සියළුම කාන්තාර පරයන සුවිශේෂී වූ ජෛව විවිධත්වයකින් සමන්විත වේ. එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වූ වර්ෂා කාල ද්විත්වයක් පැවතීම එලෙස ඉහල ජෛව විවිධත්වයක් ඇති වීමට හේතු වී ඇත. එනම් මෙම කාන්තාරයට ගිම්හාන සහ ශීත සෘතු දෙකේදී ම වර්ෂාව ලැබේ. ශීත සෘතුවේදී පැසිෆික් සාගරය හරහා ඇදී එන ශීත මෘදු වර්ෂාවෙන් කාන්තාරයේ වැඩි කොටසක් තෙමී යන අතර කාන්තාරය දැකුම්කළු වන මලින් සුසැදි පාරාදීසයක් බවට පරිවර්තනය වේ. විශේෂයෙන්ම කාන්තාරයේ බටහිර කොටස වසරේ එක් කාලයකට පමණක් විකසිත වන දීප්තිමත් රත් පැහැ පොපි මලින්ද අනේක පැහැ ලූපින් මල්වලින්ද වර්ණවත් වේ. 

ජුලි සිට සැප්තැම්බර් දක්වා වූ ගිම්හානයේදී  මෙක්සිකෝ බොක්ක හරහා ඇදී එන තෙත් නිවර්තන සුළඟ මඟින් කාන්තාරයට ගිගුරුම් සහිත මහා වැසි පතිත කරවයි. කාන්තාරය වටා පිහිටා ඇති කඳු වළලු විසින් මෝසම් සුළඟින් ගෙනෙන වැසි වළාවන් ඉන් එහා යා නොදී රඳවා ගන්නා බැවින් කාන්තාරයට අධික වැසි වැටී ගං වතුර පවා හට ගනී. ඉහත කී සාධක නිසා කාන්තාර පරිසරය ආද්‍රතාවෙන් ඉහල වන අතර ඉහල ශාක සහ සත්ත්ව විවිධත්වයකට ආධාර සපයයි. 

කාන්තාරය තුල ශාක විශේෂ 2500කට වැඩි ප්‍රමාණයක් දැක ගත හැකි අතර පෘෂ්ඨ්වංශීන් 550කගේ පමණ නිවහන වේ. සොනෝරා කාන්තාරයේ දක්නට ලැබෙන ශාක විශේෂවලින් වැඩි හරියක් නිවර්තන ශාක වේ.  එම ශාකවල ජීවන චක්‍රය, ගිම්හාන සෘතුවේ පතිත වන මෝසම් වර්ෂාව හා තදින් බැඳී පවතී. කෙතරම් වර්ෂා පතිත වුවත් ඉහත සඳහන් කල පරිදි මෙය උතුරු ඇමෙරිකාවේ උෂ්ණාධිකම කාන්තාරය වේ. කාන්තාරයේ උෂ්ණය අධිකම ප්‍රදේශවල කර්කශ පරිසරයට ඔරොත්තු දෙන පහත සඳහන් ශාක බහුලව දැක ගත හැක: Ironwood, Bursage, Palo verde, Creosote, Mesquite.

කාන්තාරයේ උෂ්ණාධිකම ප්‍රදේශවල පහත සඳහන් ජීවීන් සාර්ථකව තම දිවි පෙවෙත ගත කරයි: මෙක්සිකෝ අළු වෘකයා, කඳුකර සිංහයා, Great-horned owl, Golden eagle, Roadrunner, Rattlesnake.

සොනෝරා කාන්තාරය නැරඹන්නන් විසින් අමතක නොකර යන තවත් ස්ථානයක් නම් සොනෝරා  කෞතුකාගාරයයි. එය ප්‍රාණිවිද්‍යාව සහ උද්භිද විද්‍යාව සඳහා වූ දැනුම් සාගරයකි.


UNESCO NATURAL WONDERS

Thursday, May 14, 2015

98. චිරිකාවා ජාතික ස්මාරකය / Chiricahua National Monument



98. චිරිකාවා ජාතික ස්මාරකය / Chiricahua National Monument (ඇරිසෝනා ප්‍රාන්තය,  ඇමරිකා එක්සත් ජනපදය)



      
බැලූ බැල්මට කොන්ක්‍රීට් ගොඩනැගිලි රාශියකින් සමන්විත සුවිසල් නගරයක් වැනිය. ඇරිසෝනාවට් ස්වාභාව ධර්මය විසින් ලබා දුන් තවත් අද්විතීය ත්‍යාගයක් ලෙස අනන්ත වූ හූඩු ස්ථම්භ රාශියකින් සමන්විත චිරිකාවා  ජාතික ස්මාරකය හැඳින්විය හැක. (හූඩු ස්ථම්භ පිළිබඳව පෙර ලිපිවල සඳහන් කර ඇති අතර වැඩි විස්තර සඳහා අංක 77. හූඩු ස්ථම්භ යන ලිපිය බලන්න)

මෙම ස්ථම්භ නිර්මාණය වීමට හේතු වී ඇත්තේ මීට වසර මිලියන 25කට පමණ පෙර වූ මහා ගිනි කඳු විදාරණයකි. මෙම ගිනි කඳු විදාරණය මඟින් පිටකරන ලද pumice ඇතුළු භෂ්මාවශේෂ මීටර 600ක් උසට ප්‍රදේශය පුරා පතිත වී ඇත. pumice සෑදෙන්නේ ගෑස් හෝ ජලය අධික ලාවා ඝණීභවනය වීමෙනි. ලාවා ඝණීභවනය වන අතරතුර එතුල ඇති වායුව බුබුළු ආකාරයෙන් පිටවන අතර ඝණීභවනය වූ pumice හි සිදුරු රාශියක් දක්නට ලැබේ. කාලයත් සමඟ මෙම මිශ්‍රණය Rhyolitic නම් සිලිකා අධික ආග්නේය පාෂාණ බවට පත්වුණි. වසර දහස් ගණනක් පුරා ඛාදනය වූ මෙම පාෂාණ ස්ථරයේ ප්‍රතිඵලය වර්තමානයේ දක්නට ලැබෙන චමත්කාර  හූඩූ ස්ථම්භ වේ. හූඩූ ස්ථම්භවල ප්‍රභේද වන totem pole (තෝටම් කණු) සහ  big balanced rock යන පිහිටීම් චිරිකාවාහි මනාව දැක ගත හැක. totem pole යනු ඉතා උස එමෙන්ම සිහින් තනි ශෛලමය ටැඹකි. big balanced rock යනු විශාල ශෛලමය පාෂාණයක් මත නොවැටී සමබරව පවතින එවැනිම විශාල ශෛලමය පාෂාණයකි. 

චිරිකාවා ජාතික ස්මාරකය, චිරිකාවා කඳු වැටියට අයත් කොටසකි. චිරිකාවා කඳුවැටිය නෂ්ඨව ගිය යමහල් දාමයක් වන අතර උසම ස්ථානය ඇරිසෝනා කාන්තාරීය තැනිතලා මට්ටමේ සිට මීටර 2377කි. කඳුවැටියේ උන්නතාංශයෙන් ඉහල ප්‍රදේශ, සිසිල් සහ සෞම්‍ය දේශගුණයකින් සමන්විත වන අතර මෙම අහස් දූපත් විසින් පහල කාන්තාරීය පරිසරයේ සහයෝගය නොලැබෙන ජීවයකට අත්වැල සපයයි.

චිරිකාවා ජාතික ස්මාරකය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන පරිසර පද්ධති වර්ග හතරක් මුණ ගැසෙන ලක්ෂ්‍යයේදීය. එනම් 1. සොනරන් සහ චිරිකාවා කාන්තර, 2. රොකී සහ සියෙරා කඳු වැටිය, 3. චිරිකාවා juxtaposes පයින් සහ ස්පෲස් වෘක්‍ෂ, 4. ඩග්ලස් ෆර් සහ ඇරිසෝනා සයිප්‍රස් වෘක්‍ෂ.

මෙම ප්‍රදේශයේ 300කට අධික පක්‍ෂීන් ප්‍රමාණයකුත් වැඩි වශයෙන්ම Javelina (ඌරන් විශේෂයක්), Coatimundi, Hog-nosed skunk වළසා සහ කඳුකර සිංහයා  යන ක්‍ෂීරපායිනුත් දැක ගත හැක.



UNESCO NATURAL WONDERS